යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙමාපියන්ගේ ශක්තියයි
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගොඩනගා ගැනීමට; උන්වහන්සේගේ ශුභාරංචියට සහ උන්වහන්සේගේ සභාවට ආදරය කිරීමට, ජීවිත කාලය පුරාම ධර්මිෂ්ඨ තේරීම් සඳහා සූදානම් වීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න.
එකමත් එක කාලෙක, එක් පියෙක් සවස් වරුවක සභානායකත්ව රැවීමකට පිටත්ව යාමට සූදානම්ව සිටියා. ඔහුගේ සිව් හැවිරිදි දියණිය රාත්‍රි ඇඳුමක් ඇඳගෙන මොර්මොන්ගේ පොතේ කතන්දර පොතේ පිටපතක් අතැතිව ඔහු ඉදිරිපිටට ගියා.
“ඔයාට රැස්වීමට යන්න වෙන්නෙ ඇයි?” ඇය ඇසුවා.
“මොකද මම සභානායකත්වයේ උපදේශකයෙක්” කියා ඔහු පිළිතුරු දුන්නා.
“ඒත් ඔයා මගේ තාත්තා!” ඔහුගේ දියණිය විරෝධය පෑවා.
ඔහු ඇය ඉදිරියේ දණ ගැසුවා. “සොඳුරිය,” ඔහු පැවසුවා, “මම ඔයාට මේක කියවලා ඔයාට නිදාගන්න උදව් කරනවට ඔයා කැමතියි කියලා මම දන්නවා, ඒත් අද රෑ මම සභානායකවරයාට උදව් කරන්න ඕනෙ.”
ඔහුගේ දියණිය මෙහෙම පිළිතුරු දුන්නා, “සභානායකවරයාට නිදාගන්න උදව් කරන්න තාත්තා කෙනෙක් නැද්ද?”
සෑම දිනකම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව තුළ කඩිසරව සේවය කරන අසංඛ්‍යාත සාමාජිකයින්ට අපි සදාකාලිකවම කෘතඥ වෙනවා. ඔබේ පරිත්‍යාගයන් ඇත්තෙන්ම පූජනීයයි.
නමුත් මේ ගැහැණු ළමයා තේරුම් ගත් පරිදි, දෙමව්පියෙක් දරුවෙකු පෝෂණය කිරීම ඒ හා සමානම සමාන පරිශුද්ධ දෙයක්—එය වෙන කෙනෙකුට කරන්න බෑ. එය ස්වර්ගයේ රටාව පිළිබිඹු කරනවා.1 ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේ, අපගේ දිව්‍යමය පියා, උන්වහන්සේගේ දරුවන්ට මිහිපිට සිටින ඔවුන්ගේ දෙමාපියන් විසින් උගන්වා පෝෂණය කරන විට නිසැකවම ප්‍රීති වෙනවා.2
දෙමාපියනි, ඔබේ දරුවන්ව ඇති දැඩි කිරීමට ඔබ කරන සෑම දෙයකටම ස්තූතියි. ඒවගේම දරුවනි, ඔබේ දෙමාපියන්ව ඇති දැඩි කිරීමට ඔබ කරන සෑම දෙයකටම ස්තූතියි, මොකද, සෑම දෙමව්පියෙකුම දන්නා පරිදි, අපගේ දරුවන් අපෙන් ඉගෙන ගන්නා තරමටම අපි බොහෝ විට අපගේ දරුවන්ගෙන් ඇදහිල්ල, බලාපොරොත්තුව සහ නිර්මල ප්‍රේමය ගැන ඉගෙන ගන්නවා!3
දෙමාපියන්ට පරිශුද්ධ යුතුකමක් තිබෙනවා
ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේ දරුවෙකුව මෙලොවට යවන සෑම අවස්ථාවකම උන්වහන්සේ ගන්නා දැවැන්ත අවදානම ගැන ඔබ කවදා හෝ සිතුවාද? මොවුහු උන්වහන්සේගේ ආත්මීය පුත්‍රයෝ සහ දූවරු. ඔවුන්ට අසීමිත හැකියාවන් තිබෙනවා. ඔවුන් යහපත්කමේ, කරුණාවේ සහ සත්‍යයේ තේජාන්විත ජීවීන් බවට පත්වීමට නියමිතයි. එහෙත්, ඔවුන් පොළොවට පැමිණෙන්නේ මුළුමනින් ම අසරණ බවකින්, උදව් ඉල්ලා කෑගැසීමට අමතරව ඔවුන්ට වෙන කිසිවක් කරන්න බැහැ. ඔවුන් සැබවින්ම කවුරුන්ද සහ ඔවුන් විය හැක්කේ කවුරුන්ද යන්න පිළිබඳ දැනුම සමඟ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔවුන්ගේ කාලය පිළිබඳ මතකය තිබෙන්නෙ වැසී ගිහින්. ඔවුන් අවට සිටින මිනිසුන්ගෙන්—විශේෂයෙන්ම අවංකව, තවමත් ඔවුන් වෙනුවෙන්ම දේවල් සොයා ගැනීමට උත්සාහ කරන ඔවුන්ගේ දෙමාපියන්ගෙන්, ඔවුන් නිරීක්ෂණය කරන දේ මත පදනම්ව, ජීවිතය, ආදරය, දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ සැලැස්ම පිළිබඳ ඔවුන්ගේ අවබෝධය ඔවුන් ගොඩනගා ගන්නවා.
දෙවියන්වහන්සේ දෙමාපියන්ට “තම දරුවන්ව ආදරයෙන් හා ධර්මිෂ්ඨකමින් ඇති දැඩි කිරීමටත්, ඔවුන්ගේ ශාරීරික හා අධ්‍යාත්මික අවශ්‍යතා සපුරාලීමටත්, දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමටත් … ඔවුන්ට ඉගැන්වීමටත් පරිශුද්ධ යුතුකමක් [දී තිබෙනවා].”4
හොඳම දෙමාපියන්ව පවා රාත්‍රියේදී අවදියෙන් තැබීමට එය ප්‍රමාණවත්.
සියලුම දෙමාපියන්ට මගේ පණිවිඩය මෙයයි:
ස්වාමින්වහන්සේ ඔබට ආදරෙයි.
උන්වහන්සේ ඔබ සමග ඉන්නවා.
උන්වහන්සේ ඔබ අසල සිටගෙන ඉන්නවා.
ඔබේ දරුවන්ට ධර්මිෂ්ඨ තේරීම් කිරීමට මගපෙන්වීම සඳහා ඔබේ ශක්තිය උන්වහන්සේයි.
මෙම වරප්‍රසාදය සහ වගකීම නිර්භීතව හා ප්‍රීතියෙන් පිළිගන්න. මෙම ස්වර්ගීය ආශිර්වාද මූලාශ්‍රය වෙනත් කිසිවෙකුට පවරන්න එපා. ශුභාරංචි සාරධර්ම සහ මූලධර්මවල රාමුව තුළ, දෛනික තීරණ පිළිබඳ විස්තර සඳහා ඔබේ දරුවාට මගපෙන්විය යුත්තේ ඔබයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගොඩනගා ගැනීමට; උන්වහන්සේගේ ශුභාරංචියට සහ උන්වහන්සේගේ සභාවට ආදරය කිරීමට, ජීවිත කාලය පුරාම ධර්මිෂ්ඨ තේරීම් සඳහා සූදානම් වීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. ඇත්ත වශයෙන්ම, එය දෙමාපියන් සඳහා දෙවියන්වහන්සේගේ සැලැස්මයි.
සාතන් ඔබට විරුද්ධ වෙයි, ඔබේ අවධානය වෙනතකට යොමු කරයි, ඔබව අධෛර්යමත් කිරීමට උත්සාහ කරයි.
නමුත් සෑම දරුවෙකුටම ස්වර්ගයට සෘජු රේඛාවක් ලෙස ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය ලැබී තිබෙනවා. ගැලවුම්කරුවාණන් ඔබට උපකාර කරයි, ඔබට මගපෙන්වයි, ඔබව දිරිමත් කරයි. උන්වහන්සේගේ පිහිට පතන්න. ස්වාමින්වහන්සේගෙන් විමසන්න!
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යෞවනයේ ශක්තිය වන්නා සේම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙමාපියන්ගේද ශක්තියයි.
උන්වහන්සේ ප්‍රේමය විශාල කරයි
අපේ දරුවන්ට මගපෙන්වීමට සහ ඉගැන්වීමට තමාට තිබෙනවාට වඩා වෙනත් කෙනෙකුට හොඳ සුදුසුකම් තිබේදැයි සමහර විට අපි හිතන්න පුළුවන්. නමුත් ඔබට කොතරම් ප්‍රමාණවත් නොවන බවක් දැනුණත්, ඔබට අද්විතීය ලෙස සුදුසුකම් ලබා දෙන දෙයක් ඔබට තිබෙනවා, ඒ තමයි ඔබේ දරුවාට ඇති ඔබේ ආදරය.
දරුවෙකුට දෙමාපියන්ගේ ආදරය විශ්වයේ ඇති ශක්තිමත්ම බලවේගයක්. එය සැබවින්ම මේ ලෝකයේ තිබෙන සදාකාලික විය හැකි දේවල් කීපයෙන් එකක්.
දැන්, සමහරවිට ඔබේ දරුවා සමඟ ඔබේ සම්බන්ධතාවය පරමාදර්ශයට වඩා අඩු බව ඔබට හැඟෙනවා ඇති. ගැලවුම්කරුවාණන්ගේ බලය පැමිණෙන්නේ එතැනිනුයි. උන්වහන්සේ රෝගීන්ව සුව කරනවා, ඒවගේම උන්වහන්සේට සබඳතා සුව කරන්න පුළුවන්. උන්වහන්සේ රොටි සහ මාළු වැඩි කළා, ඒවගේම ඔබේ නිවසේ ආදරය හා ප්‍රීතිය වැඩි කරන්න උන්වහන්සේට පුළුවන්.
ඔබේ දරුවන්ට ඔබේ ආදරය සත්‍යය ඉගැන්වීමට සහ ඇදහිල්ල ගොඩනඟා ගැනීමට පොහොසත් පරිසරයක් නිර්මාණය කරනවා. ඔබේ නිවස යාච්ඤාවේ, ඉගෙනුමේ සහ ඇදහිල්ලේ නිවසක්; ප්‍රීතිමත් අත්දැකීම් ඇති නිවසක්; අයිති බව දැනෙන ස්ථානයක්; දෙවියන්වහන්සේගේ නිවසක්, බවට පත් කරන්න.5 ඒවගේම “හදවතේ සියලු ශක්තිය සමඟ පියාණන්වහන්සේට යාච්ඤා කරන්න, එනම් ඒ කරණකොටගෙන නුඹලා, උන්වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාණන් වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය අනුගාමිකයන් මත ප්‍රදානය කර ඇති, මෙම ප්‍රේමය සමඟ පූර්ණ වන පිණිසය.”6
උන්වහන්සේ කුඩා හා සරල උත්සාහයන් විශාල කරයි
දෙමාපියෙකු වශයෙන් ඔබට ඇති තවත් ශක්තියක් වන්නේ දෛනික, අඛණ්ඩ බලපෑම් සඳහා අවස්ථාවයි. සම වයසේ මිතුරන්, ගුරුවරුන් සහ මාධ්‍ය වැනි බලපෑම් ඇති කරන්නන් එනවා යනවා. නමුත් ඔබේ දරුවාගේ ජීවිතයේ වඩාත්ම නිරන්තර ස්ථාවර බලපෑම ඔබ විය හැකියි.
ඔබේ දරුවන්ට ලෝකයේ ඇසෙන උස් හඬට සාපේක්ෂව ඔබේ උත්සාහය කුඩා බවක් ඔබට පෙනෙන්නට පුළුවන්. සමහර විට ඔබ බොහෝ දේ ඉටු නොකරන බව ඔබට දැනෙන්නට පුළුවන්. නමුත් “කුඩා දේවල් වලින් ස්වාමින්වහන්සේට බලවත් දේවල් කළ හැකි” බව මතක තබා ගන්න.”7 එක් නිවාස සැන්දෑවක්, එක් ශුභාරංචිය සංවාදයක්, හෝ එක් හොඳ උදාහරණයක් ඔබේ දරුවාගේ ජීවිතය මොහොතකින් වෙනස් කරන්නෙ නැති වෙයි, එක වැහි බින්දුවකට වඩා වැඩි ප්‍රමාණයකින් වුණත් පැළයක් ක්ෂණිකව වර්ධනය වීමට හේතු වෙනවා. නමුත් එක් වර පැමිණෙන ගංවතුරකට වඩා, කුඩා හා සරල දේවල් නිතිපතා සිදුවීම මගින්, ඔබේ දරුවන්ව වඩා හොඳින් පෝෂණය කරනවා.8
ඒ තමයි ස්වාමින්වහන්සේගේ මාර්ගය. උන්වහන්සේ ඔබටත් ඔබේ දරුවාටත් කතා කරන්නේ නිශ්චල කුඩා කටහඬකින් මිස ගිගුරුම් හඬකින් නොවේ.9 උන්වහන්සේ නාමන්ව සුව කළේ “යම් උතුම් දෙයක්” තුළින් නොවේ නමුත් සරල, නැවත නැවත සේදීමේ ක්‍රියාවකින්.10 ඉශ්‍රායෙල් දරුවන් පාළුකරයේ වටුවන්ගේ ආහාර වේල භුක්ති වින්දා, නමුත් ඔවුන්ව ජීවත් කරවූයේ ඔවුන්ගේ දෛනික ආහාරය වූ—මන්නාවල කුඩා හා සරල ආශ්චර්යයයි.11
සහෝදර සහෝදරියනි, දිනපතා ආහාර වේල වඩාත් හොඳින් පිළියෙළ කර පිළිගන්වනු ලැබෙන්නේ නිවසේදී යි. ඇදහිල්ල සහ සාක්ෂිය වඩාත් හොඳින් පෝෂණය කරනු ලබන්නේ වරකට සුළු ප්‍රමාණයක් බැගින්, දෛනික ජීවන රටාවේ නිරන්තර ප්‍රවාහය තුළ සිදුවන කුඩා හා සරල දේවල් වන, සාමාන්‍ය හා ස්වාභාවික ක්‍රමවලින්.12
සෑම මොහොතක්ම ඉගැන්වීමේ මොහොතක්. සෑම වචනයක්ම සහ ක්‍රියාවක්ම තේරීම් කිරීමට මගපෙන්වීමක් වෙන්න පුළුවන්.13
ඔබේ උත්සාහයේ ක්ෂණික බලපෑම් ඔබට එකවරම පේන්නෙ නෑ. ඒත් අත්හරින්න එපා. “එහෙත් සියලුම දේවල් නියමිත කාලයේදී සිදුවිය යුතු වන්නේය,” ලෙස ස්වාමින්වහන්සේ පැවසුවා. “එසේහෙයින්, යහපත කිරීමේදී විඩාපත් නොවන්න, මක්නිසාද නුඹලා මහත් ක්‍රියාවක් උදෙසා අත්තිවාරම දමන්නෙහුය.”14 දෙවියන්වහන්සේගේ වටිනා දරුවන්ට ඔවුන් සැබවින්ම කවුරුන්ද යන්න ඉගෙන ගැනීමට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, උන්වහන්සේගේ ශුභාරංචිය සහ උන්වහන්සේගේ සභාව කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල ගොඩනගා ගැනීමට උපකාර කිරීමට වඩා ශ්‍රේෂ්ඨ කාර්යය කුමක්ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබේ අඛණ්ඩ උත්සාහයට ආශිර්වාද කර එය තවත් වැඩි වර්ධනය කරයි.
උන්වහන්සේ එළිදරව් ලබාදෙයි
ස්වාමින්වහන්සේ දෙමාපියන්ට උපකාර කරන තවත් ප්‍රබල ක්‍රමයක් තමයි පුද්ගලික එළිදරව් ලබාදීමේ දීමනාව. දෙමව්පියන්ට මගපෙන්වීම සඳහා දෙවියන්වහන්සේගේ ආත්මය වත් කිරීමට උන්වහන්සේ උත්සුක වෙනවා.
ඔබ යාච්ඤාශීලීව සිටින විට හා ආත්මයාණන්ට සංවේදී වන විට, සැඟවුණු අන්තරායන් ගැන උන්වහන්සේ ඔබට අනතුරු අඟවනවා.15 උන්වහන්සේ ඔබේ දරුවන්ගේ දීමනා, ඔවුන්ගේ ශක්තීන් සහ ඔවුන්ගේ නොකියන ගැටළු හෙළි කරයි.16 දෙවියන්වහන්සේ ඔබේ දරුවන්ව දකින ආකාරයට ඔබට ඔවුන්ව දැකීමටත් ඔවුන්ගේ බාහිර පෙනුමෙන් ඔබ්බට ගොස් ඔවුන්ගේ හදවත් තුළට යාමටත් ඔබට උපකාර කරයි.17
දෙවියන්වහන්සේගේ උපකාරයෙන්, ඔබට ඔබේ දරුවන් ගැන පිවිතුරු හා ස්වර්ගීය ආකාරයෙන් දැන ගැනීමට ඔබට ඉගෙන ගන්න පුළුවන්. පුද්ගලික එළිදරව් මගින් ඔබේ පවුලට මගපෙන්වීම සඳහා දෙවියන්වහන්සේගේ ඉල්ලීම පිළිගන්නා ලෙස මම ඔබට ආරාධනා කරනවා. ඔබේ යාච්ඤාවලදී උන්වහන්සේගේ මගපෙන්වීම සොයන්න.18
බලවත් වෙනසක්
සමහරවිට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙමාපියන්ට දෙන වැදගත්ම උපකාරය තමයි ඔබේ හදවතේ ඇති “බලවත් වෙනස.”19 එය අප සෑම කෙනෙකුටම අවශ්‍ය ආශ්චර්යයක්.
මොහොතකට, මෙම තත්වය සිතන්න: ඔබ සභාවේ සිටින අතර, පවුල් ගැන කථාවකට සවන් දෙනවා. කථිකයා පරිපූර්ණ නිවසක් සහ ඊටත් වඩා පරිපූර්ණ පවුලක් ගැන විස්තර කරනවා. කිසි විටෙකත් රණ්ඩු නොවන ස්වාමිපුරුෂයා සහ භාර්යාව. පාසල් ගෙදර වැඩ කිරීමට කාලය පැමිණි විට පමණක් ඔවුන්ගේ ශුද්ධලියවිලි කියවීම නවත්වන ළමයින්. ඒ වගේම පසුබිමින් “Love One Another”20 ගීතිකාව වාදනය වීම. සියලු දෙනාම ප්‍රීතියෙන් යුතුව නාන කාමරය පිරිසිඳු කිරීමට එක්වීම ගැන කථිකයා විස්තර කිරීමට පෙර, “මගේ පවුල බලාපොරොත්තු රහිත එකක්” කියා ඔබ දැනටමත් සිතෙයි.
ආදරණීය සහෝදර සහෝදරියනි, සන්සුන් වෙන්න! සභාවේ ඉන්න හැමෝම හිතන්නේ එහෙමයි! ඇත්ත වශයෙන්ම, සෑම දෙමව්පියෙකුම තමන් ප්‍රමාණවත් නොවීම ගැන කරදර වෙනවා.
වාසනාවකට මෙන්, දෙමාපියන්ට උපකාර ලබාගැනීමට දිව්‍යමය මූලාශ්‍රයක් තිබෙනවා: ඒ තමයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ. අපගේ හදවතේ බලවත් වෙනස් වීමේ උල්පත උන්වහන්සේයි.
ඔබ ගැලවුම්කරුවාණන්ට සහ උන්වහන්සේගේ ඉගැන්වීම් වෙත ඔබගේ හදවත විවෘත කරන විට, උන්වහන්සේ ඔබගේ දුර්වලකම පෙන්වා දෙයි. ඔබ නිහතමානී හදවතකින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන්නේ නම්, උන්වහන්සේ දුර්වල දේවල් ශක්තිමත් කරනවා.21 උන්වහන්සේ තමයි ප්‍රාතිහාර්යයේ දෙවියන්.
එයින් අදහස් කරන්නේ ඔබ සහ ඔබේ පවුලේ අය සර්ව සම්පූර්ණ වෙනවා කියලද? නෑ. නමුත් ඔබ වඩාත් හොඳ වෙයි. ගැලවුම්කරුවාණන්ගේ කරුණාව තුළින්, ටිකෙන් ටික, ඔබ දෙමාපියන්ට අවශ්‍ය වන ගුණාංග වැඩි දියුණු කරගනියි: දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ දරුවන්ට ආදරය, ඉවසීම, පරාර්ථකාමිත්වය, සහ ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල සහ ධර්මිෂ්ඨ තේරීම් කිරීමට ධෛර්යය ගුණාංග ඔබ වැඩි දියුණු කර ගනියි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සභාව හරහා සහයෝගය ලබා දෙයි
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගොඩනගා ගැනීමට අපි දරන ප්‍රයත්නය නිවස කේන්ද්‍ර කරගත් දෙයක් වන අතර, එය අවධානය යොමු කරන්නේ එක් එක් පුද්ගලයාටයි. ඒවගේම එයට සභාවේ සහයෝගය තිබෙනවා. ශුද්ධලියවිලි සහ අනාගතවක්තෘවරුන්ගේ වචන සැපයීමට අමතරව, දෙමාපියන්ට සහ දරුවන්ට ධර්මිෂ්ඨ තේරීම් කිරීමට උපකාර කිරීම සඳහා ගැලවුම්කරුවාණන්ගේ සභාව විසින් බොහෝ සම්පත් සපයනවා:
-
යෞවනයේ ශක්තිය සඳහා: තෝරා ගැනීම් සඳහා මාර්ගෝපදේශය මගින් ඔබට කළ යුතු හෝ නොකළ යුතු දේ ලැයිස්තුවක් ලබා දෙන්නේ නෑ. එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් මත කේන්ද්‍රගතව තේරීම් කිරීමට උපකාර කිරීම සඳහා සදාකාලික සත්‍යයන් උගන්වනවා. ඔබේ දරුවන් සමඟ එය කියවන්න. ඔවුන්ට ඒ ගැන කතා කිරීමට ඉඩ දෙන්න. මෙම සදාකාලික සහ දිව්‍යමය සත්‍යයන් මගින් ඔවුන්ගේ තේරීම්වලට මගපෙන්වීම් ලබාගැනීමට ඔවුන්ට උපකාර කරන්න.22
-
FSY සම්මන්ත්‍රණ තවත් අපූරු සම්පතක්. සියලුම යෞවන යෞවනියන් ඒවාට සහභාගී වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මම තරුණ තනි වැඩිහිටියන්ට, මෙම සම්මන්ත්‍රණවලට උපදේශකයින් සහ අනුශාසකයින් ලෙස සම්බන්ධ වන ලෙස ආරාධනා කරනවා. FSY සම්මන්ත්‍රණ වලින් පසු ඔබගේ යෞවනයන් නිවසට ගෙන එන අධ්‍යාත්මික ගම්‍යතාව මත ගොඩනැගීමට මම දෙමාපියන්ට ආරාධනා කරනවා.
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ළමුන් සහ යෞවනයින් වෙනුවෙන් ගුරුවරුන්, උපදෙස් ලබාදෙන්නන් සහ උපදේශකයින් සිටිනවා. බොහෝ විට ඔබ යෞවනයෙකුගේ ජීවිතයට ඇතුල් වන්නේ ඇදහිල්ල සහ සාක්ෂිය ගොඩනඟා ගැනීමට සහ සහාය වීමට ඇති තීරණාත්මක මොහොතකයි. ඔබගෙන් සමහරෙක් අය තනි වැඩිහිටියන්. සමහරුන්ට ඔබේම දරුවන් නැති වෙන්න පුළුවන්. දෙවියන්වහන්සේගේ දරුවන්ට ඔබගේ ප්‍රීතිමත් සේවය දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ පරිශුද්ධයි.23
කිසිදා ප්‍රාතිහාර්යයන් අත් නොහරින්න
මගේ ආදරණීය මිත්‍රවරුනි, මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, දරුවෙකු මත ඇදහිල්ල ගොඩනැගීම තරමක් දුරට මලක් වැඩීමට උපකාර කිරීම වගෙයි. ඔබට එය උස කිරීමට කඳ මතින් අදින්නට බැහැ. මල් පොහොට්ටුව ඉක්මනින් පිපීමට ඔබට සිදුරු කර විවෘත කරන්න බැහැ. ඔබට මල නොසලකා හැර එය එය විසින්ම වර්ධනය වීම හෝ පිපීම අපේක්ෂා කරන්න බැහැ.
නැගී එන පරම්පරාව සඳහා ඔබට කළ හැකි සහ කළ යුතු දෙය තමයි ගලා යන ස්වර්ගීය ජලය සඳහා ප්‍රවේශය සහිත පොහොසත්, පෝෂ්‍යදායී පස සැපයීම. ස්වර්ගීය හිරු එළිය අවහිර කරන වල් පැලෑටි සහ ඕනෑම දෙයක් ඉවත් කරන්න. වර්ධනය සඳහා හොඳම තත්වයන් නිර්මාණය කරන්න. ඉවසිලිවන්තව නැගී එන පරම්පරාවට දේවානුභාවයෙන් යුත් තෝරා ගැනීම් කරන්නට ඉඩ දෙන්න ඒවගේම දෙවියන්වහන්සේට උන්වහන්සේගේ ප්‍රාතිහාර්යයන් කිරීමට ඉඩ දෙන්න. එහි ප්‍රතිඵලය ඔබට තනිවම කළ හැකි ඕනෑම දෙයකට වඩා සුන්දර හා විශ්මයජනක හා ප්‍රීතිමත් වෙයි.
ස්වර්ගීය පියාණන්වහන්සේගේ සැලැස්ම තුළ, පවුල් සබඳතා සදාකාලිකයි. අතීතයේ දේවල් සිදු වූ ආකාරය ගැන ඔබ ආඩම්බර නොවූවත්, දෙමාපියෙකු ලෙස ඔබ කිසි විටෙකත් අත් නොහැරිය යුත්තේ ඒ නිසයි.
ප්‍රධාන සුව කරන්නා සහ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ, සෑම විටම එහි නව ආරම්භයක් තිබෙන්න පුළුවන්; ඒවගේම උන්වහන්සේ සෑමවිටම බලාපොරොත්තුව ලබාදෙනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තමයි පවුල්වල ශක්තිය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තමයි යෞවනයේ ශක්තිය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තමයි දෙමාපියන්ගේ ශක්තිය.
මේ ගැන මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.