කිතුනුවකු ලෙස මා ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන්නේ මන්දැයි ඔබ දන්නවාද?
සියලුම මනුෂ්‍ය වර්ගයාව ශාරීරික මරණයෙන් මුදවා ගැනීමටත්, දෙවියන්වහන්සේ සමඟ සදාකාල ජීවනය ලබා දීමටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට දුක් විඳීමට, මිය යාමට සහ මරණයෙන් නැවත නැගිටීමට සිදු වුණා.
මීට වසර ගණනාවකට පෙර රැකියාවෙන් පසු එක් සැන්දෑවක මම නිව් යෝර්ක් නගරයේ සිට නිව් ජර්සි බලා යන මගේ සුපුරුදු බස් රථයට ගොඩ වුණා. අහම්බෙන් මා අසල වාඩි වූ කාන්තාව මගේ පරිගණකයේ මා ලියන දේ දැක, “ඔබ ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරනවාද?” කියා ඇසුවා. මම කිව්වා, “ඔව්, මම කරනවා!” අපි කතා කරගෙන යද්දි, ඇය නිව් යෝර්ක් හි ඉහළ තරඟකාරී තොරතුරු තාක්ෂණ අංශයක වැඩ කිරීමට ඇගේ සුන්දර ආසියාතික රටෙන් මේ ප්‍රදේශයට මාරු වී ඇති බව මම දැන ගත්තා.
සාමාන්‍ය ලෙස, මම ඇයගෙන් මෙහෙම ඇහුවා, “කිතුනුවකු ලෙස මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන්නේ ඇයි කියලා ඔබ දන්නවාද?” ඇයද සාමාන්‍ය ලෙස ප්‍රතිචාර දැක්වූ අතර ඇයට ඒ බව කියන්නැයි ඇය මට ආරාධනා කළා. නමුත් මම කතා කිරීමට යන විට, ඔබේ මනසට බොහෝ සිතුවිලි ගලා එන ඒ වගේ අවස්ථාවක් මට ඇති වුණා. මම ක්‍රිස්තියානි දහමේ “ඇයි” යන ප්‍රශ්නයට පිළිතුර සහ එය ඉතා නුහුරු නුපුරුදු සහ ඉතා බුද්ධිමත් කෙනෙකුට පැහැදිලි කරන පළමු අවස්ථාව මෙයයි. “මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන්නේ උන්වහන්සේ කැමැත්තෙන්ම මගේ පව් වෙනුවෙන් දුක් විඳ මිය ගිය නිසා” කියා මට සරලව පැවසිය නොහැකියි. එවිට ඇයට මෙහෙම අහන්න පුළුවන්, “යේසුස්වහන්සේ මැරෙන්නම ඕනෙද? අප ඔහුගෙන් ඉල්ලා සිටියහොත් අපගේ පව්වලට සමාව දී අපව පවිත්‍ර කිරීමට දෙවියන්වහන්සේට බැරිද?”
මිනිත්තු කිහිපයකින් ඔබ එයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඔබ මෙය මිතුරෙකුට පැහැදිලි කරන්නේ කොහොමද? ළමුන් සහ යෞවනයිනි: කරුණාකර ඔබ ඔබේ දෙමාපියන්ගෙන් හෝ නායකයෙකුගෙන් පසුව මෙහෙම අහන්න, “යේසුස්වහන්සේට මැරෙන්න සිදු වූයේ ඇයි?” ඒවගේම සහෝදර සහෝදරියනි, මට පාපොච්චාරණයක් කිරීමට තිබෙනවා: මම සභාවේ මූලධර්මය, ඉතිහාසය, ප්‍රතිපත්ති සහ යනාදිය ගැන දැන සිටින බව මම සිතාගෙන සිටියත්, අපගේ ඇදහිල්ලට කේන්ද්‍රීය වූ මෙම ප්‍රශ්නයට පිළිතුරක් පහසුවෙන් පැමිණෙන්නේ නෑ. එදා මම තීරණය කළා සදාකාලික ජීවිතයට වඩාත්ම වැදගත් දේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න.
හොඳයි, අපට ශරීරයකට අමතරව ආත්මයක් ඇති බවත් දෙවියන්වහන්සේ අපගේ ආත්මයන්ගේ පියා බවත්2 මම මගේ අලුත් මිතුරියට1 දන්වා සිටියා. අපි මේ ලෞකික ලෝකයේ ඉපදෙන්න කලින් අපි අපේ ස්වර්ගික පියා සමඟ ජීවත් වූ බව මම ඇයට කිව්වා.3 උන්වහන්සේ ඇයට සහ උන්වහන්සේගේ සියලුම දරුවන්ට ප්‍රේම කරන නිසා, උන්වහන්සේගේ මහිමවත් වූ සිරුරේ4 ස්වරූපයෙන් ශරීරයක් ලබා ගැනීමටත්, පවුලක කොටසක් වීමටත්,5 සහ උන්වහන්සේ වගේම7 අපිටත් අපගේ පවුල් සමඟ සදාකාල ජීවනය භුක්ති විඳීමට,6 උන්වහන්සේගේ ප්‍රේමනීය අභිමුඛයට නැවත යාමටත් උන්වහන්සේ සැලැස්මක් සකස් කළ බවත් මම කිව්වා. නමුත්, ඇත්තෙන්ම මෙම වැටී ඇති ලෝකයේ8 අපට ප්‍රධාන බාධක දෙකකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් මම කිව්වා: (1) භෞතික මරණය—අපගේ ශරීරය අපගේ ආත්මයෙන් වෙන් වීම. ඇත්ත වශයෙන්ම, අපි සියල්ලෝම මිය යන බව ඇය දැන සිටියා. ඒවගේම (2) අධ්‍යාත්මික මරණය—අපගේ පාප, වැරදි සහ මනුෂ්‍යයන් වශයෙන් අපගේ අඩුපාඩු නිසා උන්වහන්සේගේ ශුද්ධ අභිමුඛයෙන් අපව ඈත් කරන නිසා, දෙවියන්වහන්සේගෙන් අප වෙන්වීම.9 ඇයට ඒ ගැනත් තේරුමක් තිබුණා.
මෙය යුක්තියේ නීතියේ බලපෑමක් බව මම ඇයට දන්වා සිටියා. මෙම සදාකාලික නීතිය ඉල්ලා සිටින්නේ අපගේ සෑම පාපයකටම හෝ දෙවියන්වහන්සේගේ නීති හෝ සත්‍ය උල්ලංඝණය කිරීම් සඳහා සදාකාලික වන්දියක් ගෙවිය යුතු බවයි, නැතහොත් අපට කිසිදාක උන්වහන්සේගේ ශුද්ධ අභිමුඛයේ ජීවත් වීමට නැවත යන්නට බැහැ.10 එය අසාධාරණ වෙනවා, මොකද දෙවියන්වහන්සේට “යුක්තිය ප්‍රතික්ෂේප කළ නොහැකියි.”11 ඇය මෙය තේරුම් ගත්තා ඒවගේම දෙවියන්වහන්සේ දයානුකම්පිත, ප්‍රේමණීය සහ අපගේ සදාකාල ජීවනය ගෙන ඒමට උනන්දු වන බවද පහසුවෙන් වටහා ගත්තා.12 අපට විරුද්ධ වන නපුරේ සහ බොරුවේ උල්පත වන කපටි, බලවත් විරුද්ධවාදියෙකු ද සිටින බව මම මගේ මිතුරියට තවදුරටත් දන්වා සිටියා.13 එමනිසා, එවැනි සියලු විරුද්ධවාදිකම් සහ බාධක ජය ගැනීමට අසීමිත දේව බලයක් ඇති කෙනෙකුට අපව බේරා ගැනීමට අවශ්‍යව තිබුණා.14
ඉන්පසු මම ඇය සමඟ සුභ පණිවිඩය බෙදාගත්තා—“සියලු මිනිසුන්ට මහත් ප්‍රීතියේ ශුභාරංචිය”15—ඒ තමයි “මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක, එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”16 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එම ගැලවුම්කරුවාණන් බවත්, උන්වහන්සේ දුක් විඳ, මිය ගොස් සහ මරණයෙන් නැවත නැගිටි බවත්—සියලු මනුෂ්‍ය වර්ගයා ශාරීරික මරණයෙන්17 මුදවා ගැනීමට සහ උන්වහන්සේව අනුගමනය කරන සියල්ලන්ට, දෙවියන්වහන්සේ සමඟ සහ අපගේ පවුල් සමඟ18 සදාකාල ජීවනය ලබාදීමට—ඒ උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම බවත් මම මගේ මිතුරියට සාක්ෂි දැරුවා ඒවගේම මම ඔබටත් සාක්ෂි දරනවා. මොර්මොන්ගේ පොත මෙසේ ප්‍රකාශ කරනවා, “මෙසේ දෙවියන්වහන්සේ … මරණයට එරෙහි ජයග්‍රහණය ලබා ගත් සේක; මනුෂ්‍ය පුත්‍රයන් සඳහා මැදිහත්කාරකම් කිරීමට පුත්‍රයාණන්ට බලය ලබාදුන් සේක … ; කරුණාවන්ත හදවතක් [සහ දයාව] ඇතිව … ; මරණයේ බැමි බිඳනු ලැබ, තමන්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ අයුතුකම්ද, තවද ඔවුන්ගේ පාපයන්ද, දරාගන්නා ලදුව, ඔවුන්ව මුදවාගෙන, තවද සාධාරණත්වයේ ඉල්ලීම් තෘප්තිමත් කරනු ලැබූ සේක.”19
යේසුස්වහන්සේව අනුගමනය කිරීමට සහ සදාකාල ජීවනය ලබා ගැනීමට, දෙවියන්වහන්සේ විසින් එළිදරව් කළ අප විසින් ගත යුතු පියවර, ක්‍රිස්තුස්වහන්සේගේ දහම ලෙස හැඳින්වෙනවා. ඒවාට “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල, සහ උන්වහන්සේගේ වන්දිගෙවීම, පසුතැවීම, [යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව තුළ] බව්තීස්මය, ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලැබීම සහ අවසානය දක්වා විඳදරාගැනීම”20 ඇතුළත් වෙනවා. මම මෙම පියවර මගේ මිතුරිය සමඟ බෙදා ගත්තා, නමුත් ක්‍රිස්තුස්වහන්සේගේ දහම දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට ආශිර්වාද කළ හැකි ආකාරය ගැන අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් විසින් මෑතකදී ඉගැන්වූ ක්‍රම කිහිපයක් ගැන මම කියන්නම්.
සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ උපදෙස් දුන්නා: “ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල දහම බලවත්. එය තේරුම්ගත් සහ එය ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන සෑම කෙනෙකුගේම ජීවිතය වෙනස් කරනවා.”21
වැඩිහිටි ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ් මෙසේ ඉගැන්වුවා, “යෞවනයේ ශක්තිය සඳහා [මාර්ගෝපදේශය] … ක්‍රිස්තුස්වහන්සේගේ දහම [සහ] [එය] මත පදනම්ව තේරීම් කිරීමට ඔබට [යෞවනයන්ට] ආරාධනා කිරීමේදී නිර්භීතය.”22
වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ් මෙසේ ඉගැන්වුවා, “අපි ධර්මදූතයින්ට ආරාධනා කරන්නේ ඔවුන් උගන්වන අයගෙන් ඔවුන් ඉල්ලා සිටින දේ කිරීමටයි: එනම් … ක්‍රිස්තුස්වහන්සේගේ දහම ඔවුන්ගේ ජීවිතවලට අදාළ කරගෙන [සහ] ගිවිසුම් මාවතේ රැඳී සිටින්නටයි.”23
ක්‍රිස්තුස්වහන්සේගේ දහම අරගල කරන හෝ තමන් සභාවට අයිති නැතැයි සිතන අයව බලගන්වන්නේ එය ඔවුන්ට උපකාර කරන නිසයි, වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් ප්‍රකාශ කළ ආකාරයට, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා වෙනුවෙන් [සහ] මට ප්‍රේම කරන බව, තහවුරු කරගන්න.”24
දෙමාපියනි, ඔබේ දරුවා ශුභාරංචි මූලධර්මයක් හෝ අනාවැකිමය ඉගැන්වීමක් සමඟ අරගල කරන්නේ නම්, කරුණාකර සභාවට හෝ එහි නායකයන්ට එරෙහි ඕනෑම ආකාරයක නපුරු කතා25 හෝ ක්‍රියාකාරීත්වයකට විරුද්ධ වන්න. ඔබගේ පහළින් ඇති මෙම කුඩා, අනාගමික ප්‍රවේශයන් ඔබේ දරුවාගේ දිගුකාලීන ඇදහිලිවන්තකමට සෘණාත්මක බලපෑමක් වෙන්න පුළුවන්.26 එය ඔබ ගැන ඉතා හොඳින් කථා කරනවා, ඒ කියන්නෙ ඔබ ඔබේ වටිනා දරුවා ආරක්ෂා කිරීමටත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් එසේත් නැතිනම් ඔහු හෝ ඇය සමඟ සහයෝගීතාවයේ සලකුණු පෙන්වා දෙන්නත් ඔබට පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අප සැමට දැඩි ලෙස අවශ්‍ය වන්නේ ඇයිද යන්න සහ උන්වහන්සේගේ ප්‍රීතිමත් දහම අදාළ කරගන්නේ කෙසේද කියා ඔවුන්ට ඉගැන්වීම මගින්, ඔබේ දරුවාව ශක්තිමත් කර සුවපත් කරන බව මම සහ මගේ බිරිඳ ජේන් පුද්ගලික අත්දැකීමෙන් දන්නවා. අපි ඔවුන්ව පියාණන්වහන්සේ සමඟ ඔවුන්ගේ සැබෑ උපදේශකයා වන යේසුස්වහන්සේ වෙතට යොමු කරමු. ප්‍රේරිත යොහාන් මෙසේ ඉගැන්වුවා, “ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීමෙහි … පවතින්නාටම පියාණන්වහන්සේද පුත්‍රයාණන්වහන්සේද සිටින සේක. “නුඹලා වෙතට එන යමෙක් මේ ඉගැන්වීම නොගෙනෙනවා නම්, ඔහු ගෙදරට පිළි නොගනිල්ලා, ඔහුට ශුභ සිද්ධ වේවායි නොකියල්ලා”27 කියා ඉන්පසු ඔහු අපට අනතුරු ඇඟෙව්වා.
මෝසෙස් නොමඟ ගිය ඉශ්‍රායෙල් දරුවන් ඉදිරියෙහි පිත්තල සර්පයෙකු අල්ලාගෙන සිටි පාළුකරයට ජේන් සහ මම මෑතකදී ගියා. විසකුරු සර්පයන් දෂ්ට කළ සියල්ලන්ම සරලව එය දෙස බැලුවහොත් ඔවුන්ව සුව කරන බවට ස්වාමින්වහන්සේ පොරොන්දු වී තිබුණා.28 ක්‍රිස්තුස්වහන්සේගේ දහම අප ඉදිරියෙහි ඔසවාගෙන, ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයා කරන්නේත් එයමයි, ඔහු එසේ කරන්නේ “ජාතීන් සුවකරන පිණිසයි.”29 මේ ලෞකික පාළුකරයේ අප අත්විඳින සපාකෑම් හෝ වස විස හෝ අරගල කුමක් වුවත්, අපි පුරාණයේ සහ වර්තමානයේ සුව වීමට ඉඩ තිබුණත්, කණගාටුදායක ලෙස, “එය ඔවුන්ව සුව කරනු ඇතැයි ඔවුන් විශ්වාස නොකළ නිසා … නොබැලූ”30 අය මෙන් නොවී ඉමු. මොර්මොන්ගේ පොත මෙසේ තහවුරු කරනවා: “බලන්න, … මාර්ගය මෙයයි; තවද දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි මනුෂ්‍යයාට ගැලවිය හැකි වෙනත් මාර්ගයක් හෝ ස්වර්ගයට යටින් දෙන වෙනත් නාමයක් නොමැත්තේය. තවද බලන්න, මෙය ක්‍රිස්තුස්වහන්සේගේ දහමයි.”31
එදින සවස නිව් ජර්සි හිදී, අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අවශ්‍ය වන්නේ මන්දැයි සහ උන්වහන්සේගේ දහම බෙදා ගනිමින් මට නව සහෝදරියක් සහ ඇයට නව සහෝදරයෙකු හමුවුණා. ශුද්ධාත්මයාණන්ගේ සාමකාමී, තහවුරු කරන සාක්ෂිය අපට දැනුණා. සාමන්‍ය ලෙස, ඇයගේ සම්බන්ධතා තොරතුරු බෙදා ගැනීමටත් අපගේ ධර්මදූතවරුන් හමුවී ඔවුන් සමඟ මෙම සංවාදය දිගටම කරගෙන යාමටත් මම ඇයට ආරාධනා කළා. ඇය එසේ කිරීමට සතුටු වුණා.
මොර්මොන්ගේ පොත මෙසේ ප්‍රකාශ කරනවා “එබැවින්, මේ දේවල් පොළෝ වාසීන්ට දන්වා සිටීම කොතරම් වැදගත්ද,”—අපි අපගේ සියලුම ප්‍රජාවන් සහ පවුල් තුළ ඉශ්‍රායෙලය එක්රැස් කරන විට,—”ශුද්ධ වූ මෙසියස්වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියාද, කරුණාවද, අනුග්‍රහයද [තවද දහම ද] මගින් මිස, දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි ජීවත්වීමට හැකි වෙන කිසිම මාංශයක් නැති බව ඔවුන් දැන්ගන්නා පිණිස”33 ඔවුන්ට ප්‍රේම කරන්න, බෙදාගන්න සහ ආරාධනා කරන්න32. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.