ඔවුන් ඔබවහන්සේව දැනගන්නා පිණිසය
ඔබ යේසුස්වහන්සේගේ බොහෝ නම් වලින් උන්වහන්සේව දැන හඳුනාගෙන, ඔබ උන්වහන්සේ හා සමාන වීම මාගේ දැඩි ආශාවයි.
මීට වසර කිහිපයකට පෙර, ඇරිසෝනා හි අපගේ නිවස අයත් කොට්ටාශයේ පැවති සක්‍රමේන්තු රැස්වීමකදී මට ජීවිතය වෙනස් කරන අත්දැකීමක් ලැබුණා. සක්‍රමේන්තු යාච්ඤාවෙන් “[යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ] නාමය [අප වෙත] ගැනීමට”1 අපගේ කැමැත්ත සඳහන් කළ විටම යේසුස්වහන්සේට බොහෝ නම් ඇති බව ශුද්ධාත්මයාණන්වහන්සේ මට මතක් කර දුන්නා. එවිට මෙම ප්‍රශ්ණය මගේ හදවතට දැණුනා: “මේ සතියේ මා ගත යුත්තේ යේසුස්වහන්සේගේ නම් වලින් කුමන නාමයද?”
නම් තුනක් මගේ මතකයට පැමිණි විට, මම ඒවා ලියාගත්තා. ඒ නම් තුනෙන් සෑම නමකම මට වඩාත් හොඳින් වර්ධනය කිරීමට අවශ්‍ය වූ ක්‍රිස්තුස්වහන්සේගේ ගුණාංග අඩංගු වුණා. ඊළඟ සතියේ මම එම නම් තුන කෙරෙහි අවධානය යොමු කර ඒවායේ අනුරූප ගුණාංග සහ ලක්ෂණ වැළඳ ගැනීමට උත්සාහ කළා. එතැන් සිට, මම මගේ පුද්ගලික නමස්කාරයේ කොටසක් ලෙස එම ප්‍රශ්නය දිගටම මගෙන් ඇසුවා: “මේ සතියේ මා ගත යුත්තේ යේසුස්වහන්සේගේ නම් වලින් කුමන නාමයද?” එම ප්‍රශ්නයට පිළිතුරු දීම සහ ඒ හා සම්බන්ධ ක්‍රිස්තුස් වැනි ගුණාංග වර්ධනය කර ගැනීමට උත්සාහ කිරීම මගේ ජීවිතයට ආශිර්වාද කර තිබෙනවා.
උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ මැදිහත්වීමේ යාච්ඤාවේදී යේසුස්වහන්සේ මෙම වැදගත් සත්‍යය ප්‍රකාශ කළා: “සදාකාල ජීවනය නම් මෙයය, එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැන්වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ඔවුන් විසින් ඇඳිනගැනීමය”.2 අද මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව බොහෝ නම්වලින් දැනගැනීමෙන් ලැබෙන ආශිර්වාද සහ බලය ඔබ සමඟ බෙදා ගැනීමට කැමැතියි.
අපි කෙනෙකුව දැන හඳුනාගන්නා එක් සරල ක්‍රමයක් වන්නේ ඔවුන්ගේ නම ඉගෙන ගැනීමයි. “පුද්ගලයෙකුගේ නම එම පුද්ගලයාට ඕනෑම භාෂාවක මිහිරිම හා වැදගත්ම ශබ්දයයි” කියා පවසා තිබෙනවා.3 යමෙකුට වැරදි නමකින් කතා කිරීම හෝ ඔහුගේ නම අමතක වීම වැනි අත්දැකීම් ඔබට තිබෙනවාද? මගේ බිරිඳ ඇලෙක්සිස් සහ මම සමහර අවස්ථාවකදී අපේ දරුවෙකුට “ලෝලා” කියා කතා කළා. අවාසනාවකට, ඔබ අනුමාන කළ පරිදි, ලෝලා කියන්නේ අපේ බල්ලා! හොඳකට හෝ නරකට කෙනෙකුගේ නම අමතක වීමෙන් සන්නිවේදනය වන්නේ ඔබ එම පුද්ගලයාව හොඳින් නොදන්නා බවයි.
යේසුස්වහන්සේ මිනිසුන්ව දැන සිටි අතර ඔවුන්ගේ නමින් උන්වහන්සේ ඔවුන්ට කතා කළා. පුරාණ ඊශ්‍රායෙලයට උන්වහන්සේ මෙසේ පැවසුවා, “භය නොවන්න, මක්නිසාද මම නුඹ මුදාගතිමි, නුඹේ නම කියා හඬ ගැසීමි; නුඹ මාගේය.”4 පාස්කු දින උදෑසන, නැවත නැගිටි ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ මරියාගේ සාක්ෂිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඇයව නමින් හැඳින්වූ විට ශක්තිමත් වුණා.5 එලෙසම දෙවියන්වහන්සේ ජෝසෆ් ස්මිත්ගේ ඇදහිල්ලෙන් කරන ලද යාච්ඤාවට පිළිතුරු වශයෙන් ඔහුට ඔහුගේ නමින් කතා කළා.6
සමහර අවස්ථාවලදී, යේසුස්වහන්සේ තම ගෝලයන්ට ඔවුන්ගේ ස්වභාවය, හැකියාව සහ විභවය පෙන්නුම් කරන නව නම් ලබා දුන්නා. යෙහෝවාවහන්සේ විසින් යාකොබ්ට ඊශ්‍රායෙල් යන අලුත් නාමය ලබාදුන්නා, එහි අර්ථය “දෙවියන්වහන්සේ සමඟ ජයගන්නා තැනැත්තා” හෝ “දෙවියන්වහන්සේ ජයගනිත්වා” යන්නයි.7 යේසුස්වහන්සේ යාකොබ් සහ යොහාන්ට “ගජර්නාවේ පුත්‍රයන්”8 යන අර්ථය ඇති බොවනගර්ස් යන නාමය ලබා දුන්නා. ඔහුගේ අනාගත නායකත්වය දුටු යේසුස්වහන්සේ සීමොන් හට පර්වතයක් යන අරුත දෙන සීෆස් නොහොත් පේත්‍රැස් යන නම තැබුවා.9
යේසුස්වහන්සේ අප සෑම කෙනෙකුවම නමින් හඳුනනවා සේම, අපට උන්වහන්සේව වඩාත් හොඳින් දැන හඳුනා ගත හැකි එක් ක්‍රමයක් තමයි උන්වහන්සේගේ බොහෝ නම් ඉගෙන ගැනීම. ඊශ්‍රායෙල් සහ පේත්‍රැස්ගේ නම් මෙන්ම, යේසුස්වහන්සේගේ නම් බොහොමයක් උන්වහන්සේගේ මෙහෙවර, අරමුණ, චරිතය සහ ගුණාංග තේරුම් ගැනීමට උපකාර වන මාතෘකා වෙනවා. අපි යේසුස්වහන්සේගේ බොහෝ නම් දැනගත් විට, උන්වහන්සේගේ දිව්‍ය මෙහෙවර සහ උන්වහන්සේගේ පරාර්ථකාමී චරිතය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට අපට හැකි වෙනවා. උන්වහන්සේගේ බොහෝ නම් දැනගැනීම, අපට උන්වහන්සේ හා සමාන වීමටත්—අපගේ ජීවිතයට ප්‍රීතිය සහ අරමුණ ගෙන දෙන ක්‍රිස්තුස්වහන්සේ වැනි ගුණාංග වර්ධනය කර ගැනීමටත් අපව පොලඹවනවා.
වසර කිහිපයකට පෙර, සභාපති රසල් එම්. නෙල්සන්, Topical Guide හි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සම්බන්ධ සියලුම ශුද්ධලියවිලි පද අධ්‍යයනය කළා.10 ඉන්පසු ඔහු තරුණ වැඩිහිටියන්ටද මෙම ශුද්ධලියවිලි පද ඉගෙන ගැනීමට ආරාධනා කළා. යේසුස්වහන්සේගේ බොහෝ නම් ගැන සභාපති නෙල්සන් මෙසේ පැවසුවා, “යාච්ඤාපූර්වකව හා දැඩි උනන්දුවෙන් උන්වහන්සේගේ විවිධ මාතෘකා සහ නම් ඔබට පෞද්ගලිකව අදහස් කරන්නේ කුමක්ද යන්න සොයමින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සෑම දෙයක්ම තේරුම් ගැනීමට උත්සාහ කරන්න.”11
සභාපති නෙල්සන්ගේ ආරාධනයට අනුව, මම යේසුස්වහන්සේගේ බොහෝ නම් ඇතුළත් ලැයිස්තුවක් සකස් කිරීමට පටන් ගත්තා. මගේ පුද්ගලික ලැයිස්තුවේ දැන් නම් 300කට වඩා තිබෙනවා, ඒවගේම මා තවම සොයා නොගත් තවත් බොහෝ නම් ඇති බව මට විශ්වාසයි.
යේසුස් වහන්සේගේ සමහර නම් උන්වහන්සේට පමණක් වෙන් කර තිබෙනවා,12 ඒවගේම අප සෑම කෙනෙකුටම අදාළ වන නම් සහ මාතෘකා පහක් බෙදා ගැනීමට මම කැමතියි. ඔබ යේසුස්වහන්සේව උන්වහන්සේගේ බොහෝ නම් වලින් දැන හඳුනා ගන්නා විට ඔබේම ලැයිස්තුවක් සකස් කර ගැනීමට මම ඔබට ආරාධනා කරනවා. එසේ කිරීමෙන්, යේසුස් වහන්සේගේ ගිවිසුම්ගත අනුගාමිකයෙකු ලෙස ඔබ වෙත භාර ගැනීමට ඔබට අවශ්‍ය වන—වෙනත් නම්—එහි අනුරූප ක්‍රිස්තුස් වැනි ගුණාංග සමඟ තිබෙන බව ඔබට පෙනී යයි.13
පළමුව, යේසුස්වහන්සේ කියන්නේ යහපත් එඬේරා යි. 14 ඒ ආකාරයට, යේසුස්වහන්සේ තම බැටළුවන්ව හඳුනන අතර,15 “තමාගේම බැටළුවන්ට නම කියා අඬගසනවා”16 මෙන්ම, දෙවියන්වහන්සේගේ බැටළු පැටවා ලෙස, උන්වහන්සේගේ බැටළුවන් වෙනුවෙන් තම ජීවිතය පූජා කළා.17 ඒ හා සමානව, යේසුස්වහන්සේට අවශ්‍ය වන්නේ, විශේෂයෙන්ම අපේ පවුල් තුළ සහ දේවසේවය කරනු ලබන සහෝදර සහෝදරියන් ලෙස අප යහපත් එඬේරුන් වීමයි. යේසුස්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්නුම් කරන එක් ක්‍රමයක් තමයි උන්වහන්සේගේ බැටළුවන් පෝෂණය කිරීම.18 ඉබාගාතේ යන බැටළුවන් වෙනුවෙන්, යහපත් එඬේරුන්, නැතිවූ බැටළුවන් සොයා ගැනීමට පාළුකරයට ගොස්, ඔවුන් ආරක්ෂිත ස්ථානයට පැමිණෙන තෙක් ඔවුන් සමඟ සිටිනවා.19 යහපත් එඬේරුන් ලෙස මෙන්ම දේශීය තත්වයන් ඉඩ දෙන පරිදි, පුද්ගලයින්ට ඔවුන්ගේ නිවෙස්වල සිට දේවසේවය කිරීමට වැඩි කාලයක් ගත කිරීමට අප උත්සාහ කළ යුතුයි. අපගේ දේවසේවයේදී, කෙටි පණිවුඩ යැවීම සහ තාක්ෂණය, පුද්ගලික සම්බන්ධතා වල උසස් බව වැඩිදියුණු කරගැනීමට මිස, ඒ වෙනුවට භාවිතා කරන දෙයක් නොවිය යුතුයි.20
දෙවනුව, ඉදිරියට සිදුවීමට නියමිත යහපත් දේවල උත්තම පූජකයා යේසුස්වහන්සේ යි.21 තම කුරුසියේ ඇණ ගැසීම පැය කිහිපයකින් සිදුවන බව දැනගත් යේසුස්වහන්සේ මෙසේ පැවසුවා: “මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙයල්ලා; මම ලෝකයෙන් ජයගතිමි.”22 අද, අපගේ ලෝකය තියුණු, එකිනෙකට වෙනස් අදහස් සහිත පුද්ගල කණ්ඩායම් වලින් පිරී බෙදී ඇති බැවින්, ධනාත්මක බව, ශුභවාදී බව සහ බලාපොරොත්තුව දේශනා කිරීමට සහ ප්‍රගුණ කිරීමට අපට විශාල අවශ්‍යතාවයක් තිබෙනවා. අපගේ අතීතයේ කුමන අභියෝග තිබුණත්, ඇදහිල්ල සැමවිටම බලාපොරොත්තුවෙන් පිරී අනාගතය දෙසට යොමු කරන අතර,23 සතුටින් සිටීමට වූ යේසුස්වහන්සේගේ ආරාධනය ඉටු කිරීමට අපට ඉඩ සලසනවා.24 ශුභාරංචිය තුළ ප්‍රීතියෙන් ජීවත්වීම මගින් අපට ඉදිරි යහපත් දේවල අනුගාමිකයන් වීමට උපකාර කරයි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඇති තවත් නාමයක් වන්නේ ඊයෙත් අදත් සදාකාලයටත් ඒකාකාරමය යන්නයි.25 ස්ථාවරත්වය යනු ක්‍රිස්තුස්වහන්සේට සමාන ගුණාංගයක්. යේසුස්වහන්සේ හැමවිටම කළේ තම පියාණන්ගේ කැමැත්ත26 වන අතර අපව බේරා ගැනීමට, අපට උපකාර කිරීමට සහ අපව සුව කිරීමට උන්වහන්සේගේ හස්තය නිරන්තරයෙන් දිගු වෙනවා.27 ශුභාරංචියට අනුව ජීවත් වීමේදී අප වඩාත් ස්ථාවර වන බැවින්, අපි යේසුස්වහන්සේ හා සමාන වෙනවා.28 මිනිසුන් සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඈත මෑත වීසි වෙන විට සහ ලෝකය එහි ජනප්‍රියත්වයේ පෙන්ඩුලමේ විශාල පැද්දීම අත්විඳිනු ඇතත්29 ස්ථාවර ශුභාරංචිය අනුව ජීවත්වීම ජීවිතයේ කුණාටු වලදී ස්ථිරව සහ නොසැලී සිටීමට අපට උපකාර කරනවා.30 “ස්වාමින්වහන්සේ උදෙසා කාලය වෙන් කරන්න” යන සභාපති නෙල්සන්ගේ ආරාධනය පිළිගැනීමෙන් ද අපට ස්ථාවරත්වය විදහා දක්වන්න පුළුවන්.31 විශාල අධ්‍යාත්මික ශක්තියක් ලැබෙන්නේ දිනපතා යාච්ඤාව, පසුතැවිලි වීම, ශුද්ධලියවිලි අධ්‍යයනය සහ අන් අයට සේවය කිරීම වැනි “ශුද්ධ වූ පුරුදු සහ ධර්මිශ්ඨ චර්යාවන්”32 වර්ධනය කිරීම වැනි කුඩා හා සරල දේවල් වලින්.33
හතරවනුව, යේසුස්වහන්සේ ඊශ්‍රායෙල් හි ශුද්ධ වූ තැනැන්වහන්සේ යි.34 යේසුස්වහන්සේගේ ජීවිතය ශුද්ධ බවේ ආදර්ශයක් වුණා. අපි යේසුස්වහන්සේව අනුගමනය කරන විට, අපට ඊශ්‍රායෙලය තුළ ශුද්ධ වූ කෙනෙකු වෙන්න පුළුවන්35 සෑම පිවිසුමකටම ඉහළින් “ස්වාමින්වහන්සේට ශුද්ධකම” ලෙස කොටා ඇති දේවමාළිගාවට නිතිපතා පැමිණෙන විට අපට ශුද්ධකම වර්ධනය කරගන්නට පුළුවන් වෙනවා. අප දේවමාළිගාවක නමස්කාර කරන සෑම අවස්ථාවකම, අපගේ නිවෙස් ශුද්ධස්ථානයන් බවට පත් කිරීමට බලයෙන් සැරසී අපි පිටත් වෙනවා.36 දැනට ශුද්ධ වූ දේවමාළිගාවට ඇතුළු වීමට නිර්දේශයක් නොමැති ඕනෑම කෙනෙකුට, ඔබගේ සභානායකයා හමුවී එම ශුද්ධස්ථානයට ඇතුළු වීමට හෝ ආපසු එහි යාමට සූදානම් වන ලෙස මම ඔබට ආරාධනා කරනවා. දේවමාළිගාවේ කාලය අපගේ ජීවිතයේ ශුද්ධකම වැඩි කරනවා.
අවසාන වශයෙන් යේසුස්වහන්සේගේ තවත් එක් නාමයක් තමයි උන්වහන්සේ ඇදහිලිවන්ත හා සත්‍යවන්තය යන බව.37 යේසුස්වහන්සේ සැමවිටම ඇදහිලිවන්ත හා සැමවිටම සත්‍යවන්ත වූවා සේම, උන්වහන්සේගේ දැඩි ආශාව තමයි අප මෙම ගුණාංග අපගේ ජීවිත තුළ ප්‍රදර්ශනය කිරීම. අපගේ ඇදහිල්ල බිඳ වැටෙන විට, පේත්‍රැස් ගලීලයේ කුණාටු සහිත මුහුදේ ගිලෙන්නට පටන්ගත් ආකාරයටම, “ස්වාමිනි, මාව ගලවන්න” කියා යේසුස්වහන්සේට මොරගැසීමට අපට පුළුවන්.38 එදින යේසුස්වහන්සේ දියේ ගිලෙමින් සිටි ගෝලයා බේරාගැනීමට අත දිගු කළා. උන්වහන්සේ මටත් එලෙසම කර තිබෙනවා, උන්වහන්සේ ඔබ වෙනුවෙන්ද එලෙසම කරනවා. කවදාවත් යේසුස්වහන්සේව අත්හරින්න එපා—උන්වහන්සේ කවදාවත් ඔබව අත්හරින්නේ නෑ!
අපි ඇදහිලිවන්තව හා සත්‍යවන්තව සිටින විට, “මා තුළ සිටින්න” නැතහොත් “මා සමඟ සිටින්න” යන යේසුස්වහන්සේගේ කැඳවීම අපි අනුගමනය කරනවා.39 අප ප්‍රශ්නවලට මුහුණ දෙන විට, අපගේ ඇදහිල්ල නිසා සමච්චලයට පත්වෙන විට, ලෝකයේ විශාල හා ඉඩකඩ සහිත ගොඩනැගිලිවල සිටින අය විසින් නින්දාවේ ඇඟිලි අප වෙත යොමු කරන විට, අපි ඇදහිලිවන්තව හා සත්‍යවන්තව සිටිමු. මේ මොහොතවල් වල, අපි යේසුස්වහන්සේගේ ආයාචනය සිහිපත් කරමු: “සෑම සිතිවිල්ලකම මා දෙස බලන්න; සැක නොකරන්න, බිය නොවන්න.”40 අප එසේ කරන විට, උන්වහන්සේ සමඟ සදාකාලිකවම සිටීමට අවශ්‍ය ඇදහිල්ල, බලාපොරොත්තුව සහ ශක්තිය උන්වහන්සේ අපට ලබා දෙයි.41
ආදරණීය සහෝදර සහෝදරියනි, යේසුස්වහන්සේට අවශ්‍ය වන්නේ අප උන්වහන්සේව දැන හඳුනා ගැනීමයි, මක්නිසාද ස්වර්ගයෙන් යට අපට ගැලවීම ලැබීමට ඇති එකම නාමය උන්වහන්සේගේයි.42 යේසුස්වහන්සේ මාර්ගය, සත්‍යය සහ ජීවනයයි—උන්වහන්සේ තුළින් මිස වෙන කිසිඳු ආකාරයකින් කිසිවෙකුට පියාණන් වෙතට ආපසු යා නොහැක.43 යේසුස්වහන්සේ තමයි එකම මාර්ගය! එම හේතුව නිසා, යේසුස්වහන්සේ “මා වෙතට එන්න,”44 “මා අනුගමනය කරන්න,”45 “මා සමඟ ඇවිදින්න,”46 සහ “මා ගැන ඉගෙනගන්න”47 යනුවෙන් ඉල්ලා සිටිනවා.
මගේ මුළු හදවතින්ම, උන්වහන්සේ ජීවත් වන බවටත්, උන්වහන්සේ ඔබට ආදරය කරන බවටත්, උන්වහන්සේ ඔබව නමින් දන්නා බවටත්—මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරනවා. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයායි,48 පියාණන්ගේ ඒකජාතක පුත්‍රයායි.49 උන්වහන්සේ අපගේ පර්වතය, අපගේ බලකොටුව, අපගේ පලිහ, අපගේ රැකවරණය සහ අපගේ ගැලවුම්කරුවාණන්.50 උන්වහන්සේ අඳුරේ බබළන ආලෝකයයි.51 උන්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන්52 සහ මිදුම්කරුවාණන්.53 උන්වහන්සේ උත්ථානය හා ජීවනයයි.54 ඔබ යේසුස්වහන්සේගේ බොහෝ නම් වලින් උන්වහන්සේ දැන හඳුනාගෙන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔබගේ ජීවිතය තුළ උන්වහන්සේගේ දිව්‍යමය ගුණාංග ආදර්ශමත් කරන විට, ඔබ උන්වහන්සේ හා සමාන වීම මාගේ දැඩි ආශාවයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.