එන්න, මා අනුගමනය කරන්න 2024
නොවැම්බර් 11–17: “අවිශ්වාසයේ තිරය දෙකඩ කරන්න.” ඊතර් 1–5


“නොවැම්බර් 11–17: ‘අවිශ්වාසයේ තිරය දෙකඩ කරන්න.’ ඊතර් 1–5,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“නොවැම්බර් 11–17. ඊතර් 1–5,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
යාරෙද්වරුන් කාන්තාරය හරහා ගමන් කරමින්

ඇල්බින් වෙසෙල්කා විසින්, The Jaredites Leaving Babel [යාරෙද්වරුන් බාබෙල් හැරයමින්]

නොවැම්බර් 11–17: “අවිශ්වාසයේ තිරය දෙකඩ කරන්න”

ඊතර් 1–5

දෙවියන්වහන්සේගේ මාර්ග අපට වඩා උසස් බව සහ අප සැමවිටම උන්වහන්සේගේ කැමැත්තට යටත් විය යුතු බව සත්‍යයක් වුවත්, අපි අපි වෙනුවෙන් සිතා බලා ක්‍රියා කරන ලෙස උන්වහන්සේ අපිව දිරිමත් කරනවා. යාරෙද් සහ ඔහුගේ සහෝදරයා ඉගෙනගත් එක් පාඩමක් තමයි ඒ. නිදසුනක් විදියට, “මුළු පොළොවේම උතුම් දේශයක් තුළට” නව දේශයකට යෑමේ අදහස යාරෙද් සමඟ ආරම්භ වුණු බව පෙනෙන්නට තිබුණත්, ස්වාමින්වහන්සේ “අනුකම්පා කරමින්” එම ඉල්ලීම ලබාදෙන බවට පොරොන්දු වෙමින්, මෙහෙම කිව්වා, “තවද මෙසේ මම නුඹ හට කරන්නෙමි, මක්නිසාද මෙපමණ දිගු කාලයක් නුඹ මා හට මොරගැසුවෙහිය” (ඊතර් 1:38–43 බලන්න). ඒවගේම යාරෙද්ගේ සහෝදරයාට ඔවුන්ගේ පොරොන්දු වූ දේශයට ඔවුන් රැගෙන යන බත්තල් තුළ ආලෝකය අවශ්‍ය වූ විට, ස්වාමින්වහන්සේ අපි සාමාන්‍යයෙන් උන්වහන්සේගෙන් අසන ප්‍රශ්නයක් ඇසුවා: “මා කුමක් කරනවාට නුඹලා කැමතිද?” (ඊතර් 2:23). උන්වහන්සේට අපගේ සිතුවිලි සහ අදහස් ඇසීමට අවශ්‍යයි, ඒවගේම උන්වහන්සේ සවන් දී උන්වහන්සේගේ තහවුරු කිරීම හෝ වෙනත් ආකාරයකින් අපට උපදෙස් ලබා දෙනවා. සමහරවිට අප සොයන ආශිර්වාද වලින් අපව වෙන් කරන එකම දේ තමයි අපගේම “අවිශ්වාසයේ තිරය,” ඒ වගේම අපට “එම තිරය දෙකඩ කිරීමට” පුළුවන් නම් (ඊතර් 4:15), ස්වාමින්වහන්සේ අප වෙනුවෙන් කුමක් කිරීමට කැමතිද යන්න ගැන අප පුදුමයට පත්වෙන්න පුළුවන්.

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

ඊතර් 1:33–43

මම ස්වාමින්වහන්සේට මොරගසන විට, උන්වහන්සේ මා කෙරෙහි අනුකම්පා කරනවා.

ඊතර් 1:33–43 තුළ යාරෙද්ගේ සහෝදරයාගේ යාච්ඤා තුනක් ගැන කතා කරනවා. ඒ එක් එක් යාච්ඤාවට ස්වාමින්වහන්සේ ලබාදුන් ප්‍රතිචාර වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? ඔබ ස්වාමින්වහන්සේට යාච්ඤාවෙන් හඬා වැලපෙන විට ඔබ අනුකම්පාව අත්විඳි අවස්ථාවක් ගැන සිතන්න. ඔබට මෙම අත්දැකීම වාර්තා කර, ඔබගේ සාක්ෂිය ඇසීමට උවමනා අයෙකු සමඟ එය බෙදාගැනීමට අවශ්‍ය වෙන්න පුළුවන්.

ඊතර් 2; 3:1–6; 4:7–15

රූපය
සෙමනේරි නිරූපකය
මට මගේ ජීවිතය සඳහා එළිදරව් ලබාගන්න පුළුවන්.

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ කිව්වා: “එළිදරව් ලැබීමට ඔබේ අධ්‍යාත්මික හැකියාව වැඩි කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. … ශුද්ධාත්මයාණන්ගේ දීමනාව භුක්තිවිඳීමට අවශ්‍ය ආත්මික වැඩ කිරීමට තෝරාගෙන ආත්මයාණන්වහන්සේගේ හඬ නිතර නිතර හා පැහැදිලිව ඇසීමට තෝරාගන්න” (“සභාව සඳහා එළිදරව්, අපගේ ජීවිත සඳහා එළිදරව්,” ලියහෝනා, මැයි 2018, 96).

ඔබ ඊතර් 2; 3:1–6; 4:7–15, අධ්‍යයනය කරද්දි; සභාපති නෙල්සන් කතා කළ “අධ්‍යාත්මික කාර්යයන්” ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? යාරෙද්ගේ සහෝදරයාට තිබූ ප්‍රශ්න හෝ උත්සුකයන් සහ ඔහු ඒවා ගැන කළ දේ ඔබට එක් වර්ණයකින් සලකුණු කළ හැකි අතර, තවත් වර්ණයකින් ස්වාමින්වහන්සේ ඔහුට උදව් කොට උන්වහන්සේගේ කැමැත්ත ප්‍රකාශ කළ ආකාරය සලකුණු කරන්න ඔබට පුළුවන්.

ඔබ අධ්‍යයනය කරද්දි මෙනෙහි කළ යුතු ප්‍රශ්න කිහිපයක් මෙන්න:

  • ඊතර් 2:18–25 තුළ යාරෙද්ගේ සහෝදරයාගේ ප්‍රශ්නවලට ස්වාමින්වහන්සේ පිළිතුරු දුන් ආකාරය ගැන ඔබේ සිත් ඇදගන්නේ කුමක්ද?

  • යාච්ඤා කිරීමට ඉගෙන ගන්නා කෙනෙකුට උදවු කිරීමට ඔබට ඊතර් 3:1–5 භාවිතා කරන්න පුළුවන් කොහොමද?

  • ස්වාමින්වහන්සේගෙන් එළිදරව් ලැබීමට ඔබට බාධාවක් විය හැකි දේවල් මොනවාද? (බලන්න ඊතර් 4:8–10). ඔබට උන්වහන්සේගෙන් නිතර නිතර එළිදරව්ව ලබා ගන්න පුළුවන් කොහොමද? (බලන්න ඊතර් 4:7, 11–15).

  • ඔබ සිතන ආකාරයට ඔබේ ජීවිතයේ “ඇදහිල්ලේ තිරය ඉරා දැමීම” යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද? (ඊතර් 4:15).

පුද්ගලික එළිදරව් ගැන යාරෙද්ගේ සහෝදරයාගෙන් ඔබ ඉගෙන ගන්නා තවත් දේවල් මොනවාද?

වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ් “පුද්ගලික එළිදරව් සඳහා රාමුවක්” (ලියහෝනා, නොවැ. 2022, 16–19) ගැන ඉගැන්වුවා. පින්තූර රාමුවක් ඇඳ, ඒ රාමුවේ එක් එක් පැත්තෙහි ඒ කතාවේ ඇති රාමුවක කරුණු හතර ලිවීම සලකා බලන්න. මෙම රාමුව ඔබට “එළිදරව් ලැබීමට ඇති හැකියාව වැඩි කිරීමට” උදවු වෙන්නේ කොහොමද?

ඊතර් 2:14–15; 3:1–20

උන්වහන්සේගේ හික්මවීම තුළින්, ස්වාමින්වහන්සේ මට පසුතැවිලි වී උන්වහන්සේ වෙතට එන ලෙස ආරාධනා කරනවා.

යාරෙද්ගේ සහෝදරයා තරම් ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරයෙකුට පවා ස්වාමින්වහන්සේ විසින් හික්මවීම අවශ්‍ය වුණා. ස්වාමින්වහන්සේගේ හික්මවීම ගැන ඔබ ඊතර් 2:14–15 වෙතින් ඉගෙනගන්නේ මොනවාද? ස්වාමින්වහන්සේගේ හික්මවීම සහ යාරෙද්ගේ සහෝදරයාගේ ප්‍රතිචාරය ඊතර් 3:1–20 තුළ ඔහුගේ අත්දැකීම් සඳහා ඔහුව සූදානම් කිරීමට උදවු වූ ආකාරය ගැන සිතන්න.

ඊතර් 2:16–25

මාගේ “මහා ගැඹුර” තරණය කිරීමට ස්වාමින්වහන්සේ මාව සූදානම් කරනවා.

සමහර විට, අපට දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට ඇති එකම මාර්ගය වෙන්නෙ “මහා ගැඹුර” තරණය කිරීම. ඊතර් 2:16–25 තුළ ඔබේ ජීවිතයට සමානකම් ඔබ දකිනවාද? ඔබේ අභියෝග සඳහා ස්වාමින්වහන්සේ ඔබව සූදානම් කර තිබෙන්නේ කොහොමද? අනාගතයේදී ඔබ කළ යුතු දේ සඳහා සූදානම් වීමට උන්වහන්සේ ඔබෙන් දැන් ඉල්ලා සිටින්නේ මොනවාද?

තවත් බලන්න එල්. ටොඩ් බජ්, “ස්ථාවර හා ප්‍රත්‍යස්ථ විශ්වාසය,” ලියහෝනා, නොවැ. 2019, 47–49.

ඔබ ඉගෙන ගන්නා දේ අදාළ කරගන්න. ශුභාරංචි අධ්‍යයනය මගින් අපගේ ජීවිත වෙනස් කිරීමට අපව පොළඹවන්න අවශ්‍යයි. ඊතර් 4:11–12 කියවීමෙන් පසු, ඔබේ ජීවිතයේ සමහර බලපෑම් ලැයිස්තුගත කර ඒවා යහපත් දේ කිරීමට ඔබව පොළඹවනවාද කියා සලකා බලන්න ඔබට පුළුවන්. ඔබ කිරීමට පෙලඹෙන වෙනස්කම් මොනවාද?

ඊතර් 5

සාක්ෂිකරුවන් මොර්මොන්ගේ පොතේ සත්‍යතාව ගැන සාක්ෂි දරනවා.

ඔබ ඊතර් 5 තුළ මොරෝනිගේ අනාවැකිය කියවද්දි, මොර්මොන්ගේ පොත සඳහා බොහෝ සාක්ෂිකරුවන් සූදානම් කිරීමේ ස්වාමින්වහන්සේගේ අරමුණ ගැන මෙනෙහි කරන්න. මොර්මොන්ගේ පොත දෙවියන්වහන්සේගේ වචනය බව විශ්වාස කිරීමට ඔබව පෙලඹවූ සාක්ෂි මොනවාද? මොර්මොන්ගේ පොත ඔබට “දෙවියන්වහන්සේගේ බලය සහ උන්වහන්සේගේ වචනය” පෙන්වා දී තිබෙන්නේ කොහොමද? (ඊතර් 5:4).

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

ඊතර් 1:33–37; 2:16–25; 3:1–6

ස්වර්ගීය පියාණන්වහන්සේ මාගේ යාච්ඤාවලට සවන් දී පිළිතුරු දෙනවා.

  • ඔබේ දරුවන් නොදන්නා භාෂාවක් ඔබ දන්නවා නම්, ඔවුන්ට එම භාෂාවෙන් සරල උපදෙස් කිහිපයක් දෙන්න (හෝ වෙනත් භාෂාවක පටිගත කිරීමක් වාදනය කරන්න). ඊතර් 1:33–37 තුළ යාරෙද්ගේ සහෝදරයා උදව් ඉල්ලා යාච්ඤා කළේ ඇයි කියා පැහැදිලි කිරීමට ඔබට මෙය භාවිතා කරන්න පුළුවන්. මෙම යාච්ඤාව ගැන ස්වාමින්වහන්සේට හැඟුණු ආකාරය සහ උන්වහන්සේ ප්‍රතිචාර දැක්වූ ආකාරය අවධාරණය කරන්න.

  • ඔබ ඊතර් 2:16–17 කියවද්දි, ඔබේ දරුවන්ට බත්තලක් හදනවා වගේ රඟපාන්න පුළුවන්. ඊට පස්සෙ ඔබට සහ ඔබේ දරුවන්ට යාරෙද්වරුන්ට ඔවුන්ගේ බත්තල් සමඟ ඇති වූ ගැටලු (බලන්න ඊතර් 2:19) සහ ස්වාමින්වහන්සේ යාරෙද්ගේ සහෝදරයාට පිළිතුරු දුන් විවිධ ආකාර ගැන කියවන්න පුළුවන් (බලන්න ඊතර් 2:19–25; 3:1–6). මෙම දළ සටහනේ අවසානයේ ඇති පින්තූරය සහ ක්‍රියාකාරකම් පිටුව ඔබට සහ ඔබේ දරුවන්ට මේ කතාව කියන්න උදවු වෙනවා. යාච්ඤාව ගැන යාරෙද්ගේ සහෝදරයාගෙන් අපි ඉගෙනගන්නේ මොනවාද? ඔබ උදවු ඉල්ලා යාච්ඤා කළ සහ ස්වර්ගික පියාණන්වහන්සේ ඔබට උදවු කළ අත්දැකීමක් බෙදාගැනීම සලකා බලන්න.

ඊතර් 3:6–16

මාව මැව්වේ දෙවියන්ගේ ස්වරූපයෙන්.

  • ඔබේ දරුවන් වර්ධනය වන විට, ඔවුන්ට දෙවියන්වහන්සේ ගැන, තමන් ගැන සහ ඔවුන්ගේ භෞතික ශරීරය ගැන බොහෝ අසත්‍ය පණිවිඩ අසන්න ලැබෙනවා. ඊතර් 3:6–16 තුළ මෙම කාරණා පිළිබඳ සත්‍යයන් සොයා ගැනීමට ඔබට උදවු කරන ලෙස ඔබට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. ඊතර් 3:13, 15 තුළ උගන්වා ඇති සත්‍යය අවධාරණය කිරීමට, ඔබට ගැලවුම්කරුවාණන්ගේ පින්තූරයක් දෙස බලා උන්වහන්සේගේ ශරීරයේ විවිධ කොටස් පෙන්වා දීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න පුළුවන්. එවිට ඔවුන්ට ඔවුන්ගේම ශරීරයේ එවැනිම කොටස පෙන්වන්න පුළුවන්. ඔබේ ශරීර ගැන ඔබ කෘතඥ වන්නේ ඇයි කියා ඔබට සහ ඔබේ දරුවන්ට සාකච්ඡා කරන්න පුළුවන්.

රූපය
දරුවා පිට්ටනියක දුවමින්

අපිව මවලා තියෙන්නේ දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන්.

ඊතර් 5

සාක්ෂිකරුවන් තිදෙනෙක් මොර්මොන්ගේ පොත ගැන සාක්ෂි දුන්නා.

  • මොර්මොන්ගේ පොතේ සත්‍යය තහවුරු කිරීමට සාක්ෂිකරුවන් තිදෙනෙක් උදවු වෙන බව මොරෝනි අනාවැකි පළ කළා. සාක්ෂිකරුවෙකු කියන්නෙ කවුද කියා ඉගැන්වීමට, අනෙක් අය දැක නැති නමුත් ඔවුන් දැක ඇති හෝ අත්විඳි දෙයක් ගැන පවසන්න කියා ඔබට ඔබේ දරුවන්ගෙන් ඉල්ලන්න පුළුවන්. ඉන්පසුව ඔබ එකට එකතු වී ඊතර් 5 කියවද්දි, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ කාර්යයේදී සාක්ෂිකරුවන් යොදා ගන්නේ ඇයි කියා ඔබට කතා කරන්න පුළුවන්. මොර්මොන්ගේ පොත සත්‍ය බව ඔබ දන්නා ආකාරය සහ ඔබේ සාක්ෂිය අන් අය සමඟ බෙදා ගත හැකි ආකාරය ඔබට එකිනෙකා සමඟ බෙදා ගන්න පුළුවන්.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
යේසුස්වහන්සේ යාරෙද්ගේ සහෝදරයා ඉදිරියේ ගල් 16 ක් ස්පර්ශ කරමින්

මාර්කස් ඇලන් වින්සන්ට් විසින්, Sawest Thou More Than This? [ඔබ මීට වඩා දැක ඇත්ද?]

මුද්‍රණය කරන්න