දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ කාර්යයට සත්‍යවන්ත වන්න
අප සියලුදෙනාම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අපගේම සාක්ෂිය සෙවිය යුතු අතර, අපගේ ආශාවන් යටපත් කර, අපගේ පව් ගැන පසුතැවිලි වී, දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ කාර්යයන්ට සත්‍යවන්තව සිටිය යුතුයි.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී, සභාපති එම්. රසල් බැලර්ඩ් සහ වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් සමඟ, එක්සත් රාජධානියේ සංචාරය කිරීමට මට පැවරුමක් ලැබුණා, අපි තිදෙනාම තරුණ ධර්මදූතයින් ලෙස සේවය කර තිබුණේ ඒ රටෙයි. අපට ඉගැන්වීමට සහ සාක්ෂි දීමට මෙන්ම, මගේ සීයා වෙන හීබර් සී. කිම්බල් සහ ඔහුගේ සගයින් පළමු ධර්මදූතවරුන් ලෙස සේවය කළ බ්‍රිතාන්‍ය දූපත් වල මුල් සභා ඉතිහාසය නැවත ආවර්ජනය කරන්නටත් වරප්‍රසාදය අපට ලැබුණා.1
සභාපති රසල් එම්. නෙල්සන්, මෙම පැවරුම ගැන අපට උසුළු විසුළු කරමින්, ප්‍රේරිතවරුන් තිදෙනෙකු ඔවුන්ගේ තරුණ අවධියේ ධර්මදූතයන් ලෙස සේවය කළ ප්‍රදේශයට පැමිණීමට පැවරීම අසාමාන්‍ය දෙයක් බව සඳහන් කළා. ඔවුන්ගේ මුල් ධර්මදූත ස්ථානය බැහැදැකීමට පැවරුමක් ලැබීමට සියලුදෙනා කැමති වනු ඇතැයි ඔහු සඳහන් කළා. මීට වසර 60 කට පෙර එකම ධර්මදූතයක සේවය කළ තවත් ප්‍රේරිතවරුන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිටියා නම්, ඔවුන්ටද එවැනිම පැවරුමක් ලැබෙන්නට ඉඩ තිබුන බවට සිනහ මුසු මුහුණින්, ඔහු පූර්වාදර්ශය සංක්ෂිප්තව පැහැදිලි කළා.
එම පැවරුම සඳහා සූදානම් වීමේ දී, පසුව ප්‍රේරිතවර ධූරයට කැඳවනු ලැබූ ඕර්සන් එෆ්. විට්නි නම් ඔහුගේ මුණුපුරා විසින් ලියන ලද ලයිෆ් ඔෆ් හීබර් සී. කිම්බල් (හීබර් සී. කිම්බල්ගේ ජීවිතය) පොත මම නැවත කියෙව්වා. මම වයස අවුරුදු හතකට කිට්ටු වෙද්දී මේ පොත මට දුන්නේ මගේ වටිනා අම්මා. 1947 ජූලි 24 වන දින සභාපති ජෝර්ජ් ඇල්බට් ස්මිත් විසින් සිදුකිරීමට නියමිතව තිබූ This Is the Place Monument [ස්ථානය මෙයයි ස්මාරකයේ] කැපකිරීමට සහභාගී වීමට සූදානම් වෙමින් සිටියා.2 මා මගේ මුතුන් මිත්තෙකු වන, හීබර් සී. කිම්බල් ගැන වැඩි විස්තර දැන ගන්නවාට ඇය කැමති වුණා.
අපේ දවස සඳහා වැදගත්කමක් ඇති සභාපති කිම්බල්ට පවරා තිබූ එක් ගැඹුරු ප්‍රකාශයක් මෙම පොතේ අඩංගු වෙනවා. මේ ප්‍රකාශය බෙදා ගැනීමට පෙර, මට කුඩා පසුබිමක් ඉදිරිපත් කිරීමට ඉඩ දෙන්න.
අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ලිබර්ටි බන්ධනාගාරයේ සිරගතව සිටියදී, ප්‍රේරිතවරුන් වන බ්‍රිගම් යන්ග් සහ හීබර් සී. කිම්බල් හට දරුණු අහිතකර තත්වයන් යටතේ, මිසුරි වෙතින් ශුද්ධවන්තයින් ඉවත් කිරීම අධීක්ෂණය කිරීමේ වගකීම පැවරී තිබුණා. ආණ්ඩුකාර ලිල්බර්න් ඩබ්. බොග්ස් විසින් නිකුත් කරන ලද සමූල ඝාතන නියෝගය හේතුවෙන් මෙම ඉවත් කිරීම බොහෝ ප්‍රදේශයක් පුරා කිරීමට අවශ්‍ය වුණා.3
වසර 30 කට පමණ පසුව, එවකට පළමු සභාපතිත්වයේ සිටි හීබර් සී.කිම්බල්, නව පරම්පරාවක් සමඟ මෙම ඉතිහාසය ආවර්ජනය කරමින්, මෙසේ ඉගැන්වුවා, “මම ඔබට කියන්නම්, ඔබගෙන් බොහෝ දෙනෙක් ඔබ සියලු කරදර, අභියෝග සහ පීඩා වලට මුහුණ දෙන කාල වගේම ඔබ දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ කාර්යයට සත්‍යවන්ත බව පෙන්වීමට හැකි ඕනෑ තරම් අවස්ථා ඔබ දකී.”4
හීබර් තවදුරටත් මෙහෙම කිව්යවා: “ඉදිරියට එන දුෂ්කරතා සපුරාලීම සඳහා, මෙම කාර්යයේ සත්‍යය පිළිබඳව ඔබටම දැනුමක් තිබීම අවශ්‍ය වෙනවා. මෙම පුද්ගලික දැනුම හෝ සාක්ෂිය නොමැති පුරුෂයන් හෝ කාන්තාවන් ඇද වැටෙන තරමට මෙම දුෂ්කරතා අසීරු ස්වභාවයෙන් යුක්ත වෙන්න පුළුවන්. ඔබ සාක්ෂියක් ලබාගෙන නොමැති නම්, නිවැරදිව ජීවත් වන්න, ස්වාමින්වහන්සේට කන්නලව් කරන්න, එමෙන්ම ඔබ එය ලබා ගන්නා තුරු නතර කරන්න එපා. ඔබ එසේ නොකළහොත් ඔබට නැගී සිටින්න නොහැකි වෙයි. … ණයට ගත් ආලෝකය මත කිසිම පිරිමියෙකුට හෝ ස්ත්‍රියකට දරාගෙන සිටිය නොහැකි කාලයක් පැමිණෙයි. සෑම කෙනෙකුම තමා තුළ ඇති ආලෝකයෙන් මගපෙන්වීම ලබාගත යුතු වෙයි. … ඔබට එය නොමැති නම්, ඔබට නැගී සිටින්නට නොහැකි වෙයි; එබැවින් පරීක්ෂාකාරී කාලය පැමිණෙන විට ඔබ පැකිලී නොවැටෙන පිණිස යේසුස්වහන්සේ තුළ එම සාක්ෂිය සොයමින් එයට ඇලී සිටින්න.”5
අප සෑම කෙනෙකුටම දෙවියන්වහන්සේගේ කාර්යය6 සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මූලික කාර්යභාරය පිළිබඳ පුද්ගලික සාක්ෂියක් අවශ්‍යයි. දහම සහ ගිවිසුම් හි 76 වන කොටස මහිමයේ තත්වයන් තුන සහ සෙලෙස්ටියල් මහිමය සූර්යයාට සමාන වන ආකාරය පෙන්වා දෙනවා. ඉන්පසුව එය ටෙරෙස්ටියල් රාජධානිය සඳට සමාන කරනවා.7
සූර්යයාට තමන්ගේම ආලෝකයක් තිබීම සිත්ගන්නා කරුණක්, නමුත් සඳ ආලෝකය පරාවර්තනය කරනවා එහෙම නැත්නම් එහි තිබෙන්නේ “ණයට ගත් ආලෝකයක්.” ටෙරෙස්ටියල් රාජ්‍යය ගැන කතා කරන විට, 79 වැනි පදයේ සඳහන් වන්නේ, “මොවුන් යේසුස්වහන්සේගේ සාක්ෂිය තුළ එඩිතර නොවූවන්ය” යනුවෙනුයි. අපට ස්වර්ග රාජ්‍යය ලබාගෙන ණයට ගත් ආලෝකයක් මත පියාණන් වන දෙවියන්වහන්සේ සමඟ ජීවත් වෙන්නට බැහැ; අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ අපගේම සාක්ෂිය අවශ්‍යයි.
අප ජීවත් වන්නේ අයුතුකම් බහුල වන8 එමෙන්ම මිනිසුන්ගේ ආකාර නිසා හදවත් දෙවියන්වහන්සේගෙන් ඉවතට හැරෙන ලෝකයකයි.9 දෙවියන්වහන්සේගේ කාර්යය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සාක්ෂියක් සෙවීම ගැන හීබර් සී. කිම්බල්ගේ උත්සුකතාවන් පිළිබඳ ශුද්ධලියවිලිවල ඇති වඩාත්ම බලගතු උදාහරණවලින් එකක් තමයි, ඇල්මා විසින් ඔහුගේ පුතුන් තිදෙනා වන හිලමන්, ෂිබ්ලොන් සහ කොරියන්තන් වෙත දුන් උපදෙස්.10 ඔහුගේ පුතුන්ගෙන් දෙදෙනෙක් දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ කාර්යයට සත්‍යවන්තව සිටියා. ඒත් එක පුතෙක් යම් යම් වැරදි තීරණ අරන් තිබුණා. මට නම් ඇල්මාගේ අවවාදයේ ඇති ලොකුම වැදගත්කම තමයි ඔහු එය පියෙකු ලෙස තම දරුවන්ගේ යහපත සඳහා ලබාදීම.
හීබර් සී. කිම්බල්ගේ මෙන් ඇල්මාගේ පළමු සැලකිල්ල වුණේ, සෑම කෙනෙකුටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සාක්ෂියක් තිබීම සහ දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ කාර්යයට සතයවන්තව සිටීම.
ඇල්මා තම පුත් හිලමන්ට දුන් විශිෂ්ට ඉගැන්වීමේදී, “කවරෙකු වුවත් ඔහුගේ විශ්වාසය දෙවියන්වහන්සේ තුළ තබන්නේද, ඔවුන්ගේ පරික්ශාවන් තුළදීද, ඔවුන්ගේ පීඩා වලදීද උපකාර ලබන්නේය, තවද අවසන් දවසේදී ඔසවනු ලබන”11 බවට ඔහු ගැඹුරු පොරොන්දුවක්ද ලබාදෙනවා.
ඇල්මාට දේවදූතයෙකු දුටු දර්ශනයක් ලැබී තිබුණද, මෙය දුර්ලභ දෙයක්. ශුද්ධාත්මයාණන් විසින් කරන ලද පෙළඹවීම් වඩාත් සාමාන්‍යයි. මෙම හැඟීම් දේවදූත ප්‍රකාශයන් තරම්ම වැදගත් වෙන්න පුළුවන්. සභාපති ජෝසෆ් ෆීල්ඩින් ස්මිත් මෙහෙම ඉගැන්වුවා: “ශුද්ධාත්මයාණන්ගෙන් ප්‍රාණය මත එන හැඟීම් දර්ශනයකට වඩා බෙහෙවින් වැදගත්. ආත්මයාණන් ආත්මයට කතා කරන විට, ප්‍රාණය මත ඇතිකරන මුද්‍රාව මකා දැමීම වඩා දුෂ්කරයි.12
මෙය ඇල්මා ඔහුගේ දෙවන පුත් ෂිබ්ලොන්ට දෙන උපදෙස් වෙත අපව යොමු කරනවා. ෂිබ්ලොන් ඔහුගේ සහෝදර හිලමන් මෙන්ම ධර්මිෂ්ඨ යි. මට අවධාරණය කිරීමට අවශ්‍ය උපදෙස ඇල්මා 38:12 වන අතර, ඒ කොටසේ මෙහෙම කියනවා, “ඔබ ප්‍රේමයෙන් පිරී යන පිණිස, ඔබගේ සියලු ආශාවන් මැඩ පවත්වා ගන්න.”
මැඩ පවත්වා ගැනීම කියන්නේ සිත්ගන්නා වචනයක්. අපි අශ්වයෙකු පිට නැඟී යන විට, අපි ඌව මෙහෙයවීමට තෝන් ලණුව භාවිතා කරනවා. එයට හොඳ සමාන පද තමයි මෙහෙයවීම, පාලනය කිරීම හෝ සීමා කිරීම. අපට භෞතික ශරීර ලැබෙන බව දැනගත් විට අපි ප්‍රීතියෙන් කෑ ගැසූ බව පරණ ගිවිසුමේ අපට කියනවා.13 ශරීරය නපුරු නෑ—එය ලස්සනයි ඒවගේම අත්‍යවශ්‍යයි—නමුත් සමහර ලැදියාවන්, නිසි ලෙස සහ ගැලපෙන ලෙස පාලනය නොකළහොත්, දෙවියන්වහන්සේගෙන් සහ උන්වහන්සේගේ කාර්යයෙන් අපව වෙන් කර අපගේ සාක්ෂියට අහිතකර ලෙස බලපාන්න පුළුවන්.
අපි විශේෂ ලැදියාවන් දෙකක් ගැන කතා කරමු—පළමුව, කෝපය සහ දෙවනුව, තණ්හාව.14 මේ දෙකම මැඩ පැවත්විමකින් තොරව හෝ පාලනයකින් තොරව අත්හැරීම නිසා මහත් සිත් වේදනාවක් ඇති කිරීමටත්, ආත්මයාණන්ගේ බලපෑම අඩු කිරීමටත්, අපව දෙවියන්වහන්සේගෙන් සහ උන්වහන්සේගේ කාර්යයෙන් වෙන් කිරීමටත් හැකි වීම පුදුම දෙයක්. ප්‍රචණ්ඩත්වයේ සහ දුරාචාරයේ රූපවලින් අපගේ ජීවිත පිරවීමට සතුරා සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගන්නවා.
සමහර පවුල්වල තරහකාර ස්වාමිපුරුෂයෙක් හෝ භාර්යාවක් තම සහකරු හෝ සහකාරියට හෝ දරුවෙකුට පහර දීම අසාමාන්‍ය දෙයක් නොවේ. ජූලි මාසයේදී, මම ලන්ඩනයේ පැවති එක්සත් රාජධානියේ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු සංසදයකට සහභාගි වුණා.15 කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සැලකිය යුතු ලෝක ව්‍යාප්ත ගැටලුවක් ලෙස ඉස්මතු වුණා. ප්‍රචණ්ඩත්වයට අමතරව තවත් අය වාචික අපයෝජනවලට ද සම්බන්ධ වී තිබෙනවා. පවුල පිළිබඳ ප්‍රකාශය අපට මෙහෙම කියනවා “සහකරු හෝ සහකාරිය හෝ දරුවන් අපයෝජනය කරන අය යම් දිනක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ගණන් දිය යුතුයි.”16
සභාපති නෙල්සන් ඊයේ පෙරවරුවේ දැඩි ලෙස මේ ගැන අවධාරණය කළා.17 ඔබේ දෙමාපියන් ඔබව අපයෝජනය කර තිබුණත් නැතත් ඔබ ඔබේ සහකරු හෝ සහකාරිය හෝ දරුවන්ට ශාරීරිකව හෝ වාචිකව හෝ චිත්තවේගීයව හිරිහැර නොකරන බවට කරුණාකර ඔබේ මනසේ තබාගන්න.
අපේ කාලයේ වඩාත්ම වැදගත් අභියෝගයක් වන්නේ සමාජ ගැටලු සම්බන්ධයෙන් ඇතිවන මතභේද සහ වාචික අපයෝජනයයි. බොහෝ අවස්ථාවලදී හේතු බැලීම, සාකච්ඡාව සහ ශිෂ්ටත්වය වෙනුවට කෝපය සහ අපවාදාත්මක භාෂාව ආදේශ වෙනවා. පමණ දැන ක්‍රියා කිරීම, ඉවසීම, දේව භක්තිය, සහෝදර කරුණාව සහ පිවිතුරු ප්‍රේමය වැනි ක්‍රිස්තුස්වහන්සේගේ ගුණාංග සෙවීමට, ගැලවුම්කරුවාණන්ගේ ජ්‍යෙෂ්ඨ ප්‍රේරිතවරයා වූ පේත්‍රැස්ගේ අවවාදය බොහෝ දෙනෙක් විසින් අහක දමා තිබෙනවා.18 ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ ගුණාංගයක් වන නිහතමානී බවද අත්හැර දමා තිබෙනවා.
කෝපය පාලනය කිරීමට සහ වෙනත් ලැදියාවන් පාලනය කිරීමට අමතරව, අපගේ සිතුවිලි, භාෂාව සහ ක්‍රියාවන් පාලනය කිරීමෙන් අපි පිරිසිඳු සදාචාරාත්මක ජීවිතයක් ගත කළ යුතුයි. අප කාමුක දර්ශනවලින් වැළකී සිටිය යුතුයි, ඒවගේම අප අපගේ නිවෙස් තුළ ප්‍රවාහය කරන දේවල යෝග්‍යතාවය තක්සේරු කළ යුතුයි, ඒවගේම සෑම ආකාරයකම පව්කාර හැසිරීම්වලින් වැළකී සිටිය යුතුයි.
මෙය ඇල්මා ඔහුගේ දෙවන පුත් කොරියන්තොන්ට දෙන උපදෙස් වෙත අපව ගෙන යනවා. ඔහුගේ සහෝදරයන් වන හිලමන් සහ ෂිබ්ලොන් මෙන් නොව, කොරියන්තොන් අශිෂ්ට වරදක නිරත වුණා.
කොරියන්තොන් දුරාචාරයේ යෙදී සිටි නිසා, පසුතැවිලි වීම ගැන ඔහුට ඉගැන්වීමට ඇල්මාට අවශ්‍ය වුණා. පාපයේ බරපතළකම සහ පසුතැවිලි විය යුතු ආකාරය ඔහුට ඉගැන්වීමට ඔහුට සිදුවුණා.19
එබැවින් ඇල්මාගේ වැළැක්වීමේ උපදේශය වුණේ ලැදියාවන් සීමා කිරීමයි, නමුත් වරදේ යෙදුණු අයට ඔහුගේ උපදේශය, පසුතැවිලි වීමයි. සභාපති නෙල්සන් 2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණයෙදී පසුතැවීම පිළිබඳව සාමාජිකයින්ට ගැඹුරු උපදෙස් ලබාදුන්නා. දිනපතා පසුතැවීම අපගේ ජීවිතයට අත්‍යවශ්‍ය බව ඔහු පැහැදිලි කළා. “පසුතැවීම සිදුවීමක් නොවේ, එය ක්‍රියාවලියක්. සතුටට සහ මනසේ සාමයට යතුර එයයි,” ලෙස ඔහු ඉගැන්වුවා. “දිනපතා පසුතැවිලි වීම පරිශුද්ධ වීමට මාර්ගයයි, එමෙන්ම පරිශුද්ධතාවය බලය ගෙන එනවා.”20 සභාපති නෙල්සන් උපදෙස් දුන් දේ කොරියන්තොන් කළේ නම්, ඔහු අපිරිසිඳු සිතිවිලි වලට අවනත වීමට පටන් ගත් වහාම පසුතැවිලි වෙන්නට තිබුණා. විශාල අපරාධ සිදු නොවන්නට ඉඩ තිබුණා.
ඇල්මා තම පුතුන්ට ලබා දුන් අවසාන උපදේශය සියලුම ශුද්ධලියවිලිවල ඇති වැදගත්ම දහමක්. එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් කරන ලද වන්දිගෙවීම හා සම්බන්ධයි.
ක්‍රිස්තුස්වහන්සේ පාපය ඉවත් කරන බවට ඇල්මා සාක්ෂි දුන්නා.21 ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමෙන් තොරව, යුක්තිය පිළිබඳ සදාකාලික මූලධර්මයට අනුව දඬුවම් අවශ්‍ය වෙනවා.22 ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම නිසා, පසුතැවිලි වන අයට දයාව ලබාගන්න පුළුවන් ඒවගේම ඔවුන්ට දෙවියන්වහන්සේගේ අභිමුඛයට නැවත පැමිණීමට එයට ඉඩ සලසන්න පුළුවන්. අපි මේ අපූරු දහම හොඳින් මෙනෙහි කරනවා නම් හොඳයි.
කිසිවෙකුට ඔහුගේ හෝ ඇයගේ යහපත් ක්‍රියාවලින් පමණක් දෙවියන්වහන්සේ වෙතට ආපසු යන්නට බැහැ; ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ ප්‍රයෝජනය අප සැමට අවශ්‍යයි. සියල්ලෝම පව් කර තිබෙනවා, අපට දයාව ලබාගෙන දෙවියන්වහන්සේ සමඟ ජීවත් විය හැක්කේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් පමණයි.23
අප කරන ලද පව් කුඩා හෝ කොරියන්තොන් කළාක් මෙන් දරුණු වුවත්, පසුතැවිලි වීමේ ක්‍රියාවලිය තුළ ගොස් ඇති හෝ ඒ හරහා ඉදිරියේදී ගමන් කරන අප සැම වෙනුවෙන් ඇල්මා කොරියන්තොන්ට අපූරු උපදේශනයක් ලබා දුන්නා. ඇල්මා 42 හි 29 වැනි පදය මෙහෙම කියනවා, “තවද දැන්, මාගේ පුත්‍රය, මෙම දේවල් ගැන තවදුරටත් නුඹ කරදර නොවීම මම ආශා වන්නෙමි, තවද නුඹේ පාපය ගැන නුඹව පසුතැවිල්ල වෙතට ගෙන එන්නාවූ කරදරය සමඟ පමණක් කරදර වන්න.”
කොරියන්තොන් ඇල්මාගේ උපදෙස් පිළිපැද්ද අතර පසුතැවිලි වී ගෞරවනීය ලෙස සේවය කළා. ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම නිසා සියලු දෙනාටම සුවකිරීම ලබාගන්න පුළුවන්.
ඇල්මාගේ දවසේදී, හීබර්ගේ දවසේදී, සහ නිසැකවම අපගේ දවසේදී අපි සියල්ලෝම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේම සාක්ෂිය සෙවිය යුතුයි, අපගේ ලැදියාවන් මැඩ පවත්වාගත යුතුයි, අපගේ පව් ගැන පසුතැවිලි වී, එමෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් සාමය සොයා දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ කාර්යයට සත්‍යවන්තව සිටිය යුතුයි.
මෑතකාලීන කතාවක සහ නැවතත් අද උදෑසන, සභාපති රසල් එම්. නෙල්සන් එය මේ ආකාරයෙන් කිව්වා: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබගේ සාක්ෂියේ වගකීම භාර ගන්නා ලෙස මම ඔබෙන් අයදිනවා. ඒ වෙනුවෙන් වැඩ කරන්න. එය අයිති කරගන්න. ඒ ගැන සැලකිලිමත් වෙන්න. එය වර්ධනය වන පරිදි එය පෝෂණය කරන්න. ඉන්පසු ඔබේ ජීවිතයේ ප්‍රාතිහාර්යයන් සිදු වන ආකාරය දෙස බලා සිටින්න.”24
අපි දැන් සභාපති නෙල්සන්ට සවන්දීමට පැමිණීම ගැන මම කෘතඥ වෙනවා. සභාපති නෙල්සන් යනු අපගේ දවසේ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා බව මම සාක්ෂි දරනවා. ඔහු තුළින් අපට ලැබෙන ආශ්චර්යමත් ආභාශය සහ මගපෙන්වීමට මම ආදරය කරනවා, මම එය අගය කරනවා.
ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වශයෙන්, මම ගැලවුම්කරුවාණන්ගේ දේවත්වය සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ යථාර්ථය පිළිබඳ මගේ සහතිකය පිළිබඳ සාක්ෂි දරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.