ප්‍රධාන සම්මන්ත්‍රණය
ප්‍රීතියේ හඬක්!
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ප්‍රීතියේ හඬක්!

ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාගේ සිට සියලුම අනාගතවක්තෘවරුන්ගේ ඉහළම ප්‍රමුඛතාවය වී ඇත්තේ දේවමාළිගා ගොඩනැගීමයි.

“දැන්, අපට ලැබී ඇති ශුභාරංචියේ අපට අසන්නට ලැබෙන්නේ කුමක්ද? ප්‍රීතියේ හඬක්! ස්වර්ගයෙන් එන දයාවේ හඬක්; පොළොවෙන් පිටවන සත්‍යයේ හඬක්; ජීවත්ව සිටින අයට සහ මළවුන්ට ප්‍රීතිමත් හඬක්; මහත් ප්‍රීතියක යහපත් ආරංචියක්.”1

සහෝදර සහෝදරියනි, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගෙන් මෙම වචන අසා විශාල සිනහවක් නොපැමිණීම කළ නොහැකි දෙයක්!

“මනුෂ්‍යයන් පැවතෙන්නේ ප්‍රීතිය තිබෙනු පිණිසය”2 ලෙස අපට සහතික වී ඇති පරිදි, දෙවියන්වහන්සේ වන අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රීතියේ සැලැස්මේ තිබෙන පූර්ණ හා තේජාන්විත ප්‍රීතිය ජෝසෆ්ගේ මෙම ප්‍රීති ප්‍රකාශනය සත්‍ය ලෙසම ග්‍රහණය කරගන්නවා.

දෙවියන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම ඇසූ විට අපි සියල්ලෝම අපගේ පෙර ආත්මික ජීවිතයේදී ප්‍රීතියෙන් කෑගැසුවා,3 ඒවගේම අපි උන්වහන්සේගේ සැලැස්මට අනුව ජීවත් වන විට අපි මෙහි සිටත් ප්‍රීතියෙන් කෑගසනවා. නමුත් අනාගතවක්තෘවරයාගේ මෙම ප්‍රීතිමත් ප්‍රකාශයේ සන්දර්භය හරියටම කුමක්ද? මෙම ගැඹුරු සහ හෘදයාංගම හැඟීම් ඇති කළේ කුමක්ද?

ජෝසෆ් අනාගතවක්තෘවරයා මළවුන් සඳහා බව්තීස්මය ගැන උගන්වමින් සිටියා. මෙය ඇත්තෙන්ම මහත් ප්‍රීතියකින් ලැබුණු කීර්තිමත් එළිදරව්වක්. සභාවේ සාමාජිකයන් තම මියගිය ආදරණීයයන් වෙනුවෙන් බව්තීස්ම විය හැකි බව මුලින්ම දැනගත් විට, ඔවුන් ප්‍රීති වුණා. විල්ෆර්ඩ් වුඩ්රෆ් මෙසේ පැවසුවා, “මම එය ඇසූ මොහොතේ මගේ ප්‍රාණය ප්‍රීතියෙන් පිනා ගියා!”4

ස්වාමින්වහන්සේ එළිදරව් කරන සහ නැවත පිහිටුවන එකම සත්‍යය වන්නේ, මිය ගිය අපගේ ප්‍රියයන් සඳහා බව්තීස්මය පමණක් නොවේ. දෙවියන්වහන්සේ තම දූ පුතුන්ට ලබා දීමට උනන්දු වූ වෙනත් දීමනා හෝ බලයෙන් සැරසීම් රාශියක් තිබුණා.

මෙම අනෙකුත් දීමනා අතරට පූජකවර අධිකාරිය, ගිවිසුම් සහ නියෝග, සදහටම පවතින විවාහයන්, දෙවියන්වහන්සේගේ පවුල තුළ දරුවන්ව ඔවුන්ගේ දෙමාපියන්ට මුද්‍රා තැබීම, සහ අවසානයේ අපගේ ස්වර්ගීය පියාණන් සහ උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ජීවත් වීමට නැවත නිවසට යාමේ ආශිර්වාදය ඇතුළත් වුණා. මේ සියලු ආශිර්වාද ලබා ගැනීමට හැකි වූයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළිනුයි.

දෙවියන්වහන්සේ මේවා උන්වහන්සේගේ උසස්ම හා ශුද්ධ වූ ආශිර්වාද ලෙස සැලකූ නිසා,5 මෙම වටිනා ත්‍යාග තම දරුවන්ට ප්‍රදානය කළ හැකි පූජනීය ගොඩනැගිලි ඉදිකරන ලෙස උන්වහන්සේ උපදෙස් දුන්නා.6 මෙම ගොඩනැගිලි පොළොවේ උන්වහන්සේගේ නිවසයි. මෙම ගොඩනැගිලි තමයි උන්වහන්සේගේ නාමයෙන්ද උන්වහන්සේගේ වචනයෙන්ද උන්වහන්සේගේ අධිකාරියෙන්ද පොළොවෙහි මුද්‍රා තබන හෝ බඳින ලද දේ ස්වර්ගයෙහි මුද්‍රා තබන දේවමාළිගා.7

අද සභාවේ සාමාජිකයන් වශයෙන්, මෙම තේජාන්විත සදාකාලික සත්‍යයන් සුළු කොට තැකීම පහසු බව අප සමහරෙක්ට හිතෙන්න පුළුවන්. අපි ඒවා වැඩි සැලකිල්ලකින් තොරව පුරුද්දට මෙන් කරන ඒවා වී තිබෙනවා. සමහර විට ඒවා ගැන පළමු වරට ඉගෙන ගන්නා අයගේ ඇස්වලින් අපි ඒවා දෙස බැලීම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මෑතකාලීන අත්දැකීමකින් මට මෙය පැහැදිලි වුණා.

පසුගිය වසරේ, ජපානයේ ටෝකියෝ දේවමාළිගාව නැවත කැපකිරීමට මොහොතකට පෙර, අපගේ ඇදහිල්ලට අයත් නොවන බොහෝ අමුත්තන් එම දේවමාළිගාවේ සංචාරය කළා. එවැනි සංචාරයකට වෙනත් ආගමක කල්පනාකාරී නායකයෙක් ද ඇතුළත් වී සිටියා. අපි අපේ අමුත්තන්ට ස්වර්ගික පියාණන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම, එම සැලැස්මේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගැලවීමේ කාර්යභාරය, සහ මුද්‍රා තැබීමේ නියෝගය හරහා පවුල් සදාකාලිකව එකමුතු කළ හැකිය යන දහම පිළිබඳව ඉගැන්වුවා.

එම සංචාරය අවසානයේදී, මම අපගේ මිතුරාට ඔහුගේ හැඟීම් බෙදා ගැනීමට ආරාධනා කළා. අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේ පවුල් එකමුතු කිරීම ගැන සඳහන් කරමින්, මෙම යහපත් මිනිසා අවංකවම මෙසේ ඇසුවා, “ඔබේ ඇදහිල්ලේ සාමාජිකයින්ට මෙම දහම කෙතරම් ගැඹුරුද යන්න සැබවින්ම වැටහෙනවාද?” ඔහු තවදුරටත් මෙසේ පැවසුවා, “මෙතරම් බෙදී ඇති මේ ලෝකය එක්සත් කළ හැකි එකම ඉගැන්වීම මෙය විය හැකියි.”

එය මොනතරම් බලවත් නිරීක්ෂණයක් ද. මෙම මිනිසා හුදෙක් දේවමාළිගාවේ අතිවිශිෂ්ට ශිල්පක්‍රමයෙන් නොව, පවුල් එකමුතු වී ස්වර්ගීය පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සදාකාලිකව බැඳී සිටින බවට සහ මුද්‍රා වන බවට වූ විශ්මයජනක හා ගැඹුරු දහමෙන් පෙළඹවීමක් ලබා තිබුණා.8

එසේනම්, දේවමාළිගාවේ සිදුවන දේවල මහිමය අපගේ ඇදහිල්ලේ නැති කෙනෙකු පවා හඳුනාගැනීම ගැන අප පුදුම විය යුතු නෑ. අපට සාමාන්‍ය හෝ පුරුදු දෙයක් බවට පත් විය හැකි දේ, එය පළමු වරට අසන හෝ දැනෙන අයට සමහර විට එහි උත්කර්ෂය හා තේජස තුළ පෙනෙන්න පුළුවන්.

පුරාණ කාලයේ දේවමාළිගා පැවතියද, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීමත් සමඟ, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාගේ සිට සියලුම අනාගතවක්තෘවරුන්ගේ ඉහළම ප්‍රමුඛතාවය වී ඇත්තේ දේවමාළිගා ගොඩනැගීමයි. ඒ ඇයිද යන්න තේරුම් ගැනීම පහසුයි.

ජෝසෆ් අනාගතවක්තෘවරයා මළවුන් වෙනුවෙන් බව්තීස්ම වීම ගැන උගන්වද්දී ඔහු තවත් ශ්‍රේෂ්ඨ සත්‍යයක් හෙළි කළා. ඔහු මෙසේ ඉගැන්වුවා: “අපගේ ගැලවීමට සම්බන්ධ, මළවුන් සහ ජීවත් වන්නවුන් සම්බන්ධ මෙම මූලධර්ම සැහැල්ලුවෙන් පසුකර යාමට දිය නොහැකිය. මක්නිසාද ඔවුන්ගේ ගැලවීම අපගේ ගැලවීමට අනිවාර්යය සහ අත්‍යවශ්‍ය වන්නේය, … එනම් අපගෙන් තොරව ඔවුන්ට සම්පූර්ණ වීමක් නොවන්නේය—එලෙසම අපගේ මළවුන් නොමැතිව අපටද සම්පූර්ණ වීමක් නොවන්නේය.”9

අපට පෙනෙන පරිදි, දේවමාළිගාවල අවශ්‍යතාවය සහ ජීවත්ව සිටින අයට සහ මළවුන්ට යන දෙපාර්ශවයම වෙනුවෙන් සිදු කෙරෙන කාර්යයෙහි අවශ්‍යතාවය පැහැදිලියි.

විරුද්ධවාදියා සීරුවෙන් සිටිනවා. දේවමාළිගා වල සිදු කරන නියෝග සහ ගිවිසුම් මගින් ඔහුගේ බලය තර්ජනයට ලක්ව ඇති අතර, එම කාර්යය නැවැත්වීමට ඔහු හැකි සෑම දෙයක්ම කරනවා. ඒ ඇයි? මොකද මේ ශුද්ධ වූ කාර්යයෙන් ලැබෙන බලය ගැන ඔහු දන්නවා. සෑම නව දේවමාළිගාවක්ම කැප කරන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගැලවීමේ බලය, ප්‍රතිවාදියාගේ ප්‍රයත්නයන්ට එරෙහි වීමට සහ අප උන්වහන්සේ වෙතට පැමිණෙන විට අපව මුදවා ගැනීම සඳහා ලොව පුරා ව්‍යාප්ත වෙනවා. දේවමාළිගා සහ ගිවිසුම් රකින්නන්ගේ සංඛ්‍යාව වැඩි වන විට, විරුද්ධවාදියා දුර්වල වෙනවා.

සභාවේ මුල් දිනවල, නව දේවමාළිගාවක් ප්‍රකාශ කළ විට සමහරු කනස්සල්ලට පත්වෙනවා, එයට හේතුව ලෙස ඔවුන් මෙහෙම කියනවා “කවදාවත් අපායේ සීනු නාද නොවී අපි දේවමාළිගාවක් හදන්න පටන් ගත්තේ නැහැ.” නමුත් බ්‍රිගම් යන්ග් නිර්භීතව මෙසේ ප්‍රතිචාර දැක්වූවා, “මට ඒවා නැවත නාද වෙනවා ඇසීමට අවශ්‍යයි.”10

මෙම ලෞකික ජීවිතයේදී, අපි කිසි විටෙකත් එම යුද්ධයෙන් බේරෙන්නේ නෑ, නමුත් අපට සතුරාව අභිබවා බලය ලබාගන්න පුළුවන්. අප දේවමාළිගාවේ ගිවිසුම් ඇති කරගෙන ඒවා පිළිපදින විට එම බලය සහ ශක්තිය ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්.

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ උගන්වා තිබෙනවා: “ස්වාමින්වහන්සේට කීකරු නොවන අයගෙන් උන්වහන්සේට කීකරු වන අයව වෙන් වන කාලය පැමිණෙනවා. අපගේ ආරක්ෂිතම රක්‍ෂණය තමයි උන්වහන්සේගේ ශුද්ධ වූ නිවසට ඇතුළත් වීමට දිගටම සුදුසු වී සිටීම.”11

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අනාගතවක්තෘවරයා මාර්ගයෙන් අපට පොරොන්දු වූ අමතර ආශිර්වාද කිහිපයක් මෙන්න.

ඔබට ප්‍රාතිහාර්යයන් අවශ්‍යද? අපගේ අනාගතවක්තෘවරයා මෙසේ කියා තිබෙනවා: “ඔබ උන්වහන්සේගේ දේවමාළිගාවේ සේවය කිරීමට සහ නමස්කාර කිරීමට කැපකිරීම් කරන විට, ඔබට අවශ්‍ය බව ස්වාමින්වහන්සේ දන්නා ප්‍රාතිහාර්යයන් උන්වහන්සේ ඔබට ලබාදෙන බවට මම ඔබට පොරොන්දු වෙනවා.”12

ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුව කිරීමේ සහ ශක්තිමත් කිරීමේ බලය ඔබට අවශ්‍යද? සභාපති නෙල්සන් එය අපට මෙසේ සහතික කරනවා “දේවමාළිගාවේ උගන්වන සෑම දෙයක්ම … යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අපගේ අවබෝධය වැඩි කරනවා. … අපි අපගේ ගිවිසුම් රකින විට, උන්වහන්සේගේ සුවය සහ ශක්තිමත් කිරීමේ බලය මගින් උන්වහන්සේ අපව බලයෙන් සරසනවා.” ඒවගේම ඇත්තටම, ඉදිරි දින වලදී අපට උන්වහන්සේගේ බලය කෙතරම් නම් අවශ්‍ය වෙයිද.”13

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජයග්‍රාහී ලෙස යෙරුසෙලමට ඇතුළු වූ පළමු ගොක් ඉරිදා දිනයේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ විශාල පිරිසක් ප්‍රීති වෙමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් උස් හඬින් මෙසේ පැවසුවා, “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන්නාවූ රජ ආශිර්වාද ලත්තෙක්ය.”14

1836 ගොක් ඉරිදා දින කර්ට්ලන්ඩ් දේවමාළිගාව කැප කිරීම කොතරම් සුදුසු දෙයක්ද. ඒ අවස්ථාවේදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෝද ප්‍රීති වුණා. එම කැපකිරීමේ යාච්ඤාවේදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මෙම ප්‍රශංසනීය වචන ප්‍රකාශ කළා:

“අහෝ ස්වාමින් වූ සර්වබලධාරි දෙවියන්වහන්ස, … මහිමය, ගෞරවය, බලය, තේජස, ශක්තිය, … සමඟ, ඔබවහන්සේ සිංහාසනාරූඪව සිටින, ඔබවහන්සේගේ ශුද්ධ වූ වාසස්ථානය වන, ස්වර්ගයේ සිට අපට පිළිතුරු දෙනු මැනව.”

“තවද ඔබවහන්සේගේ ආත්මයේ බලයෙන් අපට උපකාර කළ මැනව, එනම් දෙවියන්වහන්සේට සහ බැටළුපටවාණන්ට හෝසන්නා! යැයි ගයමින්, ප්‍රීතිඝෝශා සමඟ පසසමින්, ඔබවහන්සේගේ සිංහාසනය වටේ එම දීප්තිමත්, දිදුලන උසස් සෙරාප්වරුන් සමඟින්, අපගේ හඬවල් මිශ්‍ර කරන පිණිසය.

“තවද එසේම … ඔබවහන්සේගේ ශුද්ධවන්තයන්ට ප්‍රීතිය උදෙසා මොරගැසීමටත් සැලස්සුව මැනව.”15

සහෝදර සහෝදරියනි, අද මෙම ගොක් ඉරිදා දිනයේදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන් අපිද අපගේ ශුද්ධ වූ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේ අපට කරන යහපත්කම ගැන ප්‍රීති වෙමු. “අපට ලැබී ඇති ශුභාරංචියේ අපට අසන්නට ලැබෙන්නේ කුමක්ද? සැබවින්ම “ප්‍රීතියේ හඬක්!”16

ඔබ ස්වාමින්වහන්සේගේ ශුද්ධ වූ දේවමාළිගා තුළට ඇතුළු වන විට ඔබට වඩ වඩාත් ප්‍රීතිය දැනෙන බව මම සාක්ෂි දෙරනවා. උන්වහන්සේ ඔබ කෙරෙහි ලබාදෙන ප්‍රීතිය ඔබ අත්විඳින බවට මම සාක්ෂි දරනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

මුද්‍රණය කරන්න