මහෝත්තම වූ දෙවිඳුන්ට හෝසන්නා
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජයග්‍රාහී ලෙස යෙරුසෙලමට ඇතුල්වීම සහ ඉන් පසුව ඇති වූ සතියේ සිදුවීම් අපට අද දින අපගේ ජීවිතවලට අදාළ කරගත හැකි දහම ආදර්ශවත් කරනවා.
කලින් සඳහන් කර ඇති ආකාරයට, අද, ගොක් ඉරිදා, අපි ලොව පුරා ඉන්න කිතුණුවන් හා එක් වෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ගෞරව කිරීමටයි. වසර 2000 කට පමණ පෙර ගොක් ඉරිදා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලෞකික දේවසේවයේ අවසාන සතියේ ආරම්භය සනිටුහන් කළා. එය මානව ඉතිහාසයේ වැදගත්ම සතිය වුණා.
යේසුස්වහන්සේගේ යෙරුසෙලමට ජයග්‍රාහී ප්‍රවේශයේදී පොරොන්දු වූ ගැලවුම්කරුවාණන් ලෙස ප්‍රකාශ කිරීමත් සමඟ ආරම්භ වූ දෙය, උන්වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සහ මරණයෙන් නැවත නැගිටීමත් සමඟ අවසන් වුණා.1 දිව්‍යමය සැලැස්මෙන්, උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව උන්වහන්සේගේ ලෞකික දේවසේවය අවසන් කළ අතර, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ සදාකාලිකව ජීවත් වීමට අපට හැකියාව ලබාදුන්නා.
“ගලීලයේ නාසරෙත් නුවර අනාගතවක්තෘ වූ යේසුස්වහන්සේ”2 බැලීමට නගරයේ දොරටු අසල රැස්ව සිටි සෙනඟක් සමඟ සතිය ආරම්භ වූ බව ශුද්ධලියවිලි අපට පවසනවා. ඔවුන් “තාල අතු රැගෙන උන්වහන්සේගේ පෙරමගට පිටත්ව ගොස්: හෝසන්නා! ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන්නාවූ තැනැත්තේ, එනම්, ඉශ්‍රායෙලයේ රජ ආශීර්වාද ලද්දෙකැයි මොරගසා කීවෝය.”3
බොහෝ කලකට පෙර එම බයිබල් වාර්තාව මට මතක් කර දෙන්නේ ඝානාවේ ටකෝරාඩි හි සභා පැවරුමක් ගැනයි. අපූරු ලෙස, මම එදා එහි සිටියෙ ගොක් ඉරිදා දිනයකයි.
මට එම්පින්චින් ඝානා ස්ටේකය නිර්මාණය කිරීම සඳහා තකෝරාඩි ඝානා ස්ටේකය බෙදීමට නියමිතව තිබුණා. අද, ඝානාවේ සභාවේ සාමාජිකයන් 100,000 වඩා සිටිනවා4 (අද අප සමඟ සිටින ඝානාවේ ඇක්‍රා හි ග මාන්ට්සේ, මහෝත්තම රජු නී ටැකී ටෙයිකොඑ ට්සුරු II අපි සාදරයෙන් පිළිගන්නවා.) මෙම ශුද්ධවන්තයන් හමුවීමෙන්, ඔවුන් ස්වාමින්වහන්සේ කෙරෙහි ඇති ගැඹුරු ආදරය හා භක්තිය මට දැනුණා. ඔවුන්ට මගේ ඉමහත් ආදරයත් සභාවේ සභාපතිවරයා ඔවුන්ට ආදරය කරන බවත් මම ප්‍රකාශ කළා. මම යොහාන් විසින් වාර්තා කරන ලද ගැලවුම්කරුවාණන්ගේ වචන ගැනත් සඳහන් කළා: “මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරපල්ලා.”5 ඔවුන් එය සැලකුවේ “මම ඔබට ආදරෙයි සම්මන්ත්‍රණය” ලෙසයි.6
මම සභා ශාලාවේ සිටින එම ආදරණීය සහෝදර සහෝදරියන්ගේ සහ ඔවුන්ගේ පවුල් දෙස පේළිවල ඉහළට සහ පහළට බැලූ විට, ඔවුන්ගේ මුහුණුවල යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සාක්ෂියේ සහ ඇදහිල්ලේ දීප්තිය මට පෙනුණා. විශාල ලෙස පැතිර යන උන්වහන්සේගේ සභාවේ කොටසක් ලෙස ගණන් ගැනීමට ඔවුන්ගේ තිබූ ආශාව මට දැනුණා. ගීතිකා කණ්ඩායම ගායනා කරන විට, ඔවුන් දේවදූතයන් මෙන් ගායනා කළා.
පුරාණ කාලයේ ගොක් ඉරිදා මෙන්, මොවුන්ද, යෙරුසෙලමේ දොරටු අසල තාල අතු අතැතිව, “හෝසන්නා … ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාද ලද්දේය”7 කියා කෑ ගැසූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට උපහාර දැක්වීමට රැස්ව සිටි ගෝලයන් මෙන් වුණා.
ඒ අසල දේවස්ථානයක අය පවා ගොක් ඉරිදාට ගෞරව කරමින් සිටියා. මම දේශනා කූඩුවේ සිට කතා කරන විට, මෙම ඡායාරූපයේ ඇති අය මෙන්, ඔවුන් ප්‍රීතියෙන් තාල අතු අතැතිව වීදියේ ඇවිද යන බව මම ජනේලයෙන් දුටුවා. එදා අපි හැමෝම රජුන්ගෙත් රජුන්ට නමස්කාර කරන—එම දර්ශනය මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.
ගොක් ඉරිදා “යේසුස්වහන්සේ යෙරුසෙලමට ඇතුළු වීමට ගෞරව කිරීම සඳහා සෙලවූ තාල අතු පමණක් නොව, උන්වහන්සේගේ හස්තයේ අත්ල ද සිහිපත් කිරීමෙන්” සැබවින්ම මෙය ශුද්ධ වූ දිනය බවට පත් කරන ලෙස සභාපති රසල් එම්. නෙල්සන් අපට අවවාද කර තිබෙනවා. ඉන්පසු සභාපති නෙල්සන් “මෙන්න, මම ඔබව මගේ අත්ලෙහි කොටා ගත්තෙමි’ යන වචන සමගින් ‘මම ඔබව කිසිදා අමතක නොකරමි” යන ගැලවුම්කරුවාණන්ගේ පොරොන්දුව ගැන කතා කළ, යෙසායා වෙත යොමු වුණා.8
ලෞකිකත්වය දුෂ්කර බව ස්වාමින්වහන්සේ මුලින්ම දන්නවා. උන්වහන්සේ “ඒ සියල්ලටම වඩා දේවල් අත්විඳ”9 අප දුක් විඳින විට උන්වහන්සේ අපට උපකාර කරන බවත්, “දෙවියන්වහන්සේ සදාකාලයෙන් සදාකාලයට [අප] සමඟ වන”11 පිණිස උන්වහන්සේගේ ආකාරයට “නුඹගේ මාර්ගයේ රැඳී සිටින්න”10 යන්නෙහි අපගේ ආදර්ශය වන බවත්, උන්වහන්සේගේ තුවාල අපට මතක් කර දෙනවා.
ගොක් ඉරිදා යනු දිනය, වේලාව සහ ස්ථානය සහිත ඉතිහාසයේ තවත් පිටුවක, තවත් සිදුවීමක් පමණක් නොවේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජයග්‍රාහී ලෙස යෙරුසෙලමට ඇතුල්වීම සහ ඉන් පසුව ඇති වූ සතියේ සිදුවීම් අපට අද දින අපගේ ජීවිතවලට අදාළ කරගත හැකි දහම ආදර්ශවත් කරනවා.
යෙරුසෙලමේදී අවසන් වන උන්වහන්සේගේ දේවසේවය තුළින් ගළපන ලද සදාකාලික දහම් කරුණු කිහිපයක් ගැන අපි බලමු.
පළමුව, අනාවැකි. නිදසුනක් වශයෙන්, පරණ ගිවිසුමේ අනාගතවක්තෘ සෙකරියා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යෙරුසෙලමට ජයග්‍රාහී ලෙස ඇතුල් වීම ගැන අනාවැකි පළ කළා, උන්වහන්සේ බූරුවෙකු පිට නැඟී යන බව පවා විස්තර කළා.12 එම නගරයට ඇතුල් වීමට සූදානම් වන විට යේසුස්වහන්සේ තම මරණයෙන් නැවත නැගිටීම ගැන පුරෝකථනය කරමින් මෙසේ පැවසුවා:
“අපි යෙරුසලමට යමුව; මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයන්ටත් ලියන්නන්ටත් පාවාදෙනු ලබන්නේය; ඔව්හුද ඔහු මරණයට නියමකොට,
“කවටකම්කිරීමටත් තැළීමටත් කුරුසියෙහි ඇණ ගැසීමටත් අන්‍ය ජාතීන්ට පාවාදෙන්නෝය. නුමුත් තුන්වෙනිදා ඔහු නැගුටුවනු ලබන්නේය.”13
දෙවනුව, ශුද්ධාත්මයාණන්ගේ සහකාරත්වය. ජෝසෆ් ස්මිත් මෙසේ ඉගැන්වුවා, “ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් මිස යේසුස්වහන්සේ ස්වාමින්වහන්සේ බව කිසිවෙකුට දැනගත නොහැක.”14 ගැලවුම්කරුවාණන් එම උඩුමහලේ17 අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයේදී16 “නුඹලා අනාථව නාරින්නෙමි”18 යනුවෙන් තම ගෝලයන්ට15 පොරොන්දු වුණා. ශුභාරංචියේ සත්‍යයන් ඉදිරියට ගෙනයාමට ඔවුන් සිටින්නේ තනිව නොවේ, මන්ද ඔවුන්ට මගපෙන්වීම සඳහා ශුද්ධාත්මයාණන්ගේ පරිපූර්ණ දීමනාව තිබෙනවා. උන්වහන්සේ මෙසේ පොරොන්දු වුණා, “නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ.”19 ශුද්ධාත්මයාණන්ගේ දීමනාව සමඟ අපට මෙම සහතිකය තිබෙනවා; එනම් “සැමවිට උන්වහන්සේගේ ආත්මය [අප] සමඟ පවති[නවා]”20 එමෙන්ම “ශුද්ධාත්මයාණන්ගේ බලය මගින් [අපට] සත්‍ය සම්බන්ධව සියලු දේවල් දැනගැනීමට හැකි [වෙනවා].”21
තෙවනුව, අනුගාමිකත්වය. සැබෑ අනුගාමිකත්වය යනු නොසැලෙන කැපවීම, සදාකාලික නීතිවලට කීකරු වීම සහ ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමයි. කිසිවකින් නොසැලී එසේ කිරීමයි. තාල අතු සොලවමින් උන්වහන්සේට ප්‍රශංසා කල සමූහයා උන්වහන්සේ මෙසියන්වහන්සේ බව ශබ්ද නගා කිව්වා. සැබවින්ම උන්වහන්සේ මෙසියස්වහන්සේයි. ඔවුන් උන්වහන්සේ වෙතට, උන්වහන්සේගේ ප්‍රාතිහාර්යයන් සහ උන්වහන්සේගේ ඉගැන්වීම් වෙත ඇදී ගියා. නමුත් බොහෝ දෙනෙකුගේ එම අධික ප්‍රශංසාව නොකඩවා පැවතුනේ නෑ. කලින් “හෝසන්නා”22 කියා කෑගැසූ ඇතැමුන් ඉක්මනින් හැරී “ඔහු කුරුසියෙහි ඇණගැසුව මැනව”23 කියා කෑගැසුවා.
හතරවනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම.24 ගොක් ඉරිදාට පසු උන්වහන්සේගේ අවසාන දිනවලදී, උන්වහන්සේගේ ගෙත්සෙමනෙහි වේදනාවේ සිට උන්වහන්සේව නඩු විභාගයේ සමච්චලයට ලක් වීම, කුරුසියේ වධහිංසා පැමිණවීම සහ ණයට ගත් සොහොන් ගෙයක තැන්පත් කිරීම දක්වා උන්වහන්සේගේ විශිෂ්ට වන්දිගෙවීම ඉටු කළා. එහෙත් එය එතැනින් නතර වුණේ නෑ. ස්වර්ගික පියාණන්වහන්සේගේ සියලුම දරුවන්ගේ මිදුම්කරුවාණන් ලෙස උන්වහන්සේගේ කැඳවීමේ මහිමය ඇතිව, දින තුනකට පසු උන්වහන්සේ එම සොහොන් ගෙයින් නික්ම ගොස්, අනාවැකි කී ලෙසම මරණයෙන් නැවත නැගිට්ටා.25
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අසමසම වන්දිගෙවීම ගැන අපි නොකඩවා කෘතඥ වෙනවාද? එහි පවිත්‍ර කිරීමේ බලය අපට දැන් දැනෙනවාද? අපගේ ගැලවීමේ කතුවරයා සහ නිම කරන්නා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප සියල්ලන්ව ගලවා ගැනීමට යෙරුසෙලමට ගියේ ඒ නිසයි. ඇල්මා හි ඇති මෙම වදන් ඔබේ හදවතට දැනෙනවාද: “නුඹලා වෙනස් වූ හදවතක අත්දැකීම විඳ ඇත්නම්, තවද මිදවීමේ ප්‍රේමයේ ගීතය ගායනා කිරීමට නුඹට හැඟුනේ නම්, තවද මම අසන්නෙමි, දැන් නුඹට එසේ හැඟෙන්නෙහිද?”26 මට ඇත්තටම කියන්න පුළුවන්, ඒ ගොක් ඉරිදා දිනෙයේ, ටකෝරාඩි හි ගීතිකා කණ්ඩායම “ප්‍රේමයේ මුදවා ගැනීමේ ගීතය” ගායනා කළා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලෞකික දේවසේවයේ අවසාන ඉරණම්කාරී සතියේදී උන්වහන්සේ කන්‍යාවන් දසදෙනාගේ උපමාව ඉදිරිපත් කළා.27 උන්වහන්සේගේ නැවත පැමිණීම ගැන උගන්වමින් සිටියේ උන්වහන්සේව පිළිගැනීමට අතෙහි පාම් අතු ඇතිව සූදානම් වූ අයට නොවේ නමුත් ඔවුන් තුළ ශුභාරංචියේ ආලෝකය තිබෙන අයටයි. උන්වහන්සේගේ මාර්ග සහ උන්වහන්සේගේ සත්‍යයන් වැළඳ ගැනීමට සහ උන්වහන්සේගේ ආලෝකය බෙදා ගැනීමට ඇති කැමැත්ත පිළිබඳ විස්තරයක් ලෙස, උන්වහන්සේ දල්වන ලද සහ දැල්වෙන පහන්වල රූපක, දැල්ලට ඉන්ධන සැපයීම සඳහා අමතර තෙල් භාවිතා කිරීම පිළිබඳ රූපක භාවිතා කළා.
ඔබ ඒ කතාව දන්නවා. කන්‍යාවන් දස දෙනා සභාවේ සාමාජිකයන්ව නියෝජනය කරන අතර මනාලයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේව නියෝජනය කරනවා.
කන්‍යාවන් දසදෙනා තම පහන් රැගෙන “මනමාලයාගේ පෙරමගට ගියා.”28 පස් දෙනෙක් ප්‍රඥාවන්ත වුණා, ඔවුන් පහන්වල තෙල් යොදාගෙන වැඩිපුරත් තබාගනිමින් සූදානමින් සිටියා, පස්දෙනෙක් අඥාන වුණා, ඔවුන්ගේ සංචිතයේ තෙල් නොමැතිව පහන් අඳුරු වුණා. “අන්න, මනමාලයා එනවා! ඔහුගේ පෙරමගට වරෙල්ලා”29 යන හඬ ඇසුණු විට, “ප්‍රඥාවන්ත වූ සහ සත්‍යය ලබාගත් ඔවුන්, තවද ඔවුන්ගේ මගපෙන්වුම්කරු ලෙස ශුද්ධාත්මයන්වහන්සේ ලබාගත්, තවද රැවටීමට ලක්නොවූ ඔවුන්”30 “උන්වහන්සේගේ මහිමය ඔවුන් මත [වන]”32 පිණිස “ඔවුන්ගේ රජුන්ද තවද ඔවුන්ගේ නිතීදායකයාණන්ද”31 සඳහා සූදානමින් සිටියා. අනෙක් පස්දෙනා වියරුවෙන් තෙල් සොයා ගැනීමට උත්සාහ කළා. නමුත් ඔවුන් ප්‍රමාද වැඩියි. ඔවුන් නොමැතිව පෙරහැර ඉදිරියට ගියා. ඔවුන්ව ඇතුල් කරගන්නා ලෙස තට්ටු කර අයැද සිටි විට, ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “මම නුඹලා නාඳුනමි”33 කියා පැවසුවා.
“මම නුඹව නාඳුනමි” කියා උන්වහන්සේ අපට පැවසුවහොත් අපට කෙසේ හැඟේවිද?
කන්‍යාවන් දස දෙනාට මෙන් අපටත් පහන් තිබෙනවා; නමුත් අපට තෙල් තිබෙනවාද? නිසි ලෙස සූදානම් වීමට නොහැකි තරම් ලෞකික පීඩනයන් සමඟ කාර්යබහුල වන, සිහින් තෙල් ස්වල්පයක් මත සමහරු සිටිතියි මම බිය වෙනවා. තෙල් පැමිණෙන්නේ අනාවැකි සහ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ, විශේෂයෙන් සභාපති නෙල්සන්ගේ, ඔහුගේ උපදේශකයින්ගේ සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ වචන විශ්වාස කිරීමෙන් සහ ඒවා අනුව ක්‍රියා කිරීමෙන්. අපි ශුද්ධාත්මයාණන්වහන්සේට ඇහුම්කන් දී එම දිව්‍ය මගපෙන්වීම මත ක්‍රියා කරන විට අපගේ ප්‍රාණය තෙල්වලින් පිරී යනවා. අප ස්වාමින්වහන්සේට ප්‍රේම කරන බවත් උන්වහන්සේ ප්‍රේම කරන දෙයට අප ප්‍රේම කරන බවත් අපගේ තේරීම්වලින් පෙන්නුම් කරන විට අපගේ හදවත් තුළට තෙල් එකතු වෙනවා. තෙල් පැමිණෙන්නේ පසුතැවිලි වීමෙන් හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ සුවය සෙවීමෙන්.
ඔබගෙන් සමහරක් “වැඩ ලැයිස්තුවක්” ලෙස හඳුන්වන දේ පිරවීමට සොයන්නේ නම්, මෙසේ කරන්න: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් නියෝජනය කරන උන්වහන්සේගේ ජීවමාන ජලයෙන්34 ඔබේ ලැයිස්තුව පුරවන්න. ඊට හාත්පසින්ම වෙනස්ව, දුර බැහැර ස්ථානයක් හෝ දර්ශනීය සිදුවීමක් පරීක්ෂා කිරීමෙන් ඔබේ ප්‍රාණය සම්පූර්ණ කරන්නේ හෝ ඔබට තෘප්තිමත් බවක් දැනෙන්නේ නෑ; නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉගැන්වූ දහම අනුව ජීවත් වෙනවා නම් ඔබට එසේ දැනෙයි. මම කලින් උදාහරණ සඳහන් කළා: අනාවැකි සහ අනාවැකිමය ඉගැන්වීම් වැලඳගන්න, ශුද්ධාත්මයාණන්ගේ පෙළඹවීම් මත ක්‍රියා කරන්න, සැබෑ ගෝලයෙකු වන්න, සහ අපගේ ස්වාමින්වහන්සේගේ වන්දිගෙවීමේ සුව කිරීමේ බලය සොයන්න. එම වැඩ ලැයිස්තුව ඔබව ඔබට යාමට අවශ්‍ය ස්ථානයට රැගෙන යයි—ඒ කියන්නෙ ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් වෙත.
ටකෝරාඩි හි එම ගොක් ඉරිදා මට ඉතා සුවිශේෂී අත්දැකීමක් වූයේ මම එය ඇදහිලිවන්ත සහෝදර සහෝදරියන්ගේ සභාවක් සමඟ බෙදාගත් නිසයි. එබැවින් එය ලොව පුරා මහාද්වීපවල සහ දූපත් වල සිදු වී තිබෙනවා. ඔබේ මෙන් මගේ හදවත සහ ප්‍රාණයත් “මහෝත්තම වූ දෙවිඳුන්ට හෝසන්නා”35 කියා කෑගැසීමට ආශා කරනවා.
අපි අද යෙරුසෙලමේ දොරටු ළඟ තාල අතු අතේ තබාගෙන නොසිටියත්, එළිදරව්ව පොතේ පුරෝකථනය කර ඇති පරිදි, “ඉන්පසු සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක් සුදු සළු පැළඳ, තමුන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව, සිංහාසනය ඉදිරියෙහිත් බැටළුපැටවාණන් ඉදිරියෙහිත් සිටිනවා දුටිමි”36 යන කියමන ඉටුවන දවස පැමිණෙයි.
ඔබ ධර්මිෂ්ඨව ජීවත් වීමට උද්‍යෝගයෙන් උත්සහ කිරීමට හැකි වන පිණිසත්, අප සැමගේ ශ්‍රේෂ්ඨ මිදුම්කරුවාණන් වන, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ සේනාව සමඟ තාල අතු අතේ තබාගෙන සිටින අය අතර ඔබ සිටීවා කියාත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරයෙකු ලෙස මම ඔබට මාගේ ආශිර්වාදය ලබාදෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.