ප්‍රධාන සම්මන්ත්‍රණය
වඩාත්ම වැදගත් දේ මතක තබාගන්න
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


වඩාත්ම වැදගත් දේ මතක තබාගන්න

වඩාත්ම වැදගත් දෙය තමයි, ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන්, අපගේ පවුල් සහ අපගේ අසල්වාසීන් සමඟ අපගේ සබඳතා සහ ආත්මයාණන්ට අපට මගපෙන්වීමට ඉඩ දීම.

ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයට ටික කලකට පෙර යෙරුසලමට ජයග්‍රාහී ලෙස ප්‍රවේශ වූ ආකාරය අපි මෙම සති අන්තයේ සිහිපත් කරන විට, මම උන්වහන්සේගේ බලාපොරොත්තුවේ සහ සැනසිල්ලේ වචන සිහිපත් කරනවා: “නැවත-නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය.”1

මම උන්වහන්සේට ආදරෙයි. මම උන්වහන්සේව විශ්වාස කරනවා. මරණයෙන් නැවත නැගිටීම සහ ජීවනය උන්වහන්සේ බව මම සාක්ෂි දරනවා.

මගේ බිරිඳ බාබරා අභාවප්‍රාප්ත වීමෙන් පසු ගත වූ වසර හතරහමාරක කාලය තුළ මෙම සාක්ෂිය මට සැනසීමක් සහ ශක්තියක් ලබා දී තිබෙනවා. මට ඇය නැති පාලුව දැනෙනවා.

නිතරම වගේ, මම අපගේ සදාකාලික විවාහය සහ අප එකට ගත කළ ජීවිතය ගැන මෙනෙහි කරමින් සිටිනවා.

මම මීට පෙර මට බාබරාව මුලින්ම මුණගැසුණු ආකාරය සහ එම අත්දැකීම මගේ ධර්මදූත සේවයේදී මා ඉගෙන ගත් “පසු විපරම් කිරීමේ” කුසලතාව භාවිතා කිරීමට මට ඉගැන්වූ ආකාරය බෙදාගෙන තිබෙනවා. අපි මුලින්ම මුණගැසුණු පසු මට ඉක්මනින් ඇයව පසු විපරම් කිරීමට අවශ්‍ය වූයේ ඇය ලස්සන, ජනප්‍රිය වූවා සේම ඇයට ඉතා කාර්යබහුල සමාජ දින දර්ශනයක් තිබූ නිසයි. ඇය ප්‍රියවාදී සහ මිත්‍රශීලී වූ නිසා මම ඉක්මනින්ම ඇයට වසඟ වුණා. මම ඇගේ යහපත්කම අගය කළා. ඇය සහ මම එකිනෙකාට අයිති බව මට දැනුණා. එය මගේ සිතේ එතරම් සරල බවකින් පෙනෙන්නට තිබුණා.

බාබරා සහ මම පෙම් සබඳතාවක් පැවැත්වූ අතර අපගේ සම්බන්ධතාවය වර්ධනය වීමට පටන් ගත් නමුත් මා සමඟ විවාහය ඇයට සුදුසුදැයි අවිනිශ්චිත බවකින් ඇය සිටියා.

මා පමණක් එය දැනගැනීම ප්‍රමාණවත් වුණේ නෑ; බාබරා එය ඇය වෙනුවෙන්ම දැන ගැනීම අවශ්‍ය වුණා. අපි මේ කාරණය ගැන නිරාහාරව හා යාච්ඤා කරමින් කාලය ගත කළහොත්, බාබරාට ස්වර්ගයෙන් තහවුරු කිරීමක් ලැබිය හැකි බව මම දැන සිටියා.

අපි හමු නොවී සති අන්තයක් ගත කළේ, එවිට අපට නිරාහාරව සිටීමට සහ අප සඳහාම දැන ගැනීමට තනි තනිව යාච්ඤා කරන්නට පුළුවන් වෙන නිසයි. මගේ වාසනාවට ඇයටත් මට ලැබුණු තහවුරු කිරීමම ලැබී තිබුණා. ඉතිරිය, ඔවුන් පවසන පරිදි, ඉතිහාසයයි.

බාබරා මිය ගිය විට, අපේ දරුවන් මතක තබාගන්නවාට බාබරාට අවශ්‍ය වුණු පාඩම් කිහිපයක් ඔවුන් ඇගේ සොහොන් ගල මත තැබුවා. එම පාඩම් වලින් එකක් තමයි “දිගුකල් පවතින්නේ වඩාත්ම වැදගත් දේවල් වේ” යන වැකිය.

අද, මම වඩාත් වැදගත් දේවල් පිළිබඳ මගේ හැඟීම් සහ සිතුවිලි කිහිපයක් මගේ හදවතින් බෙදා ගන්නම්.

පළමුව, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවය බොහෝ වැදගත්. මෙම සම්බන්ධතාවය දැන් සහ සදාකාලිකව වඩාත් වැදගත් වෙනවා.

දෙවනුව, මෙම වඩා වැදගත් වන දේවල් අතර පවුල් සබඳතා තිබෙනවා.

මගේ දේවසේවය පුරාවටම, විනාශකාරී ස්වභාවික විපත් නිසා විපතට පත් වූ බොහෝ පුද්ගලයන් සහ පවුල් වෙත මම ගොස් තිබෙනවා. බොහෝ දෙනෙක් අවතැන් වී, බඩගිනි වී සහ බියට පත් වී සිටියා. ඔවුන්ට වෛද්‍ය ආධාර, ආහාර සහ නවාතැන් අවශ්‍ය වුණා.

ඔවුන්ට ඔවුන්ගේ පවුල් ද අවශ්‍ය වුණා.

සමහරුන්ට සමීප පවුලක ආශිර්වාදය නොතිබිය හැකි බව මම දන්නවා, එබැවින් මම “පවුල” ලෙස සඳහන් කරද්දි එයට ඥාතීන්, මිතුරන් සහ කොට්ඨාශයේ සිටින පවුල යන ඒවාත් ඇතුළත් වෙනවා. මෙම සබඳතා චිත්තවේගීය හා ශාරීරික සෞඛ්‍ය සඳහා අත්‍යවශ්‍යයි.

මෙම සබඳතාවලට ආදරය, ප්‍රීතිය, සතුට සහ තමන් අයිති වන බවට හැඟීමක් ද ලබා දෙන්න පුළුවන්.

මෙම වැදගත් සබඳතා පෝෂණය කිරීම අප කළ යුතු තේරීමක්. පවුලක කොටසක් වීමට තෝරාගැනීමට කැපවීම, ආදරය, ඉවසීම, සන්නිවේදනය සහ සමාව අවශ්‍ය වෙනවා.2 අපි තව කෙනෙක් එක්ක එකඟ නොවන අවස්ථා තියෙන්න පුළුවන්, නමුත් අපිට අප්‍රිය නොවී එසේ කරන්න පුළුවන්. ආදරය කිරීම සහ විවාහය තුළ, අපි චෙස් පුවරුවක චලනය වන වස්තූන් මෙන් ආදරයෙන් බැඳෙන්නේ හෝ ආදරයෙන් මිදෙන්නේ නෑ. අපි එකිනෙකාට ආදරය කිරීමට සහ එය පවත්වා ගැනීමට තෝරා ගන්නවා. වෙනත් පවුල් සබඳතාවලදී සහ අපට පවුලේ අය හා සමාන මිතුරන් සමඟ අපි එලෙසම කරනවා.

පවුලේ ප්‍රකාශනයේ මෙසේ සඳහන් වෙනවා “සන්තෝෂයේ දිව්‍යමය සැලැස්ම මගින් පවුල් සබඳතා සොහොනෙන් ඔබ්බට පවත්වා ගැනීමට හැකියාව ලබාදෙයි. ශුද්ධ වූ දේවමාළිගා වලදී ලබාගත හැකි පූජනීය නියෝග සහ ගිවිසුම් තුළින් පුද්ගලයන්ට නැවත දෙවියන්වහන්සේගේ අභිමුඛයට පැමිණීමටත්, පවුල් වලට සදාකාලිකව එක්සත් වීමටත් හැකි වෙනවා.”3

වඩාත් වැදගත් වන තවත් දෙයක් තමයි, අපගේ ඉතා වැදගත් සබඳතාවලදී සහ අපගේ පුද්ගලික සහ පොදු දේවසේවා ඇතුළුව, අපට මෙන් අපගේ අසල්වැසියන්ට ප්‍රේම කිරීමට අප දරන ප්‍රයත්නවලදී ආත්මයාණන්වහන්සේගේ මගපෙන්වීම අනුගමනය කිරීම. මම මේ පාඩම ඉගෙන ගත්තේ මම මගේ ජීවිතයේ මුල් කාලයේ සභානායකවරයෙකු ලෙස සේවය කරන අතරතුරයි.

එක් සීතල, හිම සහිත ශීත සැන්දෑවක, මම මගේ සභානායක කාර්යාලයෙන් පිටව යද්දී, කොට්ඨාශයේ සිටි වයෝවෘද්ධ වැන්දඹුවක් බැලීමට යාමට මට දැඩි හැඟීමක් ඇති වුණා. මම මගේ ඔරලෝසුව දෙස බැලුවා—වේලාව රාත්‍රී 10.00 යි. එවැනි සංචාරයක් කිරීමට ප්‍රමාද වැඩියි කියා මම තර්ක කළා. ඊට අමතරව, හිම වැටෙමින් තිබුණා. මේ වගේ පරක්කු වෙලා එම සහෝදරියට කරදර කරනවාට වඩා, උදේම මේ ආදරණීය සහෝදරියව බලන්න යන්න මම තීරණය කළා. මම නිවසට පැමිණ නින්දට ගිය නමුත් ආත්මයාණන් මා තුළ යම් හැඟීමක් ඇති කළ නිසා රාත්‍රිය පුරා එහෙට මෙහෙට හැරෙමින් උන්නා.

පහුවදා උදේම මම කෙලින්ම අර වැන්දඹු කාන්තාවගේ ගෙදරට ගියා. ඇගේ දියණිය දොර හරිමින් කඳුළු සලමින් මෙසේ කිව්වා, “අනේ සභානායක තුමනි, පැමිණීම ගැන ස්තූතියි. පැය දෙකකට කලින් අම්මා නැති වුණා.”—මම කම්පාවට පත් වුණා. මගේ හදවතට දැනුණු ඒ හැඟීම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම ඇඬුවා. ඇගේ සභානායකවරයා විසින් ඇගේ අත අල්ලාගෙන, ඇයව සනසවා සහ සමහර විට ඇයට අවසන් ආශිර්වාදය ලබා දීම අවශ්‍ය මෙම වැන්දඹු කාන්තාවට හැර වෙන කාටද? ආත්මයාණන්ගෙන් ලැබුණු මෙම ප්‍රබල පෙලඹවීම සමඟ මම තර්ක කළ නිසා මට එම අවස්ථාව මග හැරුණා.4

සහෝදර සහෝදරියනි, තරුණ පිරිමි ළමුනි, තරුණ ගැහැණු ළමුනි, ප්‍රාථමික දරුවනි, ආත්මයාණන්ගේ පෙළඹවීම් අනුගමනය කිරීම අපගේ සියලු සබඳතාවන්හි වඩාත් වැදගත් වන එක් දෙයක් බව මම සාක්ෂි දරනවා.

අවසාන වශයෙන්, මෙම ගොක් ඉරිදා සති අන්තයේ, ස්වාමින්වහන්සේ වෙතට හැරීම, උන්වහන්සේ පිළිබඳ සාක්ෂි දැරීම සහ උන්වහන්සේට සේවය කිරීම ද වඩාත් වැදගත් කරුණු අතර වන බවට මම සාක්ෂි දරනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල අපගේ සාක්ෂිවල පදනමයි. සාක්ෂියක් යනු ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් පුද්ගල හදවත් සහ ප්‍රාණයන් මත කාවැදී ඇති සදාකාලික සත්‍යයේ සාක්ෂියක් හෝ තහවුරු කිරීමක්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සාක්ෂියක්, ආත්මයාණන්ගෙන් ලබාගෙන ශක්තිමත් කරගත් විට, ජීවිත වෙනස් කරනවා—එය අප සිතන ආකාරය සහ අප ජීවත් වන ආකාරය වෙනස් කරනවා. සාක්ෂියක් අපව අපගේ ස්වර්ගික පියාණන්වහන්සේට සහ උන්වහන්සේගේ දිව්‍ය පුත්‍රයාණන් දෙසට හරවනවා.

ඇල්මා මෙසේ ඉගැන්වූවා:

“බලන්න, මම නුඹලාට සාක්ෂි දරන්නෙමි. එනම් මා කථා කළ මෙම දේවල් සත්‍ය බව මම දන්නෙමි. ඒවායේ සත්‍ය භාවය මම දැනීම ගැන නුඹලා කෙසේ සිතන්නේද?

“බලන්න, මම නුඹලාට කියන්නෙමි, ඒවා මා හට දන්වනු ලැබුවේ දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය මඟින්ය. බලන්න, මම මටම මේ දේවල් දැනගන්නා පිණිස මම බොහෝ දවසක් නිරාහාරවද යාච්ඤා කළෙමි. තවද දැන් මම ඒවා සත්‍ය බව මමම දන්නෙමි; මක්නිසාද ස්වාමි වූ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධාත්මයෙන් මා වෙතට එය ප්‍රකාශ කළ සේක.”5

සාක්ෂියක් තිබීම පමණක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට අපගේ හැරීම වර්ධනය වන විට, අපට ස්වභාවිකවම උන්වහන්සේගේ යහපත්කම, ප්‍රේමය සහ කරුණාව ගැන සාක්ෂි දීමට අවශ්‍ය වෙනවා.

බොහෝ විට නිරාහාරව සිටින ඉරිදා දිනවල අපගේ සාක්ෂි රැස්වීම් වලදී, “මම දන්නවා” සහ “මම විශ්වාස කරනවා” යන වාක්‍ය ඛණ්ඩ ඇසීමට වඩා “මම ස්තූතිවන්ත වෙනවා” සහ “මම ආදරෙයි” යන වාක්‍ය ඛණ්ඩ අපට අසන්නට ලැබෙනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඔබගේ සාක්ෂිය නිතර නිතර දරන ලෙස මම ඔබට ආරාධනා කරනවා. ඔබ ස්තූතිවන්ත වන දේ ගැන පමණක් නොවේ, ඔබ දන්නා සහ විශ්වාස කරන දේ සහ ඔබට හැඟෙන දේ ගැන සාක්ෂි දරන්න. ගැලවුම්කරුවාණන්ව දැන හඳුනා ගැනීම සහ උන්වහන්සේට ප්‍රේම කිරීමට, උන්වහන්සේගේ ඉගැන්වීම් අනුව ජීවත්වීම සහ උන්වහන්සේගේ මිදීමේ බලය ලබා දීම පිළිබඳ ඔබේම අත්දැකීම් ගැන සාක්ෂි දෙන්න. ඔබ දන්නා, විශ්වාස කරන සහ ඔබට හැඟෙන දේ ගැන ඔබ සාක්ෂි දරන විට, ඔබගේ සාක්ෂියට උනන්දුවෙන් සවන් දෙන අයට ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ඒ සත්‍යය තහවුරු කරයි. ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාමකාමී අනුගාමිකයෙකු වී ඇති ආකාරය ඔවුන් බලා සිටි නිසා, ඔවුන් ද එසේම කරයි. උන්වහන්සේගේ ගෝලයෙකු වීම යන්නෙහි තේරුම ඔවුන් දකියි. මීට පෙර ඔවුන්ට නොදැනුණු දෙයක් ඔවුන්ට දැනේවි. නිර්මල සාක්ෂියක් පැමිණෙන්නේ වෙනස් වූ හදවතකින් වන අතර එය ලැබීමට විවෘතව සිටින අනෙක් අයගේ හදවත් තුළට ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් එය රැගෙන යන්න පුළුවන්.

ඔබගේ සාක්ෂියේ ප්‍රතිඵලයක් ලෙස යමක් දැනෙන අයට ඔබගේ සාක්ෂියේ සත්‍යතාව තහවුරු කරන ලෙස යාච්ඤාවෙන් ස්වාමින්වහන්සේගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. එතකොට එයාලටම ඒ ගැන දැනගන්න පුළුවන්.

සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් බව මා දන්නා බවට මම ඔබට සාක්ෂි දරනවා. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මරණයෙන් නැවත නැගිටි, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්, ඒවගේම මේ තිබෙන්නේ උනෙහන්සේගේ අනාගතවක්තෘවරයා සහ ප්‍රේරිතවරුන් විසින් මෙහෙයවනු ලබන උන්වහන්සේගේ සභාවයි. කවදා හෝ මම ඊළඟ ලෝකයට යන විට, මගේ සාක්ෂිය දීප්තිමත් ලෙස දැල්වෙමින් පවතිනු ඇතැයි මම යාච්ඤා කරනවා.

මගේ දේවසේවයේදී, වඩාත්ම වැදගත් දේවල් ලෙස මම ඉගෙන ගෙන තිබෙන දේවල් තමයි, ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් සමඟ, ඒවගේම අපගේ පවුල් සහ අපගේ අසල්වාසීන් සමඟ ඇති අපගේ සබඳතා, ඒවගේම වැදගත් දේවල් ගැන සහ දීර්ඝතම කාලයක් තිස්සේ පවතින දේවල් ගැන අපට සාක්ෂි දැරීමට හැකිවන පිණිස, එම සබඳතාවලදී අපට මගපෙන්වීමට ස්වාමින්වහන්සේගේ ආත්මයට ඉඩදීම. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. යොහාන් 11:25.

  2. බලන්න the articles “Family,” “Unity,” and “Love” in Gospel Topics in the Gospel Library (at ChurchofJesusChrist.org or on the mobile app) to read scriptures and talks from prophets, apostles, and other Church leaders on this topic.

  3. පවුල: ලෝකයට ප්‍රකාශනයකි,” ChurchofJesusChrist.org.

  4. An account of this experience is in Susan Easton Black and Joseph Walker, Anxiously Engaged: A Biography of M. Russell Ballard (2021), 90–91.

  5. ඇල්මා 5:45–46

මුද්‍රණය කරන්න