පුද්ගලික එළිදරව් සඳහා රාමුවක්
ශුද්ධාත්මයාණන් ක්‍රියා කරන රාමුව අප තේරුම් ගත යුතුයි. අපි ඒ රාමුව තුළ ක්‍රියා කරන විට, ශුද්ධාත්මයාණන් වහන්සේට විශ්මය ජනක අනුභාවයන් මුදාහරින්න පුළුවන්.
ඔබ බොහෝ දෙනෙක් මෙන්, මමත් පසුගිය වසර ගණනාවක් පුරා වැඩිහිටි ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ් තුළින් බෙහෙවින්ම අනුභාවයන් ලැබුවා. එය මම කියන්නට යන දේ ගැන අවම වශයෙන් අඩක්වත් පැහැදිලි කරනවා.1 ඉතින්, ඔහුගෙන් සමාව අයදිමින් …
හොඳින් පුහුණු වූ ගුවන් නියමුවන් තම ගුවන් යානයේ ධාරිතාවය තුළ පියාසර කරන අතර ධාවන පථ භාවිතය සහ පියාසැරි මාර්ගය සම්බන්ධයෙන් ගුවන් ගමනාගමන පාලකයන්ගේ උපදෙස් අනුගමනය කරනවා. සරලව කිවනවා නම්, ගුවන් නියමුවන් ක්‍රියාත්මක වෙන්නේ එක් රාමුවක් තුළ. ඔවුන් කෙතරම් විශිෂ්ට හෝ දක්ෂ වුවත්, ගුවන් නියමුවන්ට ගුවන්යානයක ආශ්චර්යමත් අරමුණු ඉටු කරගැනීම සඳහා එහි ඇති දැවැන්ත විභවය ආරක්ෂිතව මුදා හැරිය හැක්කේ මෙම රාමුව තුළ පියාසර කිරීමෙන් පමණයි.
ඒ හා සමාන ආකාරයකින්, අපට පුද්ගලික එළිදරව් ලැබෙන්නෙත් එක් රාමුවක් තුළයි. බව්තීස්මයෙන් පසු, අපට විශිෂ්ට නමුත් ප්‍රායෝගික දීමනාවක් වන ශුද්ධාත්මයාණන් වහන්සේගේ දීමනාව ලබා දී තිබෙනවා.2 අපි ගිවිසුම් මාර්ගයේ රැඳී සිටීමට උත්සාහ කරන විට,3 “[අප] කළ යුතු සියල්ල [අපට] පෙන්වන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේයි.”4 අපට විශ්වාස නැති විට හෝ අප නොසන්සුන් වූ විට, අපට දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලා සිටින්න පුළුවන්.5 ගැලවුම්කරුවාණන්ගේ පොරොන්දුව වඩාත් පැහැදිලියි: “ඉල්ලන්න, එය ඔබට දෙනු ලැබේ; … මක්නිසාද ඉල්ලන සෑම කෙනෙකුටම ලැබේ.”6 ශුද්ධාත්මයාණන් වහන්සේගේ උපකාරයෙන්, අපගේ දිව්‍යමය ස්වභාවය අපගේ සදාකාලික ඉරණම බවට අපට පරිවර්තනය කරගන්න පුළුවන්.7
ශුද්ධාත්මයාණන් වහන්සේ තුළින් පුද්ගලික එළිදරව් ලැබීමේ පොරොන්දුව පියාසර කරන ගුවන් යානයක් මෙන් විශ්මය ජනකයි. ඒවගේම ගුවන් නියමුවන් මෙන්, පුද්ගලික එළිදරව් ලබාදීම සඳහා ශුද්ධාත්මයාණන් වහන්සේ ක්‍රියා කරන රාමුව අප තේරුම් ගත යුතුයි. අපි ඒ රාමුව තුළ ක්‍රියා කරන විට, ශුද්ධාත්මයාණන් වහන්සේට විශ්මය ජනක අනුභාවයන්, මගපෙන්වීම සහ සැනසීම මුදාහරින්න පුළුවන්. මෙම රාමුවෙන් පිටත, අපගේ විශිෂ්ටත්වය හෝ දක්ෂතාවය කුමක් වුවත්, අප රැවටීමට ලක් වී, කඩා වැටී දැවී යන්න පුළුවන්.
පුද්ගලික එළිදරව් ලැබීම සඳහා මෙම රාමුවේ පළමු අංගය ශුද්ධලියවිලි තුළින් ලබාදෙනවා.8 ශුද්ධලියවිලිවල දක්නට ලැබෙන පරිදි ක්‍රිස්තුස්වහන්සේගේ වචන මත භුක්ති විඳීම පුද්ගලික එළිදරව් ලැබීම උත්තේජනය කරනවා. වැඩිහිටි රොබර්ට් ඩී. හේල්ස් මෙහෙම කිව්වා: “අපට දෙවියන්වහන්සේට කතා කිරීමට අවශ්‍ය වූ විට, අපි යාච්ඤා කරනවා. ඒවගේම උන්වහන්සේ අපට කතා කරනවාට අපට අවශ්‍ය වූ විට, අපි ශුද්ධලියවිලි කියවනවා.”9
පුද්ගලික එළිදරව් ලබාගන්නේ කෙසේද යන්නත් ශුද්ධලියවිලි අපට උගන්වනවා.10 ඒවගේම අපි ඉල්ලන්නේ හරි දේ සහ හොඳ දේ11 මිස දෙවියන්වහන්සේගේ කැමැත්තට පටහැනි දේ නොවේ.12 අපි අපේම න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කිරීමට හෝ අපේම සතුට ඉටු කරගැනීමට නුසුදුසු චේතනා ඇතිව “වැරදි ලෙස ඉල්ලන්නේ” නෑ.13 ඒ සියල්ලටම වඩා, අපට ලැබෙනු ඇතැයි විශ්වාස කරමින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්14 ස්වර්ගික පියාණන්වහන්සේගෙන් අපි ඉල්ලා සිටිය යුතුයි.15
එම රාමුවේ දෙවන අංගය තමයි අපට පුද්ගලික එළිදරව් ලැබෙන්නේ අපට අදාළ වන පථය තුළ පමණක් වන අතර අන් අයගේ වරප්‍රසාදය සඳහා නොවේ. වෙනත් වචන වලින් කිවහොත්, අපි ගුවන්ගත වන්නේත් ගොඩබස්වන්නෙත් අපට නියම වී ඇති ධාවන පථයේ පමණයි. හොඳින් නිර්වචනය කරන ලද ධාවන පථවල වැදගත්කම නැවත පිහිටුවීමේ ඉතිහාසයේ මුල් අවධියේදී ඉගෙනගන්න ලැබෙනවා. මොර්මොන්ගේ පොතේ සාක්ෂිකරුවන් අට දෙනාගෙන් එක් අයෙකු වන හයිරම් පේජ්, මුළු සභාව සඳහාම ඔහුට එළිදරව් ලැබෙන බව කියා සිටියා. සාමාජිකයන් කිහිප දෙනෙක්ම රැවටීමට පත්වී වැරදි ලෙස බලපෑමට ලක්වුණා.
එයට ප්‍රතිචාරයක් වශයෙන්, ස්වාමින්වහන්සේ මෙසේ එළිදරව් කළා, “මම ඔවුන් හට ඔහු වෙනුවට වෙන කෙනෙකු පත්කරන තුරු … මෙම සභාව තුළ මාගේ සේවක ජෝසෆ් ස්මිත් හැරුනු විට ආඥාවන් සහ එළිදරව් ලැබීමට කිසිවෙකුවත් පත්කරනු නොලබන්නේය.”16 සභාව සඳහා වන දහම, ආඥා සහ එළිදරව් කිරීම් ලබාගන්නා විශේෂ බලය ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ඒවා ලබාගන්නා ජීවමාන අනාගතවක්තෘවරයාගේ වරප්‍රසාදයයි.17 ඒ අනාගතවක්තෘවරයාගේ ධාවන පථයයි.
වසර ගණනාවකට පෙර අනවසරයෙන් ඇතුළුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණා. ඔහු ඇතුළු වීමට උත්සාහ කළ ගොඩනැගිල්ලක බිම් මහලේ යට අමතර ශුද්ධලියවිල්ලක් තැන්පත් කර ඇති බව ඔහුට එළිදරව් වුණු බව ඔහු මට පැවසුවා. ඔහු ඒ අමතර ශුද්ධලියවිල්ල ලබා ගත් පසු, ඔහුට පරිවර්තනය කිරීමේ දීමනාව ලැබෙනු ඇති බවත්, නව ශුද්ධලියවිලි ඉදිරියට ගෙනවිත්, සභාවේ දහම සහ මගපෙන්වීම හැඩගස්වන බවත් ඔහු දැන සිටි බව ඔහු කියා සිටියා. මම ඔහුට කිව්වා ඔහු වැරදියි කියලා, ඒ ගැන යාච්ඤා කරන්න කියලා ඔහු මගෙන් අයැද සිටියා. මම ඔහුට කිව්වා මම එහෙම කරන්නේ නෑ කියලා. ඔහු පරුෂ වචනයෙන් බැන වැදී දුරකථන ඇමතුම අවසන් කළා.18
එක් සරල නමුත් ගැඹුරු හේතුවක් නිසා මෙම ඉල්ලීම ගැන යාච්ඤා කිරීමට මට අවශ්‍ය වුණේ නෑ: සභාව සඳහා එළිදරව් ලැබෙන්නේ අනාගතවක්තෘවරයාට පමණයි. අනාගතවක්තෘවරයාගේ ධාවන පථයට අයත් එවැනි එළිදරව්වක් වෙනත් අයට ලැබීම “දෙවියන්වහන්සේගේ ස්වභාවයට පටහැනි”19 වෙනවා.
පුද්ගලික එළිදරව් ලැබීම නිසැකින්ම පුද්ගලයින්ට අයිති වෙන දෙයක්. ඔබට එළිදරව් ලබාගන්න පුළුවන්, උදාහරණ විදිහට, ජීවත් විය යුතු ස්ථානය ගැන, කුමන වෘත්තීය මාර්ගයක් අනුගමනය කළ යුතුද ගැන, හෝ විවාහ විය යුත්තේ කවුරුන්ද සමඟද ගැන වගේ.20 සභාවේ නායකයින්ට දහම ඉගැන්විය හැකි අතර අනුභාව ලත් උපදෙස් බෙදාගන්නත් පුළුවන්, නමුත් මෙම තීරණ සඳහා වගකීම රඳා පවතින්නේ ඔබ මතයි. ඒ ඔබ ලැබිය යුතු එළිදරව්වක්; ඒ ඔබගේ ධාවන පථයයි.
මෙම රාමුවේ තුන්වන අංගය තමයි, පුද්ගලික එළිදරව් ලැබීම දෙවියන්වහන්සේගේ ආඥාවන්ට සහ අප උන්වහන්සේ සමඟ ඇති කරගත් ගිවිසුම්වලට අනුකූල වෙනවා. මේ වගේ දෙයක් කියන යාච්ඤාවක් ගැන හිතන්න: “ස්වර්ගීය පියාණෙනි, සභාවේ රැස්වීම් හරිම කම්මැලියි. සබත් දිනයේ මට කඳුකරයේ හෝ වෙරළේ සිට ඔබට නමස්කාර කළ හැකිද? සභාවට ගොස් සක්‍රමේන්තුවට සහභාගි වීමෙන් වැලකී සිටීමට මට සමාව දිය හැකිද, නමුත් සබත් දිනය ශුද්ධව තබාගැනීම සඳහා පොරොන්දු වූ ආශිර්වාද මට ලබාදෙනවාද?21 එවැනි යාච්ඤාවකට ප්‍රතිචාරයක් වශයෙන්, දෙවියන්වහන්සේගේ ප්‍රතිචාරය අපට මෙසේ අපේක්ෂා කරන්න පුළුවන්: “මගේ දරුව, මම දැනටමත් සබත් දවස සම්බන්ධයෙන් මගේ කැමැත්ත එළිදරව් කර තිබෙනවා.”
දෙවියන්වහන්සේ දැනටමත් පැහැදිලි මගපෙන්වීමක් ලබා දී ඇති යමක් පිළිබඳ අපි එළිදරව් ඉල්ලා සිටින විට, අපගේ හැඟීම් වැරදි ලෙස අර්ථකථනය කිරීමට සහ අපට ඇසීමට අවශ්‍ය දේ ඇසීමට අපි විවෘත වෙනවා. එක් මිනිසෙක් ඔහුගේ පවුලේ මූල්‍යමය තත්වය ස්ථාවර කිරීමට ඔහු දරන අරගල ගැන වරක් මට කිව්වා. විසඳුමක් ලෙස සැලසුම් නොකළ ආකාරයකට මුදල් භාවිතා කිරීමේ අදහස ඔහුට තිබූ අතර, ඔහු ඒ ගැන යාච්ඤා කර, එසේ කිරීමට තමාට ස්ථිර එළිදරව්වක් ලැබී ඇති බව ඔහුට හැඟී තිබුණා. ඔහු දෙවියන්වහන්සේගේ ආඥාවකට පටහැනිව එළිදරව් සෙවීමට උත්සාහ කළ නිසා ඔහු රැවටී ඇති බව මම දැන සිටියා. අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මෙසේ අනතුරු ඇඟවූවා, “දෙවියන්වහන්සේගේ ආත්මය ඇතැයි සිතාගෙන, බොරු ආත්මයක බලපෑමට ඔවුන් යටත් වීමට වඩා විශාල හානියක් මනුෂ්‍ය දරුවන්ට තවත් නැත.”22
නෙපි ලාබන්ව මරද්දී ආඥාවක් කඩ කළ බව සමහරුන්ට පෙන්වා දෙන්න පුළුවන්. කෙසේවෙතත්, මෙම ව්‍යතිරේකය තුළින්—පුද්ගලික එළිදරව් දෙවියන්වහන්සේගේ ආඥාවන්ට අනුකූල වේ යන රීතිය ප්‍රතික්ෂේප කරන්නේ නෑ. මේ කොටසින් සරල පැහැදිලි කිරීමකින් සම්පූර්ණයෙන්ම සෑහීමකට පත්වෙන්නට නොහැකි වුණත්, කරුණු කිහිපයක් ඉස්මතු කරන්නට මට ඉඩදෙන්න. මේ කථාංගය ආරම්භ වූයේ නෙපි ඔහුට ලාබන්ව මරා දැමිය හැකිදැයි ඇසීමෙන් නොවේ. එය ඔහුට කිරීමට අවශ්‍ය වූ දෙයක් නොවේ. ලාබන්ව මැරීම නෙපිගේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා නොවේ නමුත් අනාගත ජාතියකට සහ ගිවිසුම්ගත සෙනඟකට ශුද්ධලියවිලි සැපයීම සඳහා සිදුවුණු දෙයක්. එය එළිදරව්වක් බව නෙපි නිසැකවම දැන සිටියා—ඇත්තවශයෙන්ම, මේ අවස්ථාවේ දී, එය දෙවියන්වහන්සේගේ ආඥාවක්.23
මෙම රාමුවේ සිව්වන අංගය තමයි, උන්වහන්සේගෙන් තවදුරටත් එළිදරව් ලබාගැනීම සඳහා විවෘතව සිටිමින්, දෙවියන්වහන්සේ දැනටමත් ඔබට පුද්ගලිකව එළිදරව් කර ඇති දේ හඳුනාගැනීම. දෙවියන්වහන්සේ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදී ඇත්නම් එමෙන්ම තත්වයන් වෙනස් වී නොමැති නම්, පිළිතුර වෙනස් වනු ඇතැයි අපි අපේක්ෂා කරන්නේ ඇයි? 1828 දී ජෝසෆ් ස්මිත් මෙම ගැටළුකාරී තත්වය තුළ පැකිලී ගියා. උපකාරකයෙකු සහ මුල් ලේඛකයෙකු වූ මාටින් හැරිස් විසින්, පරිවර්තනය කරන ලද පිටු රැගෙන ඔහුගේ බිරිඳට පෙන්වීමට ජෝසෆ්ගෙන් අවසර ඉල්ලා සිටි අවස්ථාවේදී, මොර්මොන්ගේ පොතේ පළමු කොටස පරිවර්තනය කර තිබුණා. කුමක් කළ යුතු දැයි නොදැන සිටි ජෝසෆ් මගපෙන්වීම ඉල්ලා යාච්ඤා කළා. ස්වාමින්වහන්සේ ඔහුට කීවේ මාටින්ට එම පිටු ගැනීමට ඉඩ නොදෙන ලෙසයි.
නැවතත් දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටින ලෙස මාටින් ජෝසෆ්ගෙන් ඉල්ලුවා. ජෝසෆ් එසේ කළා, ඒවගේම පිළිතුර එයම වීම පුදුමයක් නොවේ. නමුත් තුන්වන වතාවටත් ඉල්ලා සිටින ලෙස මාටින් ජෝසෆ්ගෙන් ඉල්ලුවා, එවෙගේම ජෝසෆ් එසේ කළා. මෙවර දෙවියන්වහන්සේ එපා කීවේ නෑ. ඒ වෙනුවට, දෙවියන්වහන්සේ මෙසේ කිව්වා, “ජෝසෆ්, මට මේ ගැන හැඟෙන ආකාරය ඔබ දන්නවා, නමුත් ඔබට තෝරාගැනීමට ඔබේ තෝරාගැනීමේ නිදහස තිබෙනවා.” එම බාධාවෙන් නිදහස් වූ බවක් දැනුණු ජෝසෆ්, මාටින්ට අත්පිටපත් පිටු 116ක් රැගෙන පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුට පෙන්වීමට ඉඩ දීමට තීරණය කළා. පරිවර්තනය කළ එම පිටු නැති වූ අතර ඒවා කිසිදා නැවත සොයාගනු ලැබුවේ නෑ. ස්වාමින්වහන්සේ ජෝසෆ්ට දැඩි ලෙස තරවටු කළා.24
මොර්මොන්ගේ පොතේ අනාගතවක්තෘ යාකොබ් ඉගැන්වූ පරිදි ජෝසෆ් මෙසේ ඉගෙනගත්තා: “ස්වාමින්වහන්සේට උපදෙස් ලබාදීමට නොව, උන්වහන්සේගේ හස්තයෙන් උපදෙස් ලබාගන්නට සොයන්න. මක්නිසාද … උන්වහන්සේ උපදෙස් ලබාදෙන්නේ ප්‍රඥාවෙන්ය.”25 අප ඇසිය නොයුතු දේ ඉල්ලා සිටින විට අවාසනාවන්ත දේවල් සිදු වන බව යාකොබ් අනතුරු ඇඟවූවා. යෙරුසලමේ සිටින ජනයා “ඔවුන්ට [තේරුම්ගත නොහැකි] දේවල් සොයනු ඇති” බවත්, “ලකුණෙන් ඔබ්බට” බලන බවත්, ලෝකයේ ගැලවුම්කරුවාණන්ව සම්පූර්ණයෙන්ම නොසලකා හරින බවත් ඔහු පුරෝකථනය කළා.26 ඔවුන් නොගැලපෙන සහ තේරුම්ගත නොහැකි දේවල් ඉල්ලා සිටි නිසා ඔවුන් වරදෙහි වැටුණා.
අපගේ කාරණයට ගැලපෙන පරිදි අපට පුද්ගලික එළිදරව්වක් ලැබී ඇත්නම් සහ එම තත්වයන් වෙනස් වී නොමැති නම්, දෙවියන්වහන්සේ දැනටමත් අපේ ප්‍රශ්නයට පිළිතුරු දී තිබෙනවා.27 නිදසුනක් වශයෙන්, අපට සමාව ලැබී ඇති බවට සහතික කරගැනීම සඳහා අපි සමහර විට නැවත නැවතත් එය අසා සිටිනවා. අප පසුතැවිලි වී, ප්‍රීතියෙන් හා හෘදය සාක්ෂියේ සමාදානයෙන් පිරී, අපගේ පව්වලට සමාවක් ලබා ඇත්නම්, අපට නැවත අසන්නට අවශ්‍ය නෑ, නමුත් දෙවියන්වහන්සේ දැනටමත් දී ඇති පිළිතුර අපට විශ්වාස කරන්න පුළුවන්.28
අපි දෙවියන්වහන්සේගේ පූර්ව පිළිතුරු විශ්වාස කරන විට පවා, අපි තවදුරටත් පුද්ගලික එළිදරව් කිරීම් සඳහා විවෘත වී සිටිය යුතුයි. සියල්ලට පසු, නොනවතින ගුවන් ගමනක් හරහා ළඟා විය හැක්කේ ජීවිතයේ ගමනාන්ත කිහිපයකට පමණයි. පුද්ගලික එළිදරව් ලැබීම් “පේළියෙන් පේළියට සහ පියවරෙන් පියවරට”29 ලැබිය හැකි බව අප හඳුනා ගත යුතුයි, එමෙන්ම එළිදරව් කරන ලද දිශාව නිතර නිතර වර්ධනය වෙන්නටත් පුළුවන්.30
පුද්ගලික එළිදරව් ලැබීම සඳහා රාමුවේ මූලද්‍රව්‍ය අතිච්ඡාදනය වන අතර අන්‍යොන්‍ය වශයෙන් ශක්තිමත් වෙනවා. නමුත් එම රාමුව තුළ, ගිවිසුම් මාවතට නැගීමට සහ එහි ගම්‍යතාව පවත්වා ගැනීමට අපට අවශ්‍ය සියල්ල ශුද්ධාත්මයාණන් වහන්සේට එළිදරව් කරන්න පුළුවන්. එවිට අපිට ස්වර්ගික පියාණන්වහන්සේට අවශ්‍ය පුද්ගලයන් බවට පත්වීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයෙන් ආශිර්වාද ලබාගන්නට පුළුවන්. දෙවියන්වහන්සේ එළිදරව් කර ඇති දේ අවබෝධ කරගනිමින්, උන්වහන්සේ විසින් පත් කරන ලද අනාගතවක්තෘවරුන් හරහා ලබා දී ඇති ශුද්ධලියවිලි සහ ආඥාවන්ට අනුකූලව, සහ ඔබට අදාළ පරාසය සහ තෝරාගැනීමේ නිදහස තුළ ඔබ වෙනුවෙන් පුද්ගලික එළිදරව් ඉල්ලා සිටීම සඳහා ආත්ම-විශ්වාසය ඇති කරගැනීමට මම ඔබට ආරාධනා කරනවා. ඔබ කළ යුතු සියල්ල ශුද්ධාත්මයාණන් වහන්සේට ඔබට පෙන්විය හැකි බවත් උන්වහන්සේ එසේ කරන බවත් මම දන්නවා.31 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.