සෙමනේරි සහ ආයතනික පන්ති
ඉගෙනගන්නන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්නට උදව් කරන්න


“ඉගෙනගන්නන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්නට උදව් කරන්න,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම: නිවසේ සහ සභාවේ උගන්වන සියල්ලන් සඳහා (2022)

“ඉගෙනගන්නන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්නට උදව් කරන්න,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම

රූපය
ක්‍රිස්තුස්වහන්සේ දරුවන් සමඟ වාඩිවී

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ ගුරුවරුන් වශයෙන්, අපි අනෙක් අයට උන්වහන්සේගේ ඉගැන්වීම්, බලය, සහ ප්‍රේමය තේරුම්ගැනීමට සහ ඒවා මත රඳාසිටීමට උපකාර කරන්නෙමු.

ඉගෙනගන්නන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්නට උදව් කරන්න

ස්වර්ගීය පියාණන්වහන්සේව සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැනගැනීමට සහ උන්වහන්සේලාගේ ප්‍රේමය දැනීමට උපකාර කිරීමට වඩා, ගුරුවරයෙකු ලෙස ඔබ කරන වෙනත් කිසිවක් ඉගෙනගන්නන්ට ආශිර්වාද නොකරයි (බලන්න යොහාන් 17:3). ස්වර්ගික පියාණන්වහන්සේව සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැනහඳුනාගැනීමටත් ප්‍රේම කිරීමටත් ඔබට උපකාර වූ අත්දැකීම් ගැන සිතන්න. උන්වහන්සේලාගේ ගුණාංග, බලය, සහ ප්‍රේමය ගැන ඉගෙනගැනීමට ඔබ කර ඇත්තේ මොනවාද? ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබගේ ප්‍රේමය ඔබට ප්‍රීතිය ගෙන දුන්නේ කෙසේද? ඉන්පසු උන්වහන්සේලාගේ ප්‍රේමයට සහ බලයට ඔබ උගන්වන සෑම පුද්ගලයෙක් වෙනුවෙන්ම කළ හැකි දේ ගැන සිතන්න. (බලන්න ඇල්මා 26:16; මෝසෙස් 5:11.)

මේ ජීවිතයේ අපගේ අවසාන ඉලක්කය වන්නේ අපගේ ස්වර්ගීය පියාණන්ට සමාන වී උන්වහන්සේ වෙත නැවත පැමිණීමයි. අප එම ඉලක්කය සපුරා ගන්නා ආකාරය වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමයි (බලන්න යොහාන් 14:6). අනාගතවක්තෘ නෙපි ඉගැන්වූ පරිදි, “අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා [කරන්නේ], අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීති [වන්නේ]” මේ නිසයි (2 නෙපි 25:26).

දෙවියන්වහන්සේගේ සෑම දරුවෙකුටම ගැලවුම්කරුවාණන්ගෙන් ලැබෙන ආලෝකය සහ සත්‍යය අවශ්‍ය වන අතර, එයට ප්‍රතිචාර දැක්වීමට තෝරාගත හැකිය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ ගුරුවරයෙකු වීම යනු, අපි අනෙක් අයට උන්වහන්සේගේ ඉගැන්වීම්, මුදවාගැනීමේ බලය, සහ පරිපූර්ණ ප්‍රේමය තේරුම්ගැනීමට සහ ඒවා මත රඳාසිටීමට උපකාර කිරීමයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව වඩාත් හොඳින් දැනගැනීමට සහ උන්වහන්සේව අනුගමනය කිරීමට අන් අයව පෙලඹවීමට පහත අදහස් ඔබට උපකාර කරන්නේ කෙසේදැයි සලකා බලන්න.

ඉගෙනගන්නන්ට ඔවුන්ගේ ජීවිත තුළ ස්වාමින්වහන්සේගේ ප්‍රේමය, බලය, සහ දයාව හඳුනාගැනීමට උපකාර කරන්න

ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය, බලය, සහ දයාව ගැන දැනගැනීම හොඳයි, නමුත් අපි එය අත්විඳිය යුතුයි. ශුද්ධලියවිලි වල උන්වහන්සේ මිනිසුන්ට ආශිර්වාද කර සුවකළ ආකාරය දැකීම, උන්වහන්සේට අපවත් ආශිර්වාද කර සුවකළ හැකි බවට වැඩි ඇදහිල්ලක් ඇතිකර ගැනීමට අපට උදව් වෙයි. නිදසුනක් වශයෙන්, අප අපගේම සංකේතාත්මක සිංහ ගුහාවකට මුහුණදෙන විට ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට එය අපව පොලඹවන්නේ නැත්නම්, දානියෙල්ගේ අත්දැකීම් ගැන ඉගෙනීම අසම්පූර්ණයි.

ඔබ ඉගෙනගන්නන් හට ශුද්ධලියවිලි වල සහ ඔවුන්ගේම අත්දැකීම් වලදී, ස්වාමින්වහන්සේගේ “මුදු මොළොක් දයාව” (1 නෙපි 1:20) හඳුනාගැනීමට උපකාර කරන විට, ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ සිටින බවත්, ඔවුන් සමඟ ප්‍රේමනීය ලෙස නැගීසිටින බවත් ඔවුන්ට හැඟෙනු ඇත, ඔවුන් දැනගනු ඇත (බලන්න දහම සහ ගිවිසුම් 68:6). ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා සහ තත්වයන් තුළ ස්වාමින්වහන්සේගේ ප්‍රේමයේ සහ දයාවේ යථාර්ථය ඔවුන් දකිනු ඇත.

රූපය
යේසුස්වහන්සේ කන්ද උඩ දේශනාව පවත්වමින්

ගුරුවරුන්ට ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය, බලය, සහ දයාව අත්විඳීමට ඉගෙනගන්නන්ට උපකාර කළ හැකිය.

ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔවුන්ගේ සබඳතාව ශක්තිමත් කරගැනීමට ඉගෙනගන්නන්ට උපකාර කරන්න

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගැන්වීමේ සහ ඉගෙනීමේ පරමාර්ථය වන්නේ, එක් එක් පුද්ගලයාට උන්වහන්සේට සහ අපගේ ස්වර්ගීය පියාණන්ට සමීප වීමට උපකාර කිරීමයි. ඔබ උගන්වන පුද්ගලයින්ට එම අරමුණ කිසිදිනක අමතක නොකිරීමට උදව් කරන්න. ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමෙන්, නොකඩවා පසුතැවිලි වීමෙන්, පියාණන්වහන්සේ සමඟ යාච්ඤාවෙන් කථා කිරීමෙන්, සහ පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ ගැන සාක්ෂි දැරීමෙන්, ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔවුන්ගේ සබඳතාව ශක්තිමත් කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න. ගිවිසුම් ඇතිකරගැනීම සහ තබාගැනීම අපව උන්වහන්සේලා හා බැඳ තබන ආකාරය වචනයෙන් සහ ආදර්ශයෙන් ඉගෙනගන්නන්ට උගන්වන්න. අපිව උන්වහන්සේලාට කොතරම් වටිනා සහ ආදරණීයද කියා දැනගැනීමට ඔවුන්ට උපකාර කරන්න. අපගේ පියාණන්වහන්සේ වෙතට ආපසු යන එකම මාර්ගය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණ වන්දිගෙවීම පමණක් බවට වූ ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරන්න. “පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ පිළිබඳ සාක්ෂි දරන” (මෝසෙස් 5:9) ශුද්ධාත්මයාණන්ගෙන් සාක්ෂියක් ලබාගැනීමට ඉගෙනගන්නන්ට අවස්ථා සලසා දෙන්න.

ඉගෙනගන්නන්ට හිතාමතාම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට උපකාර කරන්න

අවසාන වශයෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගැනීම, උන්වහන්සේ හා සමාන වීමට අපව පොලඹවයි. නමුත් උන්වහන්සේ හා සමාන වීම සිදුවන්නේ, උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමට සහ උන්වහන්සේගේ කරුණාව ලැබීමට චේතනාන්විත තේරීම් කරමින්, අප පන්තිය තුළ සහ ඉන් පිටත ඇදහිල්ලෙන් ක්‍රියා කරන විට පමණි. ගැලවුම්කරුවාණන් හා සමාන විය හැකි මාර්ග හඳුනාගැනීමට ශුද්ධාත්මයාණන්ගේ උපකාරය සෙවීමට ඉගෙනගන්නන්ට ආරාධනා කරන්න. ඉගෙනගන්නන් උන්වහන්සේ හා සමාන වීම ජීවිත කාලය පුරාම කරන උත්සාහයක් බවට පත්කරගන්නා විට ඔවුන්ට මගපෙන්වීම සහ සහාය ලබාදෙන්න.

යාකොබ් ඉගැන්වූයේ “ලෝකයේ ආරම්භයේ සිට දෙවියන්වහන්සේ විසින් දෙන ලද සියල්ලට” අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගැන්විය හැකි බවයි (2 නෙපි 11:4). ඔබේ ඉගැන්වීම එවැනි දේවල් වලින් එකක් විය හැකිය. එක් එක් ඉගැන්වීමේ සහ ඉගෙනීමේ අත්දැකීමේ කේන්ද්‍රයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව තබන්න. ඔබ සහ ඉගෙනගන්නන් “ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරන විට, … ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීතිවන විට, … ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනා කරන විට” (2 නෙපි 25:26), ශුද්ධාත්මයාණන්වහන්සේට ගැලවුම්කරුවාණන් පිළිබඳ සාක්ෂියක් එක් එක් පුද්ගලයාගේ මනසෙහි සහ හදවතෙහි ගැඹුරට රෝපණය කළ හැකිය. ඔබ ඔබේ ඉගෙනගන්නන්ට ඔවුන් වෙනුවෙන්ම ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැන හඳුනාගැනීමට උපකාර කරන විට, ඔවුන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම උපකාර, බලාපොරොත්තුව, සහ සුවය සඳහා උන්වහන්සේලා වෙත හැරීමට වැඩි ඉඩක් ඇත.

මුද්‍රණය කරන්න