කුරුසිය මත ඔසවා
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීමට යමෙකු සමහර විට බරක් දරාගෙන, පරිත්‍යාගය අවශ්‍ය වන සහ දුක් වේදනා නොවැළැක්විය හැකි තැනකට යා යුතු වෙනවා.
වසර ගණනාවකට පෙර, අමෙරිකානු ආගමික ඉතිහාසය පිළිබඳ උපාධි පාසල් සාකච්ඡාවකින් පසුව, සෙසු ශිෂ්‍යයෙක් මගෙන් මෙහෙම ඇහුවා, “අනෙක් ක්‍රිස්තියානීන් ඔවුන්ගේ ඇදහිල්ලේ සංකේතයක් ලෙස භාවිත කරන කුරුසය පසුදවස් වල ශුද්ධවන්තයින් විසින් භාවිතා නොකරන්නේ ඇයි?”
කුරුසය පිළිබඳ එවැනි ප්‍රශ්න බොහෝ විට ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ කැපවීම පිළිබඳ ප්‍රශ්නයක් වන බැවින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව විසින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව කේන්ද්‍රීය කරුණ ලෙසත්, තීරණාත්මක පදනම ලෙසත්, ප්‍රධාන දහම ලෙසත්, ඒවගේම දෙවියන්වහන්සේගේ දරුවන්ගේ ගැලවීම සඳහා වූ මහා සැලැස්ම තුළ දිව්‍ය ප්‍රේමයේ ඉතා වැදගත් ප්‍රකාශනය ලෙසත් හඳුන්වන බව මම වහාම ඔහුට කිව්වා.1 එම ක්‍රියාවට ආවේණික වූ ගැලවීමේ කරුණාව ආදම් සහ ඒවගේ සිට ලෝකාන්තය දක්වා මුළු මිනිස් පවුලටම අත්‍යවශ්‍ය සහ විශ්වීය වශයෙන් තිළිණ කළ දෙයක් බව මම පැහැදිලි කළා.2 මම ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාව උපුටා දැක්වුවා, “අපගේ ආගමට අදාළ සියලු දේ [යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ] අනු කොටස් පමණයි.”3
යේසුස්වහන්සේ ඉපදීමට වසර 600 කට පෙර නෙපි ලියූ දේ මම ඔහුට කියෙව්වා: “තවද … දේවදූතයා මට කතා කරමින් …, මෙසේ කීවේය: බලන්න! තවද මම බැලුවෙමි, දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන් දුටුවෙමි, … කුරුසිය මත ඔසවනවාත් තවද ලෝකයේ පාපය උදෙසා මරණු ලබනවාත් දුටුවෙමි.”4
මගේ “ආදරය, බෙදාගැනීම සහ ආරාධනා කිරීම” යන ජ්වලිතය දැන් ඉහළ ගියරයකට යමින් තිබීමත් සමඟ, මම දිගටම කියෙව්වා! මරණයෙන් නැවත නැගිටි ක්‍රිස්තුස්වහන්සේ විසින් නව ලෝකයේ නෙපිවරුන්ට මෙසේ කිව්වා: “මාගේ පියාණන්වහන්සේ මා එවූයේ එනම් මා කුරුසිය මත ඔසවනු ලබන පිණිසය; තවද එමගින් සියලු මනුෂ්‍යයන්ව මා වෙතට ලංකර ගැනීමට මට හැකිවන පිණිසය, මේ හේතුව නිසා මා ඔසවනු ලබා ඇත්තේය.”5
මම පාවුල් ප්‍රේරිතවරයාව උපුටා දැක්වීමට සූදානම් වූ විට මගේ මිතුරාගේ දෑස් දිලිසෙන බව මම දුටුවා. ඔහුගේ අත් ඔරලෝසුව දෙස ඉක්මන් බැල්මක් හෙලීමෙන් පෙනෙන්නේ ඔහු කොහේ හෝ තැනක සිටිය යුතු බව ඔහුට මතක් කර දුන් බවකුයි, ඒවගේම ඔහු තම කල්පිත හමුවීමට දිව ගියා. අපගේ සංවාදය මෙසේ නිමාවුණා.
ඔබ සැම කෙනෙක්ම තනියම ඔබේ අත් ඔරලෝසුව දෙස බැලීමට පටන් ගත්තත්—අවුරුදු 50 කට පමණ පසු අද උදෑසන එම පැහැදිලි කිරීම අවසන් කිරීමට මම අධිෂ්ඨාන කරගෙන සිටිනවා. අප සාමාන්‍යයෙන් කුරුසියේ සංකේත භාවිතා නොකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට මා උත්සාහ කරන විට, එසේ කරන්නන්ගේ ඇදහිල්ලෙන් පිරුණු චේතනාවන් සහ කැපවූ ජීවිත කෙරෙහි අපගේ ගැඹුරු ගෞරවය සහ ගැඹුරු ප්‍රශංසාව බහුල ලෙස පැහැදිලි කිරීමට මම කැමතියි.
අපි කුරුසය සංකේතයක් ලෙස අවධාරණය නොකිරීමට එක් හේතුවක් අපගේ බයිබලානුකූල මූලයන්ගෙන් පැන නගිනවා. කුරුසියේ ඇණ ගැසීම රෝම අධිරාජ්‍යයේ වඩාත්ම වේදනාකාරී මරණ දණ්ඩන ක්‍රමයක් වූ බැවින්, යේසුස්වහන්සේගේ මුල් අනුගාමිකයින් බොහෝ දෙනෙක් එම ම්ලේච්ඡ දුක්ඛිත මෙවලම ඉස්මතු නොකිරීමට තීරණය කළා. ක්‍රිස්තුස්වහන්සේගේ මරණයේ අරුත නිසැකවම ඔවුන්ගේ ඇදහිල්ලේ කේන්ද්‍රය වූ නමුත් වසර 300 පමණ කාලයක් තිස්සේ ඔවුන් සාමාන්‍යයෙන් වෙනත් මාර්ග හරහා තම ශුභාරංචිය ප්‍රකාශ කිරීමට උත්සාහ කළා.6
හතරවන සහ පස්වන සියවස් වන විට, සාමාන්‍යකරණය වූ ක්‍රිස්තියානි දහමේ සංකේතයක් ලෙස කුරුසයක් හඳුන්වා දෙනු ලැබුවා, නමුත් අපගේ දහම “සාමාන්‍ය ක්‍රිස්තියානි දහමක්” නොවේ. කතෝලික හෝ රෙපරමාදු භක්තික නොවන අපි, ඒ වෙනුවට, නැවත පිහිටුවන ලද සභාවක්, අපි නැවත පිහිටුවන ලද නව ගිවිසුමේ සභාවයි. මේ අනුව, අපගේ මූලාරම්භය සහ අපගේ අධිකාරිය දිව යන්නේ, සභා, ඇදහිලි ක්‍රම සහ ප්‍රතිමා ලක්ෂණ වලට පෙර කාලයටයි.7 මේ අර්ථයෙන් ගත් කල, ප්‍රමාද වූ සංකේතයක් පොදු භාවිතයට නොපැමිණීම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව සැබෑ ක්‍රිස්තියානි ආරම්භයේ නැවත පිහිටුවීමක් බවට තවත් සාක්ෂියක්.
නිරූපිත කුරුස භාවිතා නොකිරීමට තවත් හේතුවක් තමයි ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මදූතයේ සම්පූර්ණ ආශ්චර්යය—උන්වහන්සේගේ මහිමාන්විත නැවත නැගිටීම මෙන්ම උන්වහන්සේගේ පරිත්‍යාගශීලී දුක් වේදනා සහ මරණය පිළිබඳව අපගේ අවධාරණය. එම සබඳතාව අවධාරණය කිරීමේදී, සෑම බ්‍රහස්පතින්දා දිනකම සෝල්ට් ලේක් නගරයේ ඔවුන්ගේ පූජනීය සතිපතා දේවමාළිගා රැස්වීම් වලදී පළමු සභාපතිත්වය සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූර්ණය සඳහා පසුබිම් ලෙස සේවය කරන කලා කෘති දෙකක්8 ගැන මම අවධානය යොමුකළා. ගෙවා ඇති මිල සහ උන්වහන්සේ විසින් දිනාගත් ජයග්‍රහණය පිළිබඳ, උන්වහන්සේගේ සේවකයන් වන අප වෙනුවෙන් මෙම නිරූපණයන් නිරන්තර මතක් කිරීම් ලෙස සේවය කරනවා.
ක්‍රිස්තුස්වහන්සේගේ කොටස් දෙකකින් යුත් ජයග්‍රහණයේ වඩාත් පොදු නියෝජනයක් තමයි, සොහොන් ගෙයින් තේජසින් මතුවන කුරුසියේ ඇණ ගැසූ තුවාල සහිතව නැවත නැගිටි ක්‍රිස්තුස්වහන්සේගේ මෙම කුඩා තෝර්වල්ඩ්සන් රූපයේ අපගේ භාවිතය.9
අවසාන වශයෙන්, සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි වරක් ඉගැන්වූ මේ දේ අපි අපටම මතක් කර ගනිමු, “අපේ ජනතාවගේ ජීවිත … අපගේ [ඇදහිල්ලේ] සංකේතය විය යුතුය.”10 මෙම සලකා බැලීම්—විශේෂයෙන් දෙවැන්න—මාව කුරුසය පිළිබඳ සියලුම ශුද්ධලියවිලිමය යොමු වලින් වඩාත්ම වැදගත් විය හැකි දේ වෙත ගෙන එනවා. එයට පෙන්ඩන්ට් හෝ ස්වර්ණාභරණ, උස කොත් හෝ සංඥා පුවරු සමඟ සම්බන්ධයක් නෑ. ඒ වෙනුවට, එයට අදාළ වන්නේ, යේසුස්වහන්සේ උන්වහන්සේගේ සෑම අනුගාමිකයෙකුටම දී ඇති කැඳවීම සඳහා කිතුනුවන් විසින් ගෙන ආ යුතු ස්ථිර අවංක බවක් සහ දැඩි චේතනාවෙන් යුත් ධෛර්යයි. සෑම රටකම සහ යුගයකම, අප සැමටම උන්වහන්සේ මෙසේ පවසා තිබෙනවා, “යම් පිරිමියෙක් [හෝ කාන්තාවක්] මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා.”11
මේකෙන් කියවෙන්නේ අපි අඳින කුරුසවලට වඩා අපි දරන කුරුස ගැන. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීමට, යමෙකු සමහර විට තමන්ගේම හෝ වෙනත් කෙනෙකුගේ බරක් දරාගෙන—පරිත්‍යාගය අවශ්‍ය සහ දුක් වේදනා නොවැළැක්විය හැකි තැනට යා යුතුයි. සැබෑ කිතුනුවකුට ඔහු හෝ ඇය එකඟ වන කාරණාවලදී පමණක් ස්වාමියාව අනුගමනය කරන්නට බැහැ. නෑ. අවශ්‍ය නම් කඳුළු සහ කරදරවලින් පිරුණු ස්ථාන ඇතුළුව සමහර විට අපට තනිවම සිටීමට වුවත් අවශ්‍ය විය හැකි සෑම තැනකම අපි උන්වහන්සේව අනුගමනය කරනවා.
සභාවේ සහ ඉන් පිටත, ක්‍රිස්තුස්වහන්සේව එතරම් ඇදහිල්ලකින් අනුගමනය කරන මිනිසුන්ව මම දන්නවා. දරුණු ශාරීරික ආබාධ සහිත දරුවන්ව මම දන්නවා, ඔවුන්ව රැකබලා ගන්නා දෙමාපියන්වද මම දන්නවා. ශක්තිය, ආරක්ෂාව සහ වෙනත් මාර්ගයකින් නොපැමිණෙන ප්‍රීතියේ යම් කුඩා අවස්ථා සොයමින්, සමහර අවස්ථා වල සම්පූර්ණවම වෙහෙසට පත්වන තරමට වැඩ කරන ඔවුන් සියල්ලන්වම මම දකිනවා. ආදරණීය සහකාරියක්, අපූරු විවාහයක් සහ තමන්ගේම දරුවන්ගෙන් පිරුණු නිවසක් අපේක්ෂා කරන සහ ලැබිය යුතු බොහෝ තනිකඩ වැඩිහිටියන්ව මම දන්නවා. කිසිම මහත් ආශාවක් ඊටත් වඩා ධර්මිෂ්ඨ විය නොහැකි තරම්, නමුත් අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා යද්දී එවැනි වාසනාව තවමත් පැමිණෙන්නේ නැති වෙන්න පුළුවන්. නොයෙකුත් ආකාරයේ මානසික රෝගවලට එරෙහිව සටන් කරන, ඔවුන් යාච්ඤා කරන විට උදව් ඉල්ලා සිටින සහ චිත්තවේගීය ස්ථාවරත්වයේ පොරොන්දු දේශය වෙනුවෙන් අයැද සිටින අයව මම දන්නවා. දිළිඳු දුප්පත්කම සමඟ ජීවත් වන නමුත් බලාපොරොත්තු සුන්වීම නොසලකා හැර, ඔවුන්ගේ ආදරණීයයන් සහ ඔවුන් වටා සිටින අවශ්‍යතා ඇති අයට වඩා හොඳ ජීවිතයක් ලබා දීමට පමණක් අවස්ථාව ඉල්ලා සිටින අයව මම දන්නවා. අනන්‍යතාවය, ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගිකත්වය යන කාරණා සමඟ පොරබදන බොහෝ දෙනෙක්ව මම දන්නවා. ඔවුන්ගේ තීරණ වල ප්‍රතිවිපාක කොතරම් වැදගත්ද කියා දැනගෙන, මම ඔවුන් වෙනුවෙන් අඬනවා, මම ඔවුන් සමඟ අඬනවා.
මේවා අපට ජීවිතයේ මුහුණ දීමට සිදු විය හැකි බොහෝ පීඩාකාරී තත්වයන්ගෙන් කිහිපයක් පමණයි, මේවා ගෝලයෙකු වීමට පිරිවැයක් ඇති බවට බරපතල මතක් කිරීම්. දාවිත් හට දවන පූජාව සඳහා ගවයින් සහ දර නොමිලේ ලබා දීමට උත්සාහ කළ අරව්නාට දාවිත් රජු මෙසේ පැවසුවා, “එසේ නොව මිල ගණනකට එය නුඹෙන් ගනිමි, [මක්නිසාද මම] මට වියදමක් නැතුව මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පු නොකරමියි.”12 ඒ වගේම අපි හැමෝමත් එහෙම කියමු.
අප අපගේ කුරුස රැගෙන උන්වහන්සේව අනුගමනය කරන විට, අපගේ අභියෝගවල බර හේතුවෙන්, අන් අය විසින් දරනු ලබන බර කෙරෙහි අපි වඩාත් සංවේදී වන්නේ හා අපගේ අවධානය යොමුවන්නේ නැත්නම් එය ඇත්තෙන්ම ඛේදනීයයි. කුරුසියේ ඇණ ගැසීමේ ප්‍රබලතම තේරුම් නොගත හැකි දෙය තමයි, ගැලවුම්කරුවාණන්ගේ දෑත් පුළුල් ලෙස දිගු කර එහි ඇණ ගසා, මුළු මනුෂ්‍ය පවුලේම සිටින සෑම මනුෂ්‍යයෙකුම, කාන්තාවක්ම, සහ දරුවෙක්ම සාදරයෙන් පිළිගැනීම පමණක් නොවේ නමුත් උන්වහන්සේගේ මිදීමේ, උත්කර්ෂවත් පිළිගැනීමට ඔවුන්ට ආරාධනා කිරීම එය නොදැනුවත්වම නමුත් නිවැරදිව නිරූපණය කිරීම.13
වේදනාකාරී කුරුසියේ ඇණ ගැසීමෙන් පසු පැමිණි මහිමාන්විත නැවත නැගිටීම නිසා, මොර්මොන්ගේ පොතේ අනාගතවක්තෘ යාකොබ් පැවසූ පරිදි, “ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කර, උන්වහන්සේගේ මරණය දෙස බලා, උන්වහන්සේගේ කුරුසිය විඳීමට” කැමති අය මත සෑම ආකාරයකම ආශිර්වාද වැගිරෙනවා. සමහර විට එම ආශිර්වාද ඉක්මනින් පැමිණෙන අතර සමහර විට ඒවා පසුව පැමිණෙනවා, නමුත් ඒවා පැමිණෙන බවට ස්වාමින් වූ උන්වහන්සේගෙන්ම පොරොන්දුව තමයි, අපගේ පුද්ගලික අමාරු අත්දැකීම් සමුදායේ14 විස්මිත අවසානය. එවැනි ආශිර්වාද ලබාගැනීම සඳහා—නොවරදවාම, කිසිවිටෙකත් නොසැලී හෝ පලා නොයා, අපගේ කුරුසයන් බර වූ විට සහ කාලයකට මාර්ගය අඳුරු වන විට පවා ඒ කර්තව්‍යයේදී කිසි විටෙකත් නොසැලී, අපට උන්වහන්සේව අනුගමනය කරන්නට ලැබේවා. ඔබේ ශක්තිය, ඔබේ පක්ෂපාතිත්වය සහ ඔබේ ආදරය වෙනුවෙන්, මම ගැඹුරු පෞද්ගලික ස්තුතිය පුද කරනවා. “ඔසවනු ලැබූ”15 උන්වහන්සේ ගැනත්, ඒවගේම උන්වහන්සේ සමඟ “ඔසවනු ලැබූ” අය මත තැබූ සදාකාලික ආශිර්වාද ගැනත් අද දින මම මගේ අපෝස්තලික සාක්ෂිය දරනවා , ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.