තවද යේසුස්වහන්සේ කවුදැයි කියා බැලීමට ඔවුන් උත්සහ කළෝය
යේසුස්වහන්සේ ජීවත් වන බවත්, උන්වහන්සේ අපව දන්නා බවත්, සුව කිරීමට, පරිවර්තනය කිරීමට සහ සමාව දීමට උන්වහන්සේට බලය ඇති බවටත් මම සාක්ෂි දරනවා.
සහෝදර, සහෝදරියනි සහ මිතුරනි, 2013 දී මගේ බිරිඳ ලෝරල් සහ මට චෙක්/ස්ලෝවැක් ධර්මදූතයේ ධර්මදූත නායකයන් ලෙස සේවය කිරීමට කැඳවීමක් ලැබුණා. අපේ ළමයි හතර දෙනාත් අපිත් එක්ක සේවය කළා.1 අපි පවුලක් ලෙසත්, දක්ෂ ධර්මදූතවරුන් සහ කැපී පෙනෙන චෙක් සහ ස්ලෝවැක් ශුද්ධවන්තයින් සමඟත් ආශිර්වාද ලැබුවා. අපි ඔවුන්ට ආදරෙයි.
අපේ පවුල මේ ධර්මදූත ක්ෂේත්‍රයට ඇතුළු වන විට, වැඩිහිටි ජෝසෆ් බී. වර්ත්ලින් ඉගැන්වූ දෙයක් අප සමඟ එහි ගියා. “ශ්‍රේෂ්ඨ ආඥාව” යන මාතෘකාවෙන් යුත් කථාවකදී වැඩිහිටි වර්ත්ලින් මෙසේ ඇහුවා, “ඔබ ස්වාමින්වහන්සේට ප්‍රේම කරනවාද?” ඔව් කියා පිළිතුරු දෙන අප වැනි අයට ඔහු දුන් උපදෙස සරල හා ගැඹුරුයි: “උන්වහන්සේ සමඟ කාලය ගත කරන්න. උන්වහන්සේගේ වචන මෙනෙහි කරන්න. උන්වහන්සේගේ වියගහ ඔබ පිටට ගන්න. තේරුම් ගෙන කීකරු වීමට උත්සාහ කරන්න.”2 ඉන්පසු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට කාලය හා තැනක් දීමට කැමති අයට වැඩිහිටි වර්ත්ලින් විසින් පරිවර්තනීය ආශිර්වාද ලබා දුන්නා.3
අපි වැඩිහිටි වර්ත්ලින්ගේ උපදෙස් හා එම පොරොන්දුව සිතට ගත්තා. අපගේ ධර්මදූතවරුන් සමඟ, අපි නව ගිවිසුමෙන් මතෙව්, මාක්, ලූක් සහ යොහාන් සහ මොර්මොන්ගේ පොතෙන් 3 නෙපි අධ්‍යයනය කරමින් යේසුස්වහන්සේ සමඟ දීර්ඝ කාලයක් ගත කළා. සෑම ධර්මදූත රැස්වීමක් අවසානයේදීම, අපි “ශුභාරංචි පහ”4 ලෙස සඳහන් කළ දෙයෙහි යේසුස්වහන්සේ ගැන කියවීමට, සාකච්ඡා කිරීමට, සලකා බැලීමට සහ ඉගෙනීමට නැවත යොමුවුණා.
මට, ලෝරල්ට, සහ අපගේ ධර්මදූතවරුන් සඳහා, ශුද්ධලියවිලි තුළ යේසුස්වහන්සේ සමඟ කාලය ගත කිරීම සියල්ල වෙනස් කළා. උන්වහන්සේ කවුද සහ උන්වහන්සේට වැදගත් වන්නේ මොනවාද යන්න ගැන අපි ගැඹුරු ඇගයීමක් ලබාගත්තා. උන්වහන්සේ ඉගැන්වූ ආකාරය, උන්වහන්සේ ඉගැන්වූ දේ, උන්වහන්සේ ආදරය පෙන්වූ ආකාරය, ආශිර්වාද කිරීමට හා සේවය කිරීමට උන්වහන්සේ කළ දේ, උන්වහන්සේගේ ප්‍රාතිහාර්යන්, උන්වහන්සේ පාවාදීමට ප්‍රතිචාර දැක්වූ ආකාරය, දුෂ්කර මානව හැඟීම් උදෙසා උන්වහන්සේ කළ දේ, උන්වහන්සේගේ තනතුරු සහ නම්, උන්වහන්සේ සවන්දුන් ආකාරය, උන්වහන්සේ ගැටුම් නිරාකරණය කළ ආකාරය, උන්වහන්සේ ජීවත් වූ ලෝකය, උන්වහන්සේගේ උපමා, උන්වහන්සේ එකමුතුකම සහ කරුණාව දිරිමත් කළ ආකාරය, සමාව දීමට සහ සුව කිරීමට උන්වහන්සේට ඇති හැකියාව, උන්වහන්සේගේ දේශනා, උන්වහන්සේගේ යාච්ඤා, උන්වහන්සේගේ වන්දිගෙවීම, උන්වහන්සේගේ නැවත නැඟිටීම, උන්වහන්සේගේ ශුභාරංචිය යන දේවල් අපි එකට එකතු වී සලකා බැලුවා.
යේසුස් වහන්සේ යෙරිකෝව හරහා ගමන් කරන විට, අපට බොහෝ විට හැඟුනේ “උසින් අඩු” සකෙවුස් අත්තික්කා ගසකට නැගීමට දුවන්නාක් වගෙයි, මොකද ලූක් විස්තර කළ ආකාරයට අපි “යේසුස්වහන්සේ කවුදැයි කියා බැලීමට” උත්සහ කළා.5 ඒ යේසුස්වහන්සේ අපට අවශ්‍ය හෝ අපි ප්‍රාර්ථනා කළ ආකාරයට නොවේ, නමුත් යේසුස්වහන්සේ සැබවින්ම සිටි සහ සිටින ලෙසයි.6 වැඩිහිටි වර්ත්ලින් පොරොන්දු වූ පරිදිම, අපි ඉතා සැබෑ ආකාරයකින් මෙසේ ඉගෙනගත්තා, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පරිවර්තනයේ ශුභාරංචියක්. එය අපව එනම් පොළොවේ සිටින පිරිමින් සහ කාන්තාවන්ව ගෙන සදාකාලික පිරිමින් සහ කාන්තාවන් බවට පිරිපහදු කරනවා.”7
ඒවා විශේෂ දවස් වුණා. “දෙවියන්වහන්සේට සියල්ල කළ හැකි”8 බව අපි විශ්වාස කරන්නට පෙළඹුණා. එම පූජනීය දහවල්වල, යේසුස්වහන්සේගේ බලය සහ යථාර්ථය අත්විඳිමින්, ප්‍රාග්, බ්‍රැටිස්ලාවා හෝ බර්නෝ හි ගත කළ කාලය අප සියල්ලන්ගේ ජීවිත තුළ දෝංකාර දෙනවා.
අපි නිතරම මාර්ක් 2:1–12 අධ්‍යයනය කළා. එහි ඇති කතාව සිත් ඇදගන්නා සුළු යි. මට එහි කොටසක් මාර්ක් පොතෙන් කෙලින්ම කියවීමට අවශ්‍යයි, ඉන්පසු අපගේ ධර්මදූතවරුන් සහ වෙනත් අය සමඟ පුළුල් අධ්‍යයනයකින් සහ සාකච්ඡාවකින් පසුව එය මට වැටහුණු ආකාරය බෙදා ගැනීමට මට අවශ්‍යයි.9
“[යේසුස්වහන්සේ] දවස් ගණනකට පසු කපර්ණවුමට නැවත ඇතුල්වූ කල, උන්වහන්සේ ගෙයි සිටින බව ආරංචි විය.
“එවිට දොරකඩ ළඟවත් ඉඩ නැති තරමට බොහෝ දෙනෙක් රැස්වූවෝය, උන්වහන්සේ ඔවුන්ට වචනය කී සේක.
“එකල සතරදෙනෙකු විසින් උසුලන ලද අංශභාග රෝගියෙකු රැගෙන ඔව්හු උන්වහන්සේ වෙතට ආවෝය.
“සමූහයා නිසා උන්වහන්සේ ළඟට එන්ට නොහැකිව, ඔව්හු උන්වහන්සේ සිටි තැන සෙවිල්ල හැර, පියස්ස කඩා, අංශභාග රෝගියාගේ ඔත්යහන බැස්සෙවුවෝය.
“යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: පුත්‍රය, නුඹේ පව් කමාකරනලදැයි අංශභාග රෝගියාට කීසේක.”
සමූහයා අතර සිටි සමහරුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමෙන් පසු,10 යේසුස්වහන්සේ අංශභාග රෝගියා දෙස බලා ඔහුව ශාරීරිකව සුව කරමින් මෙසේ කිව්වා:
“නැගිට නුඹේ යහන රැගෙන ගෙදර පලයන්නැයි නුඹට කියමියි.
“ඔහු නැගිට එකෙණෙහිම යහන රැගෙන සියල්ලන් ඉදිරියෙහි පිටත්ව ගියේය; ඒ නිසා සියල්ලෝම විස්මපත් වී: මෙබඳු දෙයක් කවදාවත් නුදුටිමුව කියා දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝය.”11
දැන් මම තේරුම්ගත් ආකාරයට කතාව මෙහෙමයි: තම දේවසේවයේ මුල් අවදියේදී, යේසුස්වහන්සේ ගලීල මුහුදේ උතුරු වෙරළේ පිහිටි කුඩා ධීවර ගම්මානයක් වන කපර්ණවුමට ආපසු ගියා.12 උන්වහන්සේ මෑතක දී රෝගින් සුවපත් කරමින් අශුද්ධාත්මයන් පලවා හරිමින් හාස්කම් මාලාවක් කර තිබුණා.13 යේසුස් නම් මිනිසා ගැන අසන්නට හා අත්දැකීමට උනන්දුවෙන් සිටි ගම්වැසියෝ උන්වහන්සේ නවාතැන් ගෙන සිටින බවට කටකතා පැතිර ගිය නිවසට රැස් වුණා.14 ඔවුන් එසේ කරන අතරතුර, යේසුස්වහන්සේ ඉගැන්වීමට පටන්ගත්තා.15
කපර්ණවුමේ එකල ගෙවල් තිබුණේ පැතලි වහලක් සහිත එකට එකතු වූ තනි තට්ටු නිවාස ලෙසයි.16 වහලය සහ බිත්ති ගල්, දැව, මැටි සහ පිදුරු මිශ්‍රණයක් වූ අතර නිවසේ පැත්තේ ඇති සරල පියගැට පෙළකින් එයට ප්‍රවේශ වෙන්න පුළුවන් වුණා.17 සෙනඟ ඉක්මනින්ම නිවසට පැමිණ, යේසුස්වහන්සේ උගන්වමින් සිටි කාමරයේ පිරී, වීථිය දක්වාත් විසිරී උන්නා.18
මේ කතාව අවධානය යොමු කරන්නේ “අංශභාග රෝගයෙන් පෙළෙන” මිනිසෙකු සහ ඔහුගේ මිතුරන් හතර දෙනා වෙතයි.19 අංශභාගය යනු සිරුර පණ නැති වීමේ ස්වරූපයක්, බොහෝ විට එය දුර්වලතාවයන් සහ වෙව්ලීම සමඟ පවතිනවා.20 මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් අනිත් අයට මෙහෙම කියන්න ඇති කියලා මම හිතනවා “යේසුස්වහන්සේ අපේ ගමට ඇවිල්ලා. උන්වහන්සේ කළ ප්‍රාතිහාර්යයන් සහ උන්වහන්සේ සුව කළ අය ගැන අපි කවුරුත් දන්නවා. අපේ මිත්‍රයාව යේසුස්වහන්සේ ළඟට ගෙනියන්න පුළුවන් නම්, සමහරවිට ඔහුවත් සුවපත් කරන්න පුළුවන් වෙයි.”
ඒ නිසා ඔවුන් එකිනෙකා තම මිතුරාගේ පැදුරේ හෝ ඇඳේ කොනක් ගෙන කපර්ණවුමේ අසීරු, පටු, තාර නැති වීදි හරහා ඔහුව රැගෙන යාමට පටන් ගත්තා.21 මාංශ පේශි වල වේදනා ඇතිව සහ වෙහෙසට පත්ව, ඔවුන් අන්තිම කෙළවරට හැරෙන විට සමූහයා හෝ, ශුද්ධලියවිල්ලේ හඳුන්වන පරිදි, සවන් දීමට රැස්ව සිටින මිනිසුන් “පිරිස” කොතරම් විශාලද යත්, තම මිතුරාව යේසුස්වහන්සේ වෙතට ගෙන ඒමට නොහැකි තරම් වුණා.22 ප්‍රේමයෙන් සහ ඇදහිල්ලෙන් මේ සිව්දෙනා එය අත්හැරියේ නෑ. ඒ වෙනුවට, ඔවුන් පියගැටපෙළ දිගේ පැතලි වහලය මතට ගොස්, තම මිතුරා සහ ඔහුගේ ඇඳ ඔවුන් සමඟ පරෙස්සමින් ඔසවා, යේසුස්වහන්සේ උගන්වමින් සිටින කාමරයේ වහලය විවෘත කර, ඔවුන්ගේ මිතුරා බිමට පාත්කළා.23
බැරෑරුම් ඉගැන්වීම් මොහොතක් විය යුතු ස්ථානයක් මැද, යේසුස්වහන්සේට සීරීම් ශබ්දයක් ඇසී, හිස ඔසවා බැලූ අතර, දූවිලි හා පිදුරු කාමරයට වැටෙන විට සිවිලිමේ වැඩෙන සිදුරක් දුටු බව හිතාගන්න. ඇඳක් මත සිටින අංශභාග රෝගියෙකු පසුව බිමට පාත් වෙනවා. මෙය බාධාවක් නොව වැදගත් දෙයක් බව යේසුස්වහන්සේ වටහා ගැනීම පුදුමයට කරුණක්. ඔහු ඇඳ මත සිටින මිනිසා දෙස බලා, ප්‍රසිද්ධියේ ඔහුගේ පව්වලට සමාව දී, ඔහුව ශාරීරිකව සුවපත් කළා.24
මාර්ක් 2 පරිච්ඡේදයේ ඒ කතාව මනසේ තබාගත්තහම, යේසුස්වහන්සේ ක්‍රිස්තුස් ලෙස වැදගත් සත්‍යයන් කිහිපයක් පැහැදිලි වෙනවා. පළමුව, අප ආදරය කරන කෙනෙකුට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට උපකාර කිරීමට අප උත්සාහ කරන විට, පාපයේ බර ඉසිලීමට සහ සමාව දීමට උන්වහන්සේට හැකියාව ඇති බවට අපට විශ්වාසයෙන් එය කරන්න පුළුවන්. දෙවනුව, අප ක්‍රිස්තුස්වහන්සේ වෙතට ශාරීරික, චිත්තවේගීය හෝ වෙනත් රෝග ගෙන එන විට, සුව කිරීමට සහ සැනසීමට උන්වහන්සේට බලය ඇති බව දැනගෙන අපට එහෙම කරන්න පුළුවන්. තෙවනුව, අන් අයව ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන ඒමට ඒ හතර දෙනා මෙන් අපි උත්සාහ කරන විට, උන්වහන්සේ අපගේ සැබෑ අභිප්‍රායන් දකින බවත්, ඒවාට නිසි ලෙස ගෞරව කරන බවත් නිසැක ලෙස දැනගෙන අපිට එය කරන්න පුළුවන්.
මතක තියාගන්න, වහලයේ සිදුරක් පෙනෙන නිසා යේසුස්වහන්සේගේ ඉගැන්වීම කඩාකප්පල් වුණා. බාධා කිරීම සඳහා සිදුරක් සෑදූ හතරදෙනාට දඬුවම් කිරීම හෝ ඔවුන්ව ඉවත් කිරීම වෙනුවට, ශුද්ධලියවිලි අපට පවසන්නේ “යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දුටු”25 බවයි. ප්‍රාතිහාර්යය දුටු අය “පුදුමයට පත් වී මනුෂ්‍යයන්ට එවැනි බලයක් ලබා දුන් දෙවියන්වහන්සේව මහිමයට පත් කළා.”26
සහෝදර සහෝදරියනි, මට අමතර නිරීක්ෂණ දෙකක් සමඟ අවසන් කිරීමට ඉඩ දෙන්න. ධර්මදූතවරුන්, දේවසේවකයන්, සහන සමිතියේ සභාපතිවරුන්, සභානායකවරුන්, ගුරුවරුන්, දෙමාපියන්, සහෝදර සහෝදරියන් හෝ මිතුරන් වශයෙන් වේවා, අපි සියල්ලෝම පසුදවස් වල ශුද්ධවන්තයින් ලෙස අන්‍යයන්ව ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන ඒමේ කාර්යයේ යෙදී සිටිනවා. මෙසේ මේ මිතුරන් හතර දෙනා විසින් දක්වන ලද ගුණත්වය සලකා බලා අනුකරණය කිරීම වටිනවා.27 ඔවුන් නිර්භීත, අනුවර්තනය වෙන, ඔරොත්තු දෙන, නිර්මාණශීලී, බහුකාර්ය, බලාපොරොත්තු සහිත, අධිෂ්ඨානශීලී, විශ්වාසවන්ත, ශුභවාදී, නිහතමානී සහ විඳ දරාගන්නා අය වුණා.
මීට අමතරව, මේ හතරදෙනා ප්‍රජාවේ සහ සහයෝගීතාවයේ අධ්‍යාත්මික වැදගත්කම අවධාරණය කරනවා.28 තම මිතුරාව ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන ඒම සඳහා, හතර දෙනාම ඔවුන්ගේ කොන රැගෙන යා යුතුව තිබුණා. කෙනෙක් අතහැරියා නම් වැඩේ තවත් අමාරු වෙනවා. දෙදෙනෙකු උත්සාහය අත්හැරියා නම්, ඒ කාර්යය ඇත්තවශයෙන්ම කළ නොහැකි වෙනවා. දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ අප සෑම කෙනෙකුටම ඉටුකිරීමට කාර්යභාරයක් තිබෙනවා.29 අපි ඒ කාර්යභාරය සම්පූර්ණ කරමින් අපේ කොටස කරද්දී, අපි අපේ කොන අරගෙන යනවා. ආර්ජන්ටිනාවේ හෝ වියට්නාමයේ හෝ, ඇක්‍රා හෝ බ්‍රිස්බේන් හෝ, ශාඛාවක් හෝ කොට්ඨාශයක් හෝ වේවා, පවුලක් හෝ ධර්මදූත සහකරුවෙක් හෝ වේවා, අප සෑම කෙනෙකුටම රැගෙන යාමට කොනක් තිබෙනවා. අපි එසේ කරන විට, සහ අපි එසේ කරනවා නම්, ස්වාමින්වහන්සේ අප සැමට ආශිර්වාද කරනවා. උන්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දුටුවාක් මෙන්, උන්වහන්සේ අපගේ ඇදහිල්ලත් දකිමින් සෙනඟක් ලෙස අපට ආශිර්වාද කරයි.
විවිධ කාලවලදී මම ඇඳක කොනක් ඔසවාගෙන ගිහින් තිබෙනවා, තවත් විටෙක ඒ ගෙන ගිය තැනැත්තා මම වෙලා තිබෙනවා. යේසුස්වහන්සේගේ මෙම විශ්මිත කථාවේ බලයේ කොටසක් වන්නේ, සහෝදර සහෝදරියන් වශයෙන්, ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ පරිවර්තනය වීමට අප එකිනෙකාට එකිනෙකාව කෙතරම් අවශ්‍ය දැයි එය අපට මතක් කර දීම.
මේ මාර්ක් 2 හි යේසුස්වහන්සේ සමඟ කාලය ගත කිරීමෙන් මා ඉගෙන ගත් දේවල් කිහිපයක්.
“අපට [අපගේ කොන රැගෙන යාමට] හැකි වන පරිදි, අපි කොන් නොවී, අප බිය නොවී, නමුත් අපගේ ඇදහිල්ලෙන් ශක්තිමත් වීමටත්, අපගේ කාර්යයේ අධිෂ්ඨානශීලී වීමටත්, ස්වාමින්වහන්සේගේ අරමුණු ඉටු කිරීමටත් දෙවියන්වහන්සේ අපට පුළුවන් කම ලබාදේවා.”30
යේසුස්වහන්සේ ජීවත් වන බවත්, උන්වහන්සේ අපව දන්නා බවත්, සුව කිරීමට, පරිවර්තනය කිරීමට සහ සමාව දීමට උන්වහන්සේට බලය ඇති බවටත් මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.