අලුත් ගිවිසුම 2023
ජනවාරි 16–22. යොහාන් 1: අපට මෙසියස්වහන්සේව හමුවිය


“ජනවාරි 16–22. යොහාන් 1: අපට මෙසියස්වහන්සේව හමුවිය,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ජනවාරි 16-22. යොහාන් 1,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
දුම්රිය ස්ථානයක ශුභාරංචිය බෙදාගන්නා කාන්තාවක්

ජනවාරි 16–22

යොහාන් 1

අපට මෙසියස්වහන්සේව හමුවිය

ඔබ යොහාන් 1 කියවා මෙනෙහි කරද්දී, ඔබට ලැබෙන හැඟීම් සටහන් කරන්න. ඔබ සොයාගත් ඔබට සහ ඔබේ පවුලේ අයට වඩාත්ම ප්‍රයෝජනවත් වන පණිවිඩ මොනවාද? ඔබේ සභාවේ පන්ති වලදී ඔබට බෙදාගත හැක්කේ මොනවාද?

ඔබේ හැඟීම් සටහන් කරන්න

උන්වහන්සේගේ ලෞකික දේවසේවය අතරතුර ඔබ ජීවත් වී සිටියානම් නාසරෙත්හි යේසුස්වහන්සේව දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ලෙස ඔබ හඳුනාගනීවිද කියා ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? අන්ද්‍රේ, පේත්‍රැස්, පිලිප්, සහ නතානියෙල් ඇතුළු ඇදහිලිවන්ත ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු වූ මෙසියස්වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඒ සදහා යාච්ඤා කරමින් අවුරුදු ගණනාවක් බලා සිටියහ. ඔවුන් උන්වහන්සේව මුණගැසුණු විට, ඔවුන් සොයමින් සිටි කෙනා උන්වහන්සේ බව ඔවුන් දැනගත්තේ කෙසේද? අප උදෙසා “පැමිණ බලන්න” යන ආරාධනය පිළිගැනීමෙන් ඒ ආකාරයටම අප සියල්ලන්ම ගැලවුම්කරුවාණන්ව දැන හඳුනාගනී (යොහාන් 1:39). අපි උන්වහන්සේ ගැන ශුද්ධලියවිල්ලෙහි කියවන්නෙමු. අපි උන්වහන්සේගේ දහම අසන්නෙමු. අපි උන්වහන්සේගේ ජීවන රටාව නිරීක්ෂණය කරන්නෙමු. අපිට උන්වහන්සේගේ ආත්මයාණන් දැනේ. නතානියෙල් කළාක් මෙන්, ගැලවුම්කරුවාණන් අපව දන්නා බවත්, අපට ප්‍රේම කරන බවත්, “වඩා උතුම් දේ” ලැබීමට අපව සූදානම් කිරීමට උන්වහන්සේට අවශ්‍ය බවත් අපි සොයාගන්නෙමු (යොහාන් 1:50).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

යොහාන් යනු කවුද?

යොහාන් යනු, පසුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පළමු අනුගාමිකයෙකු හා උන්වහන්සේගේ ප්‍රේරිතයන් දොළොස්දෙනාගෙන් කෙනෙකු බවට පත්වූ යොහාන් බව්තීස්තගේ ගෝලයෙකි. ඔහු යොහාන්ගේ ශුභාරංචිය, ලිපි කිහිපයක්, සහ එළිදරව් පොත ලිවීය. ඔහුගේ ශුභාරංචියේ ඔහු තමාව හැඳින්වූයේ “යේසුස්වහන්සේ ප්‍රේම කළ ගෝලයා” සහ “අනෙක් ගෝලයා” ලෙසයි (යොහාන් 13:23; 20:3). ශුභාරංචිය දේශනා කිරීම සඳහා යොහාන්ගේ උද්යෝගය කොතරම්ද යත්, ප්‍රාණයන් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන ඒමට ඔහුට හැකිවන පිණිස, ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම තෙක් පොළොවේ රැඳීසිටීමට ඉඩදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය (බලන්න දහම සහ ගිවිසුම් 7:1–6).

යොහාන් 1:1–5

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “ආරම්භයේදී දෙවියන්වහන්සේ සමඟ” සිටියේය.

යොහාන් සිය ශුභාරංචිය ආරම්භ කළේ ක්‍රිස්තුස්වහන්සේ උපත ලැබීමට පෙර කළ සේවය විස්තර කරමිනි: “ආරම්භයේදීම … වාක්‍යාණෝ [යේසුස් ක්‍රිස්තුස්වහන්සේ] දෙවියන්වහන්සේ සමඟ සිටියේය.” ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ කාර්යය ගැන මෙම 1–5 දක්වා පද වලින් ඔබ ඉගෙනගන්නේ කුමක්ද? ඔබ ගැලවුම්කරුවාණන්ගේ ජීවිතය පිළිබඳ අධ්‍යයනය ආරම්භ කරන විට, උන්වහන්සේගේ පෙර ලෝකයේ කාර්යයන් ගැන දැනගැනීම වැදගත් වන්නේ ඇයි?

යොහාන් 1:1–18

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “සැබෑ ආලෝකයයි,” දෙවියන්වහන්සේගේ පුත්‍රයායි.

ගැලවුම්කරුවාණන්ව සෙවීමට යොහාන්ව පෙලඹවූයේ, ඔහු “සැබෑ ආලෝකයට … සාක්ෂි දැරීමට එවන ලද” බව ප්‍රකාශ කළ යොහාන් බව්තීස්තගේ සාක්ෂිය නිසාය (යොහාන් 1:8–9). ගැලවුම්කරුවාණන්ගේ ජීවිතය හා මෙහෙවර පිළිබඳව යොහාන් විසින්ම ප්‍රබල සාක්ෂියක්ද ලබාදුන්නේය.

ක්‍රිස්තුස්වහන්සේගේ ආරම්භක සාක්ෂියට යොහාන් ඇතුළත් කළ සත්‍යයන් ලැයිස්තුවක් සැකසීම සිත්ගන්නාසුළු විය හැකිය (1–18 පද). යොහාන් සිය ශුභාරංචිය මෙම සත්‍යතාවන්ගෙන් ආරම්භ කළේ ඇයි කියා ඔබ සිතන්නේද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබේ සාක්ෂිය ලිවීම ගැන සලකා බලන්න—ඔබට බෙදාගැනීමට අවශ්‍ය මොනවාද? ගැලවුම්කරුවාණන්ව දැනහඳුනාගැනීමට හා අනුගමනය කිරීමට ඔබට උපකාරවත් වූ අත්දැකීම් මොනවාද? ඔබේ සාක්ෂිය ඇසීමෙන් ආශිර්වාද ලැබිය හැක්කේ කාටද?

යොහාන් 1:11–13

දෙවියන්වහන්සේගේ පුතුන් හා දියණියන් “වීමට බලය” යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට ලබාදෙයි.

අප සියල්ලන්ම පියාණන් වන දෙවියන්වහන්සේගේ දූ පුතුන් වුවද, අපි පව් කරන විට අපි උන්වහන්සේගෙන් ඈත් වී යන්නෙමු, හෝ වෙන් වන්නෙමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය තුළින් අපට ආපසු යාමට මඟක් ලබාදෙයි. දෙවියන්වහන්සේගේ දියණියන් හා පුත්‍රයන් වීම ගැන යොහාන් 1:11–13 උගන්වන දේ ගැන මෙනෙහි කරන්න. මෙම ත්‍යාගය අපට ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම ශුද්ධලියවිලි උගන්වන දේ ගැනද සලකා බලන්න: රෝම 8:14–18; මොසායා 5:7–9; දහම සහ ගිවිසුම් 25:1. දෙවියන්වහන්සේගේ දියණියක හෝ පුතෙකු “වීමට බලය” තිබීම යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?

යොහාන් 1:18

පියාණන්වහන්සේ තම පුත්‍රයාණන් පිළිබඳ සාක්ෂි දරයි.

කිසිවෙකු දෙවියන්වහන්සේව දැක නැති බව යොහාන් 1:18 හි සඳහන් වේ. කෙසේවෙතත්, මෙම වාක්‍යයේ ජෝසෆ් ස්මිත්ගේ පරිවර්තනය පැහැදිලි කරන්නේ “උන්වහන්සේ පුත්‍රයාණන්වහන්සේ පිළිබඳ සාක්ෂි දරන විට හැර, කිසිවෙකු කිසිදිනෙක දෙවියන්වහන්සේව දැක නැත” යන්නයි. පියාණන් වන දෙවියන්වහන්සේ පුත්‍රයාණන් පිළිබඳ සාක්ෂි දරන අයුරු ඇසෙන ලද පහත දැක්වෙන අවස්ථා සමාලෝචනය කිරීම සලකා බලන්න: මතෙව් 3:17; 17:5; 3 නෙපි 11:6–7; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:17.

මෙම වාර්තා තිබීම ආශිර්වාදයක් වන්නේ ඇයි? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම පියාණන් සමඟ ඇති උන්වහන්සේගේ සම්බන්ධතාවය ගැන ඒවා ඔබට උගන්වන්නේ මොනවාද?

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

රූපය
ගැහැණු ළමයෙකු ශුද්ධලියවිලි කියවමින්

අපි ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, අපගේ ජීවිත සඳහා පෙළඹවීම් අපට ලැබෙනු ඇත.

යොහාන් 1:4–10.මෙම පදවල ආලෝකය ගැන කියවන දේ දෘශ්‍යමාන කිරීමට ඔබ ඔබේ පවුලට උදව් කරන්නේ කෙසේද? අඳුරු කාමරයක ආලෝකයක් බබළවා ගැලවුම්කරුවාණන් ඔවුන්ගේ ජීවිතයේ ආලෝකය වන්නේ කෙසේද යන්න බෙදාගැනීමට පවුලේ සාමාජිකයන්ට ඔබට ඉඩදිය හැකිය. ඉන්පසු, ඔබ යොහාන් 1:4–10 කියවන විට, ලෝකයේ ආලෝකය වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ යොහාන්ගේ සාක්ෂිය පිළිබඳව පවුලේ සාමාජිකයින්ට අමතර අවබෝධයක් ලැබිය හැකිය.

යොහාන් 1:35–36.යොහාන් බව්තීස්ත යේසුස්වහන්සේව “දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන්” ලෙස හැඳින්වූයේ ඇයි? මෙම මාතෘකාව පිළිබඳව වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ්ගේ පණිවිඩය වන “බලන්න, දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්” හෝ වැඩිහිටි ජෙරිට් ඩබ්. ගොන්ග්ගේ “යහපත් එඬේරාණන්, දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්” යන පණිවිඩයෙන් අපි ඉගෙනගන්නේ මොනවාද? (ලියහෝනා, මැයි 2019, 44–46, 97–101)

යොහාන් 1:35–46.යොහාන්ගේ සාක්ෂියේ ප්‍රතිඵල මොනවාද? ශුභාරංචිය බෙදාගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම පදවල විස්තර කර ඇති පුද්ගලයන්ගෙන් ඔබේ පවුලට ඉගෙනගත හැක්කේ මොනවාද?

යොහාන් 1:45–51.ඔහුට ගැලවුම්කරුවාණන් පිළිබඳ සාක්ෂියක් ලබාගැනීමට සහයක් වුණු නතානියෙල් කළ දේ කුමක්ද? පවුලේ සාමාජිකයින්ට ඔවුන්ගේ සාක්ෂි ඔවුන් ලබාගෙන ඇති ආකාරය ගැන කතා කිරීමට ආරාධනා කරන්න.

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

භාණ්ඩ යොදාගන්නා පාඩම් බෙදාගන්න. පවුලක් ලෙස ඔබ කියවන ශුද්ධලියවිලි පදවල ඇති මූලධර්ම තේරුම්ගැනීමට ඔවුන්ට උදව් කළ හැකි භාණ්ඩ සොයාගැනීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න. නිදසුනක් වශයෙන්, ඔවුන්ට ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය නිරූපණය කිරීම සඳහා ඉටිපන්දමක් භාවිතා කළ හැකිය (බලන්න යොහාන් 1:4).

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පොළොව මවමින්

වෝල්ටර් රනේ විසින්, Jehovah Creates the Earth [යොහෝවා පොළොව මවමින්]

මුද්‍රණය කරන්න