මේ දවස
අපගේ ජීවමාන අනාගතවක්තෘවරයා මොර්මොන්ගේ පොත මගින් පොළොව ගංවතුරකින් මෙන් පිරවීමට ඔහුගේ කොටස කරමින් ඉන්නවා. අපි ඔහුගේ මගපෙන්වීම අනුගමනය කළ යුතුයි.
මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මොර්මොන්ගේ පොතේ උපදෙස්, පොරොන්දු සහ ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමු කිරීමට “මේ දවස”1 යන වාක්‍ය ඛණ්ඩය නැවත නැවතත් භාවිතා කරනවා. බෙන්යමින් රජු තම අවසන් දේශනයේදී සෙනඟට මෙසේ අවවාද කළා, “මේ දවසේදී නුඹලා වෙතට කතා කරන්නාවූ මගේ වචන වලට සවන්දෙන්න; … නුඹලා අසන පිණිස නුඹලාගේ කන් ද, තවද තේරුම්ගන්නා පිණිස නුඹලාගේ හදවත් ද, තවද දෙවියන්වහන්සේගේ අභිරහස් නුඹලාගේ දැකීමට විවෘත කරන පිණිස නුඹලාගේ මනස ද විවෘත කරන්න.”2 ප්‍රධාන සම්මන්ත්‍රණයත් එවැනිම සැකසුමක්. අපි ස්වාමින්වහන්සේට සහ උන්වහන්සේගේ ශුභාරංචියට “සෑම විටම සත්‍යවන්ත”3 වීමට “මේ දවස” සඳහා උපදෙස් ඇසීමට ඇවිත් තියෙනවා. “පොළොවේ ඇති ඕනෑම පොතකින් වඩාත්ම නිවැරදි”4 පොත ලෙස ජෝසෆ් ස්මිත් හැඳින්වූ මොර්මොන්ගේ පොත සඳහා අපගේ කැපවීම අලුත් කිරීමේ වැදගත්කම “මේ දවසේදී” මා වෙත තදින් දැනී තිබෙනවා.
මම මොර්මොන්ගේ පොතේ පිටපතක් මගේ අතේ තියන් ඉන්නවා. මේ මගේ 1970 වර්ෂයේ සංස්කරණය වන අතර එය මට ඉතාම වටිනවා. එහි පෙනුමෙන් එය වෙහෙසට පත්ව වැරහිලා තියෙනවා, නමුත් මගේ ජීවිතයට සහ මගේ සාක්ෂියට මේ තරම් වැදගත් වෙනත් පොතක් නෑ. එය කියවීමෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා බවටත්,5 උන්වහන්සේ මගේ ගැලවුම්කරුවාණන් බවටත්,6 මෙම ශුද්ධලියවිලි දෙවියන්වහන්සේගේ වචනය බවටත්,7 ඒවගේම ශුභාරංචිය නැවත පිහිටුවා ඇති බවටත්8 මම ආත්මයාණන් තුළින් සාක්ෂියක් ලබාගෙන තියෙනවා. එම සත්‍යයන් මා තුළ ගැඹුරින් පවතිනවා. අනාගතවක්තෘ නෙපි කී ලෙස, “ස්වාමින්වහන්සේගේ දේවල් තුළ මාගේ ප්‍රාණය ප්‍රබෝධමත් වෙනවා.”9
මෙන්න මේකයි පසුපස කතාව. නැගෙනහිර ප්‍රාන්ත ධර්මදූතයේ සිටි අපව බැහැදැකීමට පැමිණි වැඩිහිටි මැරියන් ඩී. හැන්ක්ස්ගේ උපදෙස්, තරුණ ධර්මදූතවරයෙකු ලෙස මම ලබාගත්තා. ඔහු බ්‍රිතාන්‍ය ධර්මදූතයේ හිටපු සභාපතිවරයා, ඒවගේම ඔහුගේ ධර්මදූතවරුන් දෙදෙනෙක් අද මේ වේදිකාවේ ඉන්නවා: ඒ තමයි මගේ හිතවත් සහෝදරයන් වන වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් සහ වැඩිහිටි ක්වෙන්ටින් එල්. කුක්.10 එංගලන්තයේ ඔහුගේ ධර්මදූතයින් වන අපට, අඩුම තරමින් සලකුණු නොකළ මොර්මොන්ගේ පොතේ පිටපතක් දෙසැරයක් කියවන ලෙස ඔහු අභියෝග කළා. මම ඒ කාර්යය භාර ගත්තා. පළමු කියවීමෙදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට යොමු වූ හෝ සාක්ෂි දුන් සියල්ල සලකුණු කිරීම හෝ යටින් ඉරි ඇඳීම මම කළා. මම රතු පැන්සලක් භාවිතා කළ අතර, මම බොහෝ ඡේද යටින් ඉරි ඇන්දා. දෙවන වතාවේදී, ශුභාරංචියේ මූලධර්ම සහ දහමට අදාළ කරුණු ලකුණු කරන ලෙස වැඩිහිටි හැන්ක්ස් පැවසූ අතර, මෙවර මම ශුද්ධලියවිලි පද සලකුණු කිරීමට නිල් පාට භාවිතා කළා. යෝජනා කළ පරිදි, මම මොර්මොන්ගේ පොත දෙවරක් කියවා, පසුව මට කැපී පෙනෙන ඡේද සලකුණු කිරීමට කහ සහ කළු භාවිතා කරමින් තවත් දෙවරක් එය කියෙව්වා.11 ඔබට පෙනෙන පරිදි, මම බොහෝ සටහන් තබාගත්තා.
ශුද්ධලියවිලි පද සලකුණු කිරීමට වඩා මගේ කියවීමට බොහෝ දේ ඇතුළත් වුණා. මුල සිට අග දක්වා, මොර්මොන්ගේ පොතේ සෑම කියවීමක් අතරම, මම ස්වාමින්වහන්සේ කෙරෙහි ගැඹුරු ප්‍රේමයකින් පිරී ගියා. උන්වහන්සේගේ ඉගැන්වීම්වල සත්‍යතාව සහ ඒවා “මේ දවසට” අදාළ වන ආකාරය පිළිබඳ ගැඹුරින් මුල් බැසගත් සාක්ෂියක් මට දැනුණා. මෙම පොත එහි මාතෘකාවට ගැලපෙනවා, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමක්.”12 එම අධ්‍යයනයෙන් සහ ලැබුණු ඒ අධ්‍යාත්මික සාක්ෂියෙන් මම මොර්මොන්ගේ පොතේ ධර්මදූතවරයෙක් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙක් බවට පත් වුණා.13
“මේ දවසේ,” මොර්මොන්ගේ පොතේ ශ්‍රේෂ්ඨතම ධර්මදූතවරයෙක් තමයි සභාපති රසල් එම්. නෙල්සන්. ඔහුව අලුතින් ප්‍රේරිතවරයෙකු ලෙස කැඳවූ පසු, ඔහු ඝානාවේ ඇක්රා හි දේශනයක් පැවැත්වුවා.14 එයට අප්‍රිකානු ගෝත්‍රික රජෙකු ඇතුළු ප්‍රභූවරුන් පැමිණ සිටි අතර, ඔහු පරිවර්තකයෙකු මාර්ගයෙන් කතා කරමින් සිටියා. ඒ රජු බයිබලය හොඳින් ඉගෙනගත් කෙනෙක් වූ අතර ඔහු ස්වාමින්වහන්සේට ප්‍රේම කළා. සභාපති නෙල්සන්ගේ කතාවෙන් පසුව, එම රජු ඔහු වෙත ළඟා වූ අතර, ඔහු පරිපූර්ණ ඉංග්‍රීසි භාෂාවෙන් “ඔබ කවුද?” කියා ඇසුවා. ඔහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නියම වූ ප්‍රේරිතවරයෙක් බව සභාපති නෙල්සන් පැහැදිලි කළා.15 රජුගේ ඊළඟ ප්‍රශ්නය වුණේ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබට මට ඉගැන්විය හැක්කේ කුමක්ද?” යන්නයි.16
සභාපති නෙල්සන් මොර්මොන්ගේ පොත අතට අරගෙන එය 3 නෙපි 11 වෙත විවෘත කළා. සභාපති නෙල්සන් සහ එම රජු එක්ව නෙපිවරුන්ට ගැලවුම්කරුවාණන් දුන් දේශනාව කියෙව්වා: “බලන්න, මම අනාගතවක්තෘවරුන් විසින් ලෝකයට පැමිණෙනු ඇතැයි සාක්ෂි දැරූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙමි. … ලෝකයේ ආලෝකය සහ ජීවනය මම වෙමි.”17
සභාපති නෙල්සන් විසින් එම මොර්මොන්ගේ පොතේ පිටපත රජුට පිළිගැන්වූ අතර, රජු මෙසේ ප්‍රතිචාර දැක්වුවා, “ඔබට දියමන්ති හෝ මාණික්‍ය මට දෙන්න තිබුණා, නමුත් ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මේ අමතර දැනුමට වඩා මට වටිනා දෙයක් නැහැ.”18
එය අපගේ ආදරණීය අනාගතවක්තෘවරයා මොර්මොන්ගේ පොත බෙදාගන්නා ආකාරය පිළිබඳ හුදකලා උදාහරණයක් නොවේ. ඔහු සෑම විටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සාක්ෂි දරමින් මිනිසුන් සිය ගණනකට මොර්මොන්ගේ පොතේ පිටපත් ලබා දී තිබෙනවා. සභාපති නෙල්සන් සභා මූලස්ථානයේදී හෝ ඔවුන්ගේම ස්ථානවල අමුත්තන්, ජනාධිපතිවරුන්, රජවරුන්, රාජ්‍ය නායකයින්, එමෙන්ම ව්‍යාපාරික සහ සංවිධානවල නායකයින් සහ විවිධ ඇදහිලිවන්තයන් හමුවන විට, ඔහු මෙම එළිදරව් කරන ලද ශුද්ධලියවිලි පොත ගෞරවයෙන් ඉදිරිපත් කරනවා. ඔහුගේ සංචාරය සිහිගැන්වීමක් ලෙස මේස හෝ ලියන මේස මත හෝ කැබිනට් මත තැබිය හැකි බොහෝ දේ රිබන්වලින් ඔතා ඔවුන්ට ලබා දීමට ඔහුට පුළුවන්. ඒ වෙනුවට, ඒ ගෝත්‍රික රජු විස්තර කළ පරිදි, මැණික් හා දියමන්ති වලට වඩා බොහෝ සෙයින් වටිනා දේ ඔහු ලබාදෙනවා.
සභාපති නෙල්සන් මෙහෙම කිව්වා “මොර්මොන්ගේ පොතේ සත්‍යතාවන්ට අපගේ ආත්ම සුව කිරීමට, සැනසීමට, යථා තත්වයට පත් කිරීමට, උපකාර කිරීමට, ශක්තිමත් කිරීමට, සැනසීමට සහ ධෛර්යමත් කිරීමට බලය තිබෙනවා.”19 අපගේ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයාගෙන් ලැබුණු මොර්මොන්ගේ පොතේ මෙම පිටපත් ඒ අයගේ අතේ තිබෙන ආකාරය මම බලන් ඉඳලා තියෙනවා. මීට වඩා වටිනා තෑග්ගක් තවත් තිබිය නොහැකියි.
මෑතකදී ඔහු තම කාර්යාලයේදී ගැම්බියාවේ ජනාධිපති ආර්යාව හමුවී නිහතමානීව ඇයට මොර්මොන්ගේ පොතක් ලබාදුන්නා. ඔහු එතැනින් නතර වුණේ නෑ. ඇය සමඟ එය කියවීමටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන, උන්වහන්සේගේ වන්දිගෙවීම සහ සෑම තැනකම සිටින උන්වහන්සේගේ සියලුම දරුවන්ට ඇති උන්වහන්සේගේ ප්‍රේමය ගැන ඉගැන්වීමට සහ සාක්ෂි දීමටත්, ඔහු එහි පිටු විවෘත කළා.
අපගේ ජීවමාන අනාගතවක්තෘවරයා මොර්මොන්ගේ පොත මගින් පොළොව ගංවතුරකින් මෙන් පිරවීමට ඔහුගේ කොටස කරමින් ඉන්නවා.20 නමුත් ඔහුට තනිවම ඒ ගංවතුර දොරටු විවෘත කරන්න බැහැ. අපි ඔහුගේ මගපෙන්වීම අනුගමනය කළ යුතුයි.
ඔහුගේ ආදර්ශයේ දේවානුභාවයෙන්, මම නිහතමානීව සහ වඩාත් උනන්දුවෙන් මොර්මොන්ගේ පොත බෙදා ගැනීමට උත්සාහ කරමින් ඉන්නවා.
මෑතකදී මම මොසැම්බික් හි පැවරුමක සිටියා. මේ සුන්දර රටේ පුරවැසියන් දුප්පත්කම, දුර්වල සෞඛ්‍යය, විරැකියාව, කුණාටු සහ දේශපාලන නොසන්සුන්තාවය සමඟ පොරබදමින් සිටිනවා. මේ රටේ ජනාධිපති ෆිලිපේ නියුසි හමුවීමේ ගෞරවය මට හිමි වුණා. ඔහුගේ ඉල්ලීම පරිදි, මම ඔහු සහ ඔහුගේ ජාතිය වෙනුවෙන් යාච්ඤා කළා; අපි ඔහුගේ රටේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දේවමාළිගාවක්21 හදනවා කියලා මම ඔහුට කිව්වා. අපගේ සංචාරය අවසානයේදී, මම ඔහුගේ මව් භාෂාව වන පෘතුගීසි භාෂාවෙන් මොර්මොන්ගේ පොතේ පිටපතක් ඔහුට ඉදිරිපත් කළා. ඔහු කෘතඥපූර්වකව ඒ පොත පිළිගත් විට, එහි පිටුවල ඇති ස්වාමින්වහන්සේගේ වචනවලින් සොයාගත හැකි, උන්වහන්සේගේ සෙනඟ සඳහා වූ බලාපොරොත්තුව සහ පොරොන්දුව ගැන මම සාක්ෂි දැරුවා.22
තවත් අවස්ථාවක, මගේ බිරිඳ මෙලනි සහ මම ලෙසෝතෝ හි III වන රජු සහ ලෙට්සි රැජින යන අයව ඔවුන්ගේ නිවසේදී මුණගැසුණා.23 අපට, අපගේ සංචාරයේ විශේෂත්වය වූයේ ඔවුන්ට මොර්මොන්ගේ පොතේ පිටපතක් පිරිනැමීම සහ පසුව මගේ සාක්ෂිය බෙදාගැනීමයි. මම එම අත්දැකීම සහ අනෙකුත් ඒවා දෙස ආපසු හැරී බලන විට, “මාගේ ශුභාරංචියේ පූර්ණත්වය රජවරුන් සහ පාලකයන් ඉදිරියේ ලෝකයේ අන්තයන් දක්වා දුර්වල සහ සරල අයවළුන් වෙතින් ප්‍රකාශ කරනු ලබනු පිණිසය”24 ලෙස කියවෙන පසුදවස් වල ශුද්ධලියවිලි පදයක් මතකයට නැගෙනවා.
මම ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ඉන්දීය තානාපති ඉන්ද්‍රා මානි පාන්ඩේ26 සහ නැගෙනහිර ඕතඩොක්ස් පල්ලියේ ශුද්ධෝත්තම කුලදෙටුවන් බර්තොලමියුස්26 සහ තවත් බොහෝ අය සමඟ මොර්මොන්ගේ පොත බෙදාගෙන තිබෙනවා. මම පුද්ගලිකව මෙම “අපේ ආගමේ ප්‍රධාන ගල”27 ඔවුන්ට භාර දී අපගේ ඇදහිල්ලේ මුල් ගල වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ මගේ සාක්ෂිය දරා සිටින විට ස්වාමින්වහන්සේගේ ආත්මය අප සමඟ සිටින බව මට දැනී තිබෙනවා.28
දැන්, සහෝදර සහෝදරියනි, මෙම පූජනීය ඉගැන්වීම් සහ පොරොන්දු සහිත පොත යමෙකුට ලබා දීමට ඔබට මොසැම්බික් හි යාමට හෝ ඉන්දියාවට යාමට හෝ රජවරුන් සහ පාලකයන් හමුවීමට අවශ්‍ය නෑ. ඔබේ මිතුරන්ට සහ පවුලේ අයට, රැකියාවේ සිටින ඔබේ ආශ්‍රිතයන්ට, ඔබේ පාපන්දු පුහුණුකරුට හෝ ඔබේ වෙළෙඳ පොළේ සිටින නිෂ්පාදන මිනිසාට මොර්මොන්ගේ පොතක් ලබා දීමට මම ඔබට මේ දවසේදී ආරාධනා කරනවා. ඔවුන්ට මේ පොතේ තිබෙන ස්වාමින්වහන්සේගේ වචන අවශ්‍යයි. ඔවුන්ට එදිනෙදා ජීවිතයේ සහ මතු පැමිණෙන සදාකාල ජීවනයේ ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍යයි. ඔවුන් ඉදිරියෙහි තබා ඇති ගිවිසුම් මාර්ගය සහ ඔවුන් කෙරෙහි ස්වාමින්වහන්සේගේ ස්ථිර ප්‍රේමය ගැන ඔවුන් දැනගත යුතුයි. ඒ සියල්ල මේ මොර්මොන්ගේ පොතේ අඩංගු වෙනවා.
ඔබ ඔවුන්ට මොර්මොන්ගේ පොතක් දෙන විට, ඔබ ඔවුන්ගේ මනස හා හදවත් දෙවියන්වහන්සේගේ වචනයට විවෘත කරනවා. ඔබ සමඟ මේ පොතේ මුද්‍රිත පිටපත් රැගෙන යාමට අවශ්‍ය වෙන්නේ නෑ. ඔබට එය ඔබගේ ජංගම දුරකථනයෙන් ශුභාරංචි පුස්තකාල යෙදුමේ ශුද්ධලියවිලි අංශයෙන් පහසුවෙන් බෙදා ගන්න පුළුවන්.29
ඔවුන්ගේ ජීවිත තුළ ශුභාරංචියෙන් ආශිර්වාද ලැබිය හැකි සියලු දෙනා ගැන සිතන්න, ඉන්පසු ඔබේ දුරකථනයෙන් මොර්මොන්ගේ පොතේ පිටපතක් ඔවුන්ට යවන්න. ඔබේ සාක්ෂිය සහ මෙම පොත ඔබේ ජීවිතයට ආශිර්වාද කර ඇති ආකාරය ඇතුළත් කිරීමට මතක තබා ගන්න.
මාගේ හිතවත් මිත්‍රවරුනි, ස්වාමින්වහන්සේගේ ප්‍රේරිතවරයෙකු ලෙස, මොර්මොන්ගේ පොතෙන් පොළොව ගංවතුරක් මෙන් පිරවීමට අපගේ ආදරණීය අනාගතවක්තෘ සභාපති නෙල්සන්ව අනුගමනය කිරීමට මම ඔබට ආරාධනා කරනවා. අවශ්‍යතාවය ඉතා විශාල යි; අපි දැන් ක්‍රියා කළ යුතුයි. “සත්‍යය සොයාගත හැක්කේ කොතැනකදැයි ඔවුන් නොදන්නා නිසා සත්‍යයෙන් වැළකී සිටින”31 අය වෙත ළඟා වීමට ඔබ දේවානුභාවයෙන් යුතුව ක්‍රියා කරන විට “පොළොවේ ශ්‍රේෂ්ඨතම කාර්යය වන ඊශ්‍රායෙලය එක්රැස් කිරීමට”30 ඔබ සහභාගී වන බවට මම ඔබට පොරොන්දු වෙනවා. මෙම පොත ඔබගේ ජීවිතය වෙනස් කර දෙවියන්වහන්සේට, උන්වහන්සේගේ සමාදානයට32 සහ උන්වහන්සේගේ “මහත් ප්‍රීතියේ ශුභාරංචිය”33 වෙත ඔබව ළං කර ඇති ආකාරය පිළිබඳ ඔබේ සාක්ෂිය ඔවුන්ට අවශ්‍ය යි.
දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමටත්, ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය වෙතට “මේ දවසේදී” ප්‍රාණයන් ගෙන ඒම සඳහාත්, ඉදිරියට පැමිණීමට පුරාණ අමෙරිකාවේදී දිව්‍යමය සැලසුමක් මගින් මොර්මොන්ගේ පොත සූදානම් කර ඇති බවට මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.