අලුත් ගිවිසුම 2023
නොවැම්බර් 20–26. 1 සහ 2 පේත්‍රැස් “තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය”


“නොවැම්බර් 20–26. 1 සහ 2 පේත්‍රැස්: ‘තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“නොවැම්බර් 20–26. 1 සහ 2 පේත්‍රැස්,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ආත්මික ලෝකයේ ශුභාරංචිය දේශනාකරමින්

රොබර්ට් ටී. බැරට් විසින්, Christ Preaching in the Spirit World [ක්‍රිස්තුස්වහන්සේ ආත්මික ලෝකයේ දේශනා කරමින්]

නොවැම්බර් 20–26

1 සහ 2 පේත්‍රැස්

“තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය”

ඔබ පේත්‍රැස්ගේ ලිපි කියවන විට, ඔබට ක්‍රියාකිරීමට පෙළඹවීම් ලැබිය හැකිය. ඔබ “තවමත් ආත්මයාණන් තුළ” (දහම සහ ගිවිසුම් 76:80) සිටියදී මෙම පෙළඹවීම් සටහන් කරගන්න එවිට ඔබට දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබන දේ නිවැරදිව ග්‍රහණය කරගත හැකිය.

ඔබේ හැඟීම් සටහන් කරන්න

උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීමෙන් ටික කලකට පසු, පේත්‍රැස්ට වියවුලක් වූ අනාවැකියක් ගැලවුම්කරුවාණන් විසින් ලබාදුන්නේය. පේත්‍රැස් ඔහුගේ ඇදහිල්ල වෙනුවෙන් ප්‍රාණ පරිත්‍යාග කරනු ලබන බව උන්වහන්සේ පුරෝකථනය කළේය, “[ඔහු] කැමති නැති තැනකට ගෙනයනවා ඇත … , ඔහු කොයි ආකාර මරණයකින් දෙවියන්වහන්සේව ගෞරවයට පමුණුවනවා ඇද්ද” (යොහාන් 21:18–19). වසර ගණනාවකට පසු, පේත්‍රැස් ඔහුගේ ලිපි ලියන විට, මෙම අනාවැකි පළකළ ප්‍රාණ පරිත්‍යාගය ලංවී ඇති බව ඔහු දැනසිටියේය: “අපගේ ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට පෙන්වූ ලෙසම මාගේ කූඩාරම පහකර දැමිය යුතුය” (2 පේත්‍රැස් 1:13). එසේ නමුත් ඔහුගේ වචන බියෙන් හෝ අසුභවාදී හැඟීම් වලින් පිරී නොතිබුණි. ඒවෙනුවට, ඔහු ශුද්ධවන්තයින්ට ඉගැන්වූයේ “අනේකාකාර පරීක්ශා වලින් ශෝකයට පත්වන නමුත්“ ඒ ගැන “ඉතා ප්‍රීතිවන්න” කියාය. “[ඔවුන්ගේ] ඇදහිල්ලේ පරීක්ශාව” මගපාදන්නේ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව් වීමේදී ප්‍රශංසාවටත්, මහිමයටත්, ගෞරවයටත්” සහ [ඔවුන්ගේ] ආත්ම ගැලවීමට” බව මතකතබාගැනීමට ඔහු ඔවුන්ට උපදේශ දුන්නේය (1 පේත්‍රැස් 1:6–7, 9). පේත්‍රැස්ගේ ඇදහිල්ල මුල් ශුද්ධවන්තයින්ට සැනසීමක් වන්නට ඇති අතර, “ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීමේ පංගුකාරයන්” වන අද දින ශුද්ධවන්තයින්ටද එය දිරිගැන්වීමකි, උන්වහන්සේගේ තේජසේ එළිදරව් වීමේද [අප] ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නෙමු” (1 පේත්‍රැස් 4:13).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

1 පේත්‍රැස් 1:3–9; 2:19–24; 3:14–17; 4:12–19

පීඩා සහ දුක්වේදනා වලදී මට ප්‍රීතිය සොයාගත හැකිය.

ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීමෙන් පසු කාලය කිතුනුවකු වීමට පහසු කාලයක් නොවූ අතර පේත්‍රැස්ගේ පළමු ලිපිය එය සඳහන් කරයි. පළමු පරිච්ඡේද හතර තුළ, දුෂ්කරතා විස්තර කරන වචන සහ වාක්‍ය ඛණ්ඩ ඔබට පෙනෙනු ඇත: බර, පරීක්ෂා කිරීම්, ශෝකය, ගිනි පරීක්‍ෂාව, සහ දුක්වීම් (බලන්න 1 පේත්‍රැස් 1:6; 2:19; 4:12–13). නමුත් ප්‍රීතිමත් ලෙස පෙනෙන වචනද ඔබට පෙනෙනු ඇත—ඔබ සොයාගන්නා දේ ලැයිස්තුවක් සෑදීමට ඔබට අවශ්‍ය විය හැකිය. නිදසුනක් ලෙස, ඔබ 1 පේත්‍රැස් 1:3–9; 2:19–24; 3:14–17; සහ 4:12–19 කියවන විට, දුශ්කර තත්වයන් මධ්‍යයේ වුවද ඔබට ප්‍රීතිය ලබාගත හැකිය යන බලාපොරොත්තුව ලබාදෙන්නේ කුමක්ද?

ගැලවීමේ සැලැස්ම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ගැන ඔබට ප්‍රීතිය ලබාදෙන්නේ කුමන දේවල්ද?

තවත් බලන්න රිකාර්ඩො පී. ගිම්නෙස්, “ජීවිතයේ කුණාටු වලින් රැකවරණය සෙවීම,” ලියහෝනා, මැයි 2020, 101–3.

1 පේත්‍රැස් 3:18–20; 4;1–6

මළවුන්ට ශුභාරංචිය දේශනාකරනු ලබන්නේ ඔවුන්ව සාධාරණ ලෙස විනිශ්චය කළ හැකිවන පිණිසය.

එක් දිනක, සෑම පුද්ගලයෙකුටම විනිශ්චය ස්ථානය අසල සිට “ජීවතුන්ද මළවුන්ද විනිශ්චය කිරීමට සූදානම්ව සිටින තැනැන්වහන්සේට ගණන්දෙන්නට වෙනවා ඇත” (1 පේත්‍රැස් 4:5). ශුභාරංචිය තේරුම්ගැනීමට සහ ජීවත් වීමට ඇති අවස්ථා ඉතා වෙනස් වන විට දෙවියන්වහන්සේ සියලු මිනිසුන්ව සාධාරණ ලෙස විනිශ්චය කරන්නේ කෙසේද? 1 පේත්‍රැස් 3:18–20; 4:6 හි දහම මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට උදවු කරන ආකාරය සැලකිල්ලට ගන්න. මෙම පද දෙවියන්වහන්සේගේ සාධාරණත්වය සහ යුක්තිය පිළිබඳ ඔබේ විශ්වාසය ශක්තිමත් කරන්නේ කෙසේද?

මෙම දහම තවදුරටත් ගවේෂණය කිරීම සඳහා, සභාපති ජෝසෆ් එෆ්. ස්මිත්ට පේත්‍රැස්ගේ මෙම ලියවිලි ගැන මෙනෙහි කරන විට ලැබුණු එළිදරව්වක් වන, දහම සහ ගිවිසුම් 138 අධ්‍යයනය කරන්න. සභාපති ස්මිත් ඉගෙනගත් වෙනත් අමතර සත්‍යයන් මොනවාද?

2 පේත්‍රැස් 1:1–11

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය තුළින් මට මගේ දිව්‍යමය ස්වභාවය වර්ධනය කරගත හැකිය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමානවීම සහ උන්වහන්සේගේ ගුණාංග වර්ධනය කිරීම කළ නොහැකි බව ඔබට කවදා හෝ හැඟී තිබේද? වැඩිහිටි රොබට් ඩී. හේල්ස් අපට ක්‍රිස්තුස්වහන්සේ හා සමාන ගුණාංග වර්ධනය කරගත හැකි ආකාරය පිළිබඳ මෙම දිරිගන්වනසුලු අදහස ඉදිරිපත් කළේය: “ගැලවුම්කරුවාණන්ගේ ගුණාංග… අප තුළ අන්‍යෝන්‍යව ක්‍රියාකරන ආකාරයෙන් වර්ධනය වන, එකිනෙකට එකතු කර ඇති, සම්මිශ්‍ර චරිත ලක්ශණ වේ. වෙනත් වචන වලින් කිවහොත්, අනෙකුත් ඒවා ලබාදීමෙන් හා බලපෑම් කිරීමෙන් තොරව අපට එක් ක්‍රිස්තුස් වැනි ලක්‍ෂණයක් ලබාගත නොහැකිය. එක් ලක්ෂණයක් ශක්තිමත් වනවිට තවත් බොහොමයක් වර්ධනය වේ” (“Becoming a Disciple of Our Lord Jesus Christ,” Liahona, May 2017, 46).

රූපය
සියුම් ලෙස වියන ලද පටි

අප වර්ධනය කරන සෑම ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ගුණාංගයක්ම අනුගාමිකත්වයේ අධ්‍යාත්මික පටිය විවීම සඳහා අපට උපකාර කරයි.

ඔබ 2 පේත්‍රැස් 1:1–11 කියවන විට, මෙම පද වල ලැයිස්තුගත කර ඇති “දිව්‍ය ස්වභාවයේ” ගුණාංග ගැන මෙනෙහි කරන්න. ඔබේ අත්දැකීම් අනුව, වැඩිහිටි හේල්ස් විස්තර කළ පරිදි, ඒවා “එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ” කෙසේද? ඒවා එකිනෙක මත ගොඩනැගෙන්නේ කෙසේද? ක්‍රිස්තුස්වහන්සේට සමාන වීමේ ක්‍රියාවලිය ගැන මෙම පද වලින් ඔබ තවත් ඉගෙනගන්නේ කුමක්ද?

ඔබද ඇතුළුව දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධවන්තයින්ට දෙන “අනර්ඝ වූ ඉතා උතුම් වූ පොරොන්දු” ගැනද ඔබට මෙනෙහි කළ හැකිය (2 පේත්‍රැස් 1:4). “උත්කෘෂ්ඨ හා වටිනා පොරොන්දු ඉක්මවා” (ලියහෝනා, නොවැ. 2017, 90–93) යන වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර්ගේ පණිවිඩයෙන් එම පොරොන්දු මොනවාද සහ ඒවා ලබාගන්නේ කෙසේද යන්න තේරුම්ගැනීමට ඔබට උදවු කළ හැකිය.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

1 පේත්‍රැස් 2:5–10.ඔබගේ පවුලේ අය සමඟ මෙම පද කියවන විට, ගැලවුම්කරුවාණන් අපගේ “ප්‍රධාන ගල” බව පේත්‍රැස්ගේ ඉගැන්වීම් දෘශ්‍යමාන කිරීමට පවුලේ සාමාජිකයන්ට උපකාර කිරීම සඳහා ගල් භාවිතා කිරීම ගැන සලකා බලන්න. අප දෙවියන්වහන්සේ උන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීම සඳහා භාවිතා කරන “සජීවී [ජීවමාන] ගල්” හා සමාන වන්නේ කෙසේද? ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ රාජ්‍යය තුළ අපගේ කාර්යභාරය ගැන අප පේත්‍රැස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද? ඔබේ පවුලට පේත්‍රැස් දුන් පණිවිඩය කුමක්ද?

1 පේත්‍රැස් 3:8–17.අපි අපගේ ඇදහිල්ල ගැන අපෙන් අසන අයට “පිළිතුරක් දීමට සැමවිටම සූදානම්” වන්නේ කෙසේද? ශුභාරංචිය පිළිබඳ ප්‍රශ්නයක් සමඟ යමෙකු ඔවුන් වෙත එළඹෙන තත්වයන් වල භූමිකාවන් රඟපෑම තුළින් ඔබේ පවුලට විනෝද විය හැකිය.

1 පේත්‍රැස් 3:18–20; 4:6.ඔබේ මුතුන් මිත්තන් හා සම්බන්ධ බව දැනීමට ඔබේ පවුලට කළ හැක්කේ කුමක්ද? සමහරවිට ඔබට මිය ගිය මුතුන් මිත්තන්ගේ උපන්දින ඔවුන්ගේ ප්‍රියතම කෑම පිළියෙළ කිරීමෙන්, පින්තූර බැලීමෙන්, හෝ ඔවුන්ගේ ජීවිත වලින් කතන්දර පැවසීමෙන් සැමරිය හැකිය. හැකි නම්, දේවමාළිගාවේ මෙම මුතුන් මිත්තා සඳහා නියෝග ලබාගැනීමටද ඔබට සැලසුම් කළ හැකිය (සහය සඳහා, පිවිසෙන්න FamilySearch.org).

2 පේත්‍රැස් 1:16–21.මෙම පද වලින්, පේත්‍රැස් කන්ද මත අන්‍යරූප විලාසවීම පිළිබඳ තම අත්දැකීම් ශුද්ධවන්තයන්ට මතක්කර දුන්නේය (තවත් බලන්න මතෙව් 17:1–9). අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් ගැන මෙම පද වලින් අප ඉගෙනගන්නේ කුමක්ද? (තවත් බලන්න දහම සහ ගිවිසුම් 1:38). අද අපගේ ජීවමාන අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීමට අපට ආත්ම-විශ්වාසයක් ලබාදෙන්නේ කුමක්ද?

අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

“සෑමවිටම සූදානම්ව සිටින්න.” නිවසේ අවිධිමත් ඉගැන්වීමේ අවස්ථා ඉක්මනින් පැමිණ යා හැකිය, එබැවින් ඒවා පැනනගින විට ඒවායින් ප්‍රයෝජන ගැනීම වැදගත්ය. ඉගැන්වීමේ අවස්ථාවන් පැනනගින විට ඔබගේ පවුලේ සාමාජිකයන්ට ශුභාරංචි සත්‍යයන් ඉගැන්වීමට සහ “ඔබ තුළ ඇති බලාපොරොත්තුව” (1 පේත්‍රැස් 3:15) ඉගැන්වීමට “සැමවිටම සූදානම්ව” සිටීමට ඔබට උත්සාහ කළ හැක්කේ කෙසේද? (බලන්න Teaching in the Savior’s Way16.)

රූපය
පේත්‍රැස් මිනිසුන් පිරිසකට දේශනා කරමින්

පේත්‍රැස් බොහෝ පීඩා හා විරුද්ධවාදිකම් වලට මුහුණදුන්නද, ඔහු ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂියෙහි ස්ථිරව සිටියේය.

මුද්‍රණය කරන්න