සෙමනේරි සහ ආයතනික පන්ති
උනන්දුවෙන් ඉගෙනීමට ආරාධනා කරන්න


“උනන්දුවෙන් ඉගෙනීමට ආරාධනා කරන්න,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම: නිවසේ සහ සභාවේ උගන්වන සියල්ලන් සඳහා (2022)

“උනන්දුවෙන් ඉගෙනීමට ආරාධනා කරන්න,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම

උනන්දුවෙන් ඉගෙනීමට ආරාධනා කරන්න

ගැලවුම්කරුවාණන් ජලය මත ඇවිදිමින් සිටින අයුරු නැරඹීම නිසැකයෙන්ම විශ්මයජනක විය. නමුත් පේත්‍රැස්ට එය ප්‍රමාණවත් නොවීය. ඔහුට අවශ්‍ය වූයේ ගැලවුම්කරුවාණන් කළ දේ කිරීමටත්, උන්වහන්සේ සිටි තැන සිටීමටත්, එම අත්දැකීම තමාටම ලබාගැනීමටත්ය. “වතුර පිට ඔබ වෙතට එන්ට මට අණකළ මැනව,” ඔහු කීවේය. ගැලවුම්කරුවාණන් සරල ආරාධනයකින් ප්‍රතිචාර දැක්වීය: “එන්න.” ඒ සමඟම, ගෝලයන් වීම නිෂ්ක්‍රීය අත්දැකීමක් නොවන බව පේත්‍රැස් බෝට්ටුවේ ආරක්ෂාවෙන් ඉවත්වී අපට පෙන්වා දුන්නේය (බලන්න මතෙව් 14:24–33). ඒ සඳහා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සහ උද්යෝගිමත් උත්සාහය අවශ්‍ය වේ. නමුත් එය ගැලවුම්කරුවාණන් සමඟ ඇවිදීමේ පොහොසත් විපාකයද ගෙන එයි.

“එන්න.” “පැමිණ බලන්න!” “එන්න, මා අනුගමනය කරන්න” “යන්න, ඔබත් එසේ කරන්න” (මතෙව් 14:29; යොහාන් 1:39; ලූක් 18:22; 10:37). උන්වහන්සේගේ දේවසේවයේ ආරම්භයේ සිටම, ගැලවුම්කරුවාණන් තම අනුගාමිකයන්ට ආරාධනා කළේ උන්වහන්සේ පිරිනමන සත්‍යයන්, බලය, සහ ප්‍රේමය ඔවුන් විසින්ම අත්විඳීමටය. උන්වහන්සේ මෙය කළේ ඇත්තටම ඉගෙනීම යනු මෙය වන බැවිනුයි. එය සවන්දීම හෝ කියවීම පමණක් නොවේ; එය වෙනස් වීම, පසුතැවිලි වීම, සහ දියුණු වීමද වෙයි. ගැලවුම්කරුවාණන්ගේ වචන වලින්, ඉගෙනීම පැමිණෙන්නේ “අධ්‍යයනයෙන් සහ ඇදහිල්ලෙනි” (දහම සහ ගිවිසුම් 88:118; අවධාරණය කිරීම් සහිතයි). ඇදහිල්ලට ඇතුළත් වන්නේ අප වෙනුවෙන් ක්‍රියා කිරීම මිස, හුදෙක් ක්‍රියාකරවනු ලැබීම නොවේ (බලන්න 2 නෙපී 2:26).

අපි ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කරන විට, අප උගන්වන අයට ඉල්ලා සිටීමට, සෙවීමට, සහ තට්ටු කිරීමට—සහ පසුව සොයාගැනීමට ආරාධනා කරන්නෙමු (බලන්න මතෙව් 7:7–8). ඒවගේම අපි අපි වෙනුවෙන්ම ඒ ආරාධනාව පිළිගනිමු. එකට එක්ව, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේම ඇදහිල්ල සහ කඩිසර උත්සාහය තුළින්, උන්වහන්සේ සමඟ ගමන් කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි අප විසින්ම දැනගැනීමට පැමිණෙනු ඇත.

උනන්දුවෙන් ඉගෙනීමට ආරාධනා කිරීමට

  • ඉගෙනගන්නන්ට ඔවුන්ගේ ඉගෙනීමේ වගකීම භාරගැනීමට උදව් කරන්න.

  • ශුභාරංචිය අධ්‍යයනය කිරීමෙන් ගැලවුම්කරුවාණන්ව දැන හඳුනාගැනීමට ඉගෙනගන්නන්ව දිරිමත් කරන්න.

  • සූදානම් වන ලෙස ඉගෙනගන්නන්ට ආරාධනා කරන්න.

  • ඉගෙනගන්නා සත්‍යයන් බෙදාගැනීමට ඉගෙනගන්නන්ව දිරිමත් කරන්න.

  • ඉගෙනගන්නා දේ අනුව ජීවත් වන ලෙස ඉගෙනගන්නන්ට ආරාධනා කරන්න.

ගැලවුම්කරුවාණන් අනෙක් අයට ඔවුන්ගේ ඉගෙනීමේ වගකීම ගැනීමට උපකාර කළේය

ආරක්ෂිතව සාගර තරණය කළ හැකි බත්තල් සෑදීම ඕනෑම කෙනෙකුට දුෂ්කර කාර්යයක් වනු ඇත. යාරෙද්ගේ සහෝදරයා “ස්වාමින්වහන්සේගේ හස්තයෙන් නිතර මගපෙන්වනු ලැබ” (ඊතර් 2:6), යාත්‍රා වල හැඩය සහ ඒවාට වාතාශ්‍රය ලබාදෙන ආකාරය පිළිබඳ උපදෙස් ලබාගත්තේය. නමුත් යාරෙද්ගේ සහෝදරයා බත්තල් වල ආලෝකය සැපයීම ගැන විමසූ විට ස්වාමින්වහන්සේ ප්‍රතිචාර දැක්වූ ආකාරය ගැන ඔබ දකින්නේ කුමක්ද? (බලන්න ඊතර් 2:22–25). මේ ආකාරයෙන් තම ඇදහිල්ල ක්‍රියාවට නැංවීමට කළ ආරාධනය යාරෙද්ගේ සහෝදරයාට ආශිර්වාද කළේ කෙසේද? (බලන්න ඊතර් 3:1–16).

ඉගෙනගන්නන්ට ඔවුන් දැනගත යුතු යැයි ඔබ සිතන සියලු දේ පැවසීම පහසු බව පෙනේ. කෙසේවෙතත්, වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ උපදෙස් දුන්නේය: “අපේ අභිප්‍රාය විය යුත්තේ ‘මම ඔවුන්ට කුමක් කියන්නේද?’ යන්න නොවේ. ඒ වෙනුවට, අපගෙන්ම ඇසිය යුතු ප්‍රශ්න නම් ‘ඔවුන්ට කුමක් කිරීමට මට ආරාධනා කළ හැකිද? යන්නයි. ඔවුන් ප්‍රතිචාර දැක්වීමට කැමති නම්, ඔවුන්ගේ ජීවිත වලට ශුද්ධාත්මයාණන්ට ආරාධනා කිරීමට පටන්ගන්නා කුමන පෙළඹවීම් සහිත ප්‍රශ්න මට ඇසිය හැකිද?”’ (evening with a General Authority, Feb. 7, 2020, broadcasts.ChurchofJesusChrist.org).

ඉගෙනගන්නන්ට ඔවුන්ගේ ඉගෙනීමේ වගකීම භාරගැනීමට ඔබට ආරාධනා කළ හැක්කේ කෙසේදැයි සලකා බලන්න. නිදසුනක් වශයෙන්, ඔවුන්ගේම ප්‍රශ්න ඇසීමට, පිළිතුරු සෙවීමට, මෙනෙහි කිරීමට, සහ ඔවුන්ගේ සිතුවිලි සහ හැඟීම් බෙදාගැනීමට හෝ වාර්තා කිරීමට, ඔබට ඔවුන්ට ආරාධනා කළ හැකිය. ඔවුන් එසේ කරන විට, ඔවුන් ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරගනු ඇත, දෙවියන්වහන්සේගේ වචනයේ සත්‍යයන් සොයාගනු ඇත, සහ මෙම සත්‍යයන් සමඟ ඔවුන්ගේම අත්දැකීම් ලබාගනු ඇත. අපි අපේම ඉගෙනීමේ වගකීම භාරගන්නා විට, ජෝසෆ් ස්මිත් කළාක් මෙන්, “මම මා වෙනුවෙන්ම ඉගෙනගත්තෙමි” යනුවෙන් අපට පැවසිය හැකිය (ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:20).

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න: ඉගෙනගන්නන් තම ඉගෙනීමේදී උදාසීන වීමට වඩා ක්‍රියාශීලී වීම වැදගත් වන්නේ ඇයි? ඉගෙනගන්නන්ට ඔවුන්ගේ ඉගෙනීමේ වගකීම භාරගැනීමට ඔබ උදව් කරන්නේ කෙසේද? මෙසේ කිරීමට ගුරුවරුන් ඔබට උපකාර කර ඇත්තේ කෙසේද? පුද්ගලයින්ට ඔවුන් වෙනුවෙන්ම ඉගෙනගැනීමට ආරාධනා කළ ආකාර ගැන ශුද්ධලියවිලි වලින් ඔබට සිතාගත හැකි උදාහරණ මොනවාද? මෙම උදාහරණ ඔබ උගන්වන ආකාරය කෙරෙහි බලපාන්නේ කෙසේද?

ශුද්ධලියවිලි වලින්: 1 නෙපී 11; දහම සහ ගිවිසුම් 9:7–8; 58:26–28; 88:118–125; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:11–20

ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමෙන් උන්වහන්සේව දැනගැනීමට අනෙක් අයව දිරිමත් කළේය

ගැලවුම්කරුවාණන් විසින් පසුදවස් වලදී තම සභාව නිල වශයෙන් සංවිධානය කිරීමට කාලය පැමිණි විට, උන්වහන්සේ තම සේවකයන්ට පැවසුවේ, “ලියා ඇති දේවල් මත රඳා සිටිය යුතු” බවයි (දහම සහ ගිවිසුම් 18:3). ඇත්තවශයෙන්ම, ඔවුන් පරිවර්තනය කිරීම අවසන් කිරීමට ආසන්නව තිබූ මොර්මොන්ගේ පොතෙහි, බව්තීස්ම වන ආකාරය, සක්‍රමේන්තුව පරිපාලනය කරන ආකාරය, සහ අනෙකුත් වටිනා තොරතුරු ඇතුළු කාර්යයන් සඳහා ප්‍රයෝජනවත් උපදෙස් අඩංගු විය. නමුත් ගැලවුම්කරුවාණන්ට අවශ්‍ය වූයේ උන්වහන්සේගේ සේවකයන්, උන්වහන්සේට සවන්දීමට සහ උන්වහන්සේව වඩාත් ගැඹුරින් දැනගැනීමට අවස්ථාවක් ලෙස උන්වහන්සේගේ එළිදරව් කිරීම් දෙස බැලීමය. එම එළිදරව්වේම, උන්වහන්සේ ඔවුන්ට පැවසුවේ, “නුඹලා හට [මේ වචන] කතා කරන්නේ මාගේ හඬය; … එසේහෙයින්, මාගේ හඬ ඇසුනේ යැයිද, මාගේ වචන දන්නේ යැයිද, සාක්ෂි දැරීමට නුඹලාට හැකිය” (දහම සහ ගිවිසුම් 18:35–36).

ඔබ උගන්වන පුද්ගලයින් ගැන සිතන්න. ඔවුන් ශුද්ධලියවිලි අධ්‍යයනය දකින්නේ කෙසේද? ඒ කාරණය සම්බන්ධයෙන්, ඔබ එය දකින්නේ කෙසේද? එය දෛනික වගකීමකට වඩා වැඩිද? ඔබ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, ගැලවුම්කරුවාණන් ඔබට කෙලින්ම කතා කරන බව ඔබට දැනෙනවාද? සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වුවේය: “අපිට උන්වහන්සේට සවන්දීමට යා හැක්කේ කොතැනටද? අපට ශුද්ධලියවිලි වෙත යා හැකියි. … බලවත් කැළඹීම් වැඩිවන මේ දිනවල, අධ්‍යාත්මික පැවැත්ම සඳහා දෙවියන්වහන්සේගේ වචනයෙහි දිනපතා ගිලීම ඉතා වැදගත් වෙනවා. අපි දිනපතා ක්‍රිස්තුස්වහන්සේගේ වචන මත පෝෂණය වන විට, ක්‍රිස්තුස්වහන්සේගේ වචන අපට, මුහුණදෙනු ඇතැයි අප කිසිවිටෙකත් නොසිතූ දුෂ්කරතා වලට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය කියාදෙනවා” (“උන්වහන්සේට සවන්දෙන්න,” ලියහෝනා, මැයි 2020, 89). ඔබ උගන්වන විට, ගැලවුම්කරුවාණන්ව සොයාගැනීමේ අරමුණ ඇතිව ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමට—උන්වහන්සේ ගැන පද හෝ කරුණු සොයාගැනීමට පමණක් නොව උන්වහන්සේව සොයාගැනීමට ඉගෙනගන්නන්ව දිරිමත් කරන්න. ශුද්ධලියවිලි වල සෑම දිනකම ස්වාමින්වහන්සේගේ කටහඬ ඇසීම උද්යෝගිමත්, ස්වාධීන ශුභාරංචි ඉගෙනීමේ ජීවන රටාවකට පදනම වේ.

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න: ඔබේම ශුද්ධලියවිලි අධ්‍යයන පුරුදු සලකා බලන්න. දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමෙන් උන්වහන්සේ සමඟ ඇති ඔබගේ සම්බන්ධතාවය ශක්තිමත් වී ඇත්තේ කෙසේද? ඔබේ අධ්‍යයනය දියුණු කිරීමට ඔබට කුමක් කළ හැකිද? දෙවියන්වහන්සේගේ වචනය උනන්දුවෙන් හා නිතිපතා අධ්‍යයනය කිරීමට ඔබ අන් අයව පොලඹවන්නේ කෙසේද? එසේ කිරීමෙන් ඔවුන්ට ලැබෙන ආශිර්වාද මොනවාද?

ශුද්ධලියවිලි වලින්: යෝෂුවා 1:8; 2 තිමොති 3:15–17; 2 නෙපී 32:3; යාකොබ් 2:8; 4:6; දහම සහ ගිවිසුම් 33:16

ගැලවුම්කරුවාණන් අනෙක් අයට ඉගෙනීමට සූදානම් වන ලෙස ආරාධනා කළේය

හොඳම බීජ වලට පවා ඝන, ගල් සහිත, හෝ කටු සහිත බිමක වර්ධනය විය නොහැක. ඒ හා සමානව, ඉතා වටිනා සහ ඇදහිල්ල ප්‍රවර්ධනය කරන දහමකට පවා එය ලැබීමට සූදානම් නැති හදවතක් වෙනස් කිරීම අපහසුය. එය වපුරන්නා, බීජ, සහ විවිධ තත්වයන් යටතේ තිබූ පස පිළිබඳ ගැලවුම්කරුවාණන්ගේ උපමාවේ පණිවිඩයේ කොටසකි. දෙවියන්වහන්සේගේ වචනය ජීවනදායක ඵල දරන්නේ “යහපත් භූමියේ”—එනම් ආත්මික ගල් හා කටු ඉවත් කර මෘදු කර පිරිසිඳු කර ඇති හදවතකයි (බලන්න මතෙව් 13:1–9, 18–23).

ඔබට සහ ඔබ උගන්වන පුද්ගලයින්ට—අධ්‍යාත්මික සූදානම වැදගත්. එසේනම් අපගේ හදවත් දෙවියන්වහන්සේගේ වචනය සඳහා “යහපත් භූමියක්” බවට පත්කිරීමට අප උපකාර කරන්නේ කෙසේද? ඔබට ඔබේ ජීවිතයට අදාළ කරගත හැකි සහ ඔබ උගන්වන අයගේ ජීවිත දිරිගැන්වීමට හැකි, පහත සඳහන් සූදානම් වීමේ මූලධර්ම සලකා බලන්න. ඔබ ඉගෙනගන්නවාට ස්වාමින්වහන්සේට අවශ්‍ය කුමක්දැයි සොයා බැලීමට යාච්ඤා කරන්න. ඔබගේ ජීවිතය තුළට උන්වහන්සේගේ සහභාගිත්වය ආරාධනා කරන ආකාරයෙන් ජීවත් වන්න. දිනපතා පසුතැවිලි වන්න. අවංක ප්‍රශ්න ඇසීමෙන් ඉගෙනීමට ඔබේ ආශාව පෝෂණය කරන්න. දෙවියන්වහන්සේ පිළිතුරු වෙත ඔබව ගෙන යන බවට ඇදහිල්ලෙන් දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යයනය කරන්න. උන්වහන්සේ ඔබට උගන්වන ඕනෑම දෙයකට ඔබේ හදවත විවෘත කරන්න.

ඉගෙනගන්නන් මේ ආකාරයෙන් ඉගෙනීමට සූදානම් වන විට, ස්වාමින්වහන්සේ ඔවුන්ට දැනගැනීමට සලස්වන දේ දැකීමට අධ්‍යාත්මික ඇස්, සහ ඇසීමට කන් ඔවුන්ට ලැබෙයි (බලන්න මතෙව් 13:16).

මෙනෙහි කිරීමට ප්‍රශ්න: ඉගෙනගැනීමට ඔබව සූදානම් කරගැනීමට ඔබ කරන්නේ මොනවාද? ඔබ දෙවියන්වහන්සේගේ වචනය දකින, අසන, සහ තේරුම්ගන්නා ආකාරය කෙරෙහි ඔබේ සූදානම බලපාන්නේ කෙසේද? ඉගෙනීමට සූදානම් වීමට ඔබට අන් අයව පෙලඹවිය හැක්කේ කෙසේද? එමගින් ඔවුන් ශුභාරංචියේ සත්‍යයන් ලබන ආකාරයෙහි සිදුවන වෙනස්කම් මොනවාද?

ශුද්ධලියවිලි වලින්: ඊනොස් 1:1–8; ඇල්මා 16:16–17; 32:6, 27–43; 3 නෙපී 17:3

රූපය
ළමයෙක් පන්තියේ ශුද්ධලියවිලි කියවමින්

තමන් ඉගෙනගන්නා දේ එකිනෙකා සමඟ බෙදාගැනීමට ඇති අවස්ථාවන්ගෙන් ඉගෙනගන්නන් ප්‍රයෝජන ලබයි.

ගැලවුම්කරුවාණන් ඔවුන් ඉගෙනගනිමින් සිටි සත්‍යයන් බෙදාගැනීමට අනෙක් අයව දිරිමත් කළේය

ශුභාරංචිය දේශනා කිරීමට ස්වාමින්වහන්සේ ඔහුව කැඳවූ විට, “මම කතා කිරීමට ප්‍රමාදයි” කියමින් ඊනොක් වැලපුණා. නමුත් ස්වාමින්වහන්සේගේ සේවකයෙකුට කථිකත්වය කිසිදා අවශ්‍යතාවයක් වී නැත. ඒ වෙනුවට, ස්වාමින්වහන්සේ ඊනොක්ට පොරොන්දු වූයේ ඔහුගේ මුඛය විවෘත කිරීමට තරම් ඇදහිල්ලක් ඔහුට ඇත්නම්, වචන පැමිණෙන බවයි. “මම ඔබට කතා කිරීමේ හැකියාව ලබාදෙන්නෙමි,” කියා උන්වහන්සේ පැවසීය (මෝසෙස් 6:31–32). ඊනොක් තම ඇදහිල්ල ක්‍රියාවට නැංවූ අතර, ස්වාමින්වහන්සේ මිනිසුන් වෙව්ලවන්නට තරම් බලවත් වචන වලින් සැබවින්ම ඔහු තුළින් කථා කළ සේක (බලන්න මෝසෙස් 6:47). ඇත්තවශයෙන්ම, ඒවා පොළොව කම්පනයට පවා පත්කළේය. කඳු පහව ගියේය, ගංගා ඔවුන්ගේ ගමන් මග වෙනස් කළේය, තවද ජාතීන් දෙවියන්වහන්සේගේ සෙනඟට බිය වූහ, “ඊනොක්ගේ වචනය කොතරම් බලවත්දයත්, දෙවියන්වහන්සේ ඔහුට ලබාදුන් භාෂාවේ බලයද එතරම්ම බලවත් විය” (මෝසෙස් 7:13).

ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ට පමණක් නොව—අප සියල්ලන්ටම—උන්වහන්සේගේ වචනය කථා කිරීමට බලය තිබීමයි. ඔබ උගන්වන මිනිසුන් ඇතුළුව, අප සැවොම වෙනුවෙන්ම උන්වහන්සේට එය අවශ්‍යයි (බලන්න දහම සහ ගිවිසුම් 1:20–21). අපගේ වචන නිසා කඳු පහව යාම හෝ ගංගා හරවා යැවීම නොවිය හැක, නමුත් ඒවා හදවත් වෙනස් කිරීමට උපකාරී වේ. ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ශුභාරංචිය ගැන ඉගෙනගන්නා දේ එකිනෙකා සමඟ බෙදාගැනීමට ඉගෙනගන්නන්ට අවස්ථා ලබාදීම ඉතා වැදගත් වන්නේ එබැවිනි. මෙය සිදුකිරීම මගින් ඔවුන්ට උගන්වන සත්‍යයන් අභ්‍යන්තරයට රැගෙන ඒවා ප්‍රකාශ කිරීමට උපකාරී වෙයි. වෙනත් සැකසීම් තුළ සත්‍යයන් බෙදාගැනීමට ඔවුන්ට ඇති හැකියාව පිළිබඳ විශ්වාසය ලබාගැනීමටද එය ඔවුන්ට උපකාර කරනු ඇත.

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න: ඔබ යමෙකු සමඟ ශුභාරංචි සත්‍යයක් ගැන කතා කළ අවස්ථාවක් ගැන සිතන්න. එම අත්දැකීමෙන් ඔබ ඉගෙනගත්තේ මොනවාද? යමෙකුට තම සිතුවිලි සහ විශ්වාසයන් බෙදාගැනීමට ධෛර්යය තිබීම ගැන ඔබ කෘතඥ වූයේ කවදාද? ඔබ උගන්වන පුද්ගලයින් ඔවුන් ඉගෙනගන්නා දේවල් ගැන කතා කිරීමට ලැබෙන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නේ කෙසේද? ඔවුන් වෙනුවෙන් ඔබට නිර්මාණය කළ හැකි අවස්ථා මොනවාද?

ශුද්ධලියවිලි වලින්: ඇල්මා 17:2–3; මොරෝනි 6:4–6; දහම සහ ගිවිසුම් 84:85; 88:122; 100:5–8

ගැලවුම්කරුවාණන් තමා ඉගැන්වූ දේ අනුව ජීවත් වීමට අනෙක් අයට ආරාධනා කළේය

“ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි බබළවන්න.” “ඔබගේ සතුරන්ට ප්‍රේම කරන්න.” “ඉල්ලන්න, එවිට නුඹලාට දෙනු ලැබෙන්නේය.” “පටු දොරටුවෙන් ඇතුල්වෙන්න.” (මතෙව් 5:16, 44; 7:7, 13.) ගැලවුම්කරුවාණන්ගේ මුළු ලෞකික දේවසේවය තුළම වඩාත් විචිත්‍රවත්, අමතක නොවන ආරාධනා සමහරක් කථා කරන ලද්දේ උන්වහන්සේ ගලීල මුහුදට ඉහළින් පිහිටි කඳු බෑවුමක තම ගෝලයන්ට ඉගැන්වූ විටය. ගැලවුම්කරුවාණන්ගේ අරමුණ වූයේ ජීවිත වෙනස් කිරීමයි, එය උන්වහන්සේගේ අවසාන ආරාධනය මගින් මෙසේ පැහැදිලි කරන ලදි: “යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද, ඔහු පර්වතය පිට තමාගේ ගෙය සාදාගත් නුවණ ඇති මනුෂ්‍යයෙකුට සමාන කරනු ලබන්නේය” (මතෙව් 7:24; අවධාරණය කිරීම් එකතු කර ඇත).

හැමෝගෙම ජීවිත වලට වැසි වැස, ගංවතුර ඇවිත්, සුළඟ හමයි. ඉගෙනගන්නන්ට තමන් මුහුණදෙන සියලු පීඩා වලට ඔරොත්තු දීමට නම් ශුභාරංචිය ගැන ඉගෙනීම ප්‍රමාණවත් නොවේ. තමන් ඉගෙනගන්නා දේ අනුව ජීවත් වන්නේ කෙසේදැයි සලකා බැලීමට ඉගෙනගන්නන්ට ආරාධනා කිරීමට අප පසුබට නොවිය යුත්තේ එබැවිනි. අන් අයගේ තෝරාගැනීමේ නිදහසට ඇති ගෞරවය නිසා, අපගේ බොහෝ ආරාධනා පොදු වනු ඇත: “ඔබට පෙළඹවීමක් දැනෙන්නේ කුමක් කිරීමටද?” ඉඳහිට අපගේ ආරාධනා වඩාත් නිශ්චිත විය යුතුය: “ඔබ වර්ධනය කරගැනීමට කැමති ගැලවුම්කරුවාණන්ගේ එක් ගුණාංගයක් ඔබ තෝරාගන්නවාද?” ඔබ ඉගෙනගන්නන්ට ශුද්ධාත්මයාණන්ගෙන් ලැබෙන පෙළඹවීම් ඇසීමට, හඳුනාගැනීමට, සහ බෙදාගැනීමට අවස්ථාව සලසන විට, ඔවුන් ගත යුතු පුද්ගලික ක්‍රියාමාර්ග මොනවාදැයි උන්වහන්සේ ඔවුන්ට උගන්වනු ඇත. ඉගෙනගන්නන්ට තමන් ඉගෙනගන්නා දේ මත ක්‍රියා කරන විට ලැබෙන ආශිර්වාද සලකා බැලීමට, සහ එසේ කිරීම දුෂ්කර වූ විට පවා නොනැවතී සිටීමට ඔවුන්ව දිරිමත් කරන්න. සත්‍යයේ ජීවත්වීම මහත් ඇදහිල්ලකට, සාක්ෂියකට, සහ හැරීමක් සඳහා වේගවත්ම මාර්ගයයි. ගැලවුම්කරුවාණන් පැවසූ පරිදි, පියාණන්වහන්සේගේ දහම අනුව ජීවත්වීම අප සැමට එම දහම සත්‍ය බව දැනගැනීම සඳහා වූ මාර්ගයයි (බලන්න යොහාන් 7:17).

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න: යමෙකු කළ ආරාධනයක් නිසා ඔබ එය ක්‍රියාත්මක කිරීමට පෙලඹී ඇත්තේ කවදාද? එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ ජීවිතය වෙනස් වූයේ කෙසේද? ශුද්ධලියවිලි වල සහ සභා නායකයන් විසින් ලබාදී ඇති ආරාධනාවන් බලන්න. ඔබ අන් අයට ක්‍රියා කිරීමට ආරාධනා කිරීම සඳහා ඔබට උපකාර කළ හැකි කුමන දේවල් ඔබ ඉගෙනගන්නේද? ඔබගේ ආරාධනාවන් ගැන නැවත විමසිය හැක්කේ කුමන ආකාර වලින්ද?

ශුද්ධලියවිලි වලින්: ලූක් 10:36–37; යොහාන් 7:17; යාකොබ් 1:22; මොසායා 4:9–10; දහම සහ ගිවිසුම් 43:8–10; 82:10

ඔබ ඉගෙනගන්නා දේ අදාළ කරගැනීමට ක්‍රම කිහිපයක්

  • අර්ථාන්විත ශුද්ධලියවිලි පාඨයක් පිළිබඳ අදහසක් වැනි, ශුද්ධාත්මයාණන් විසින් ඔවුන්ට උගන්වා ඇති දෙයක් බෙදාගැනීමට සූදානම්ව පැමිණෙන ලෙස අනෙක් අයගෙන් ඉල්ලා සිටින්න.

  • පාඩමක කොටසක් ඉගැන්වීමට ඉගෙනගන්නන්ට අවස්ථා ලබාදෙන්න.

  • ඔබ හමුවීමට පෙර වීඩියෝවක්, ශුද්ධලියවිලි පදයක්, හෝ පණිවිඩයක් සමාලෝචනය කිරීමට ඉගෙනගන්නන්ව දිරිමත් කරන්න.

  • සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දීමේ ප්‍රවණතාවයට එරෙහි වන්න. පිළිතුරු සෙවීමට අනෙක් අයව සම්බන්ධ කරගන්න.

  • ශුද්ධලියවිලි පදයක් පිළිබඳ ඔබේ අදහස් බෙදාගැනීමට පෙර, ඉගෙනගන්නන්ගෙන් ඔවුන්ගේ අදහස් බෙදාගන්නා ලෙස ඉල්ලා සිටින්න.

  • දෙවියන්වහන්සේගේ වචනය තුළින් පිළිතුරු සෙවීමට ඉගෙනගන්නන්ව දිරිමත් කරන ප්‍රශ්න අසන්න.

  • ඔවුන් ඉගෙනගන්නා දේ ගැන ඔවුන්ගේම ප්‍රශ්න ඇසීමට ඉගෙනගන්නන්ට ආරාධනා කරන්න.

  • පිළිතුරු බෙදාගැනීමට ඉල්ලා සිටීමට පෙර ප්‍රශ්නයක් ගැන මෙනෙහි කිරීමට සියලුම ඉගෙනගන්නන්ට කාලය ලබාදෙන්න.

  • සුදුසු පරිදි ඉගෙනගන්නන්ව කුඩා සාකච්ඡා කණ්ඩායම් වලට බෙදීම සලකා බලන්න.

  • ඉගෙනගන්නන්ගේ වර්ධනය වීම සඳහා වූ ඔබේ අපේක්ෂාවන් පැහැදිලිව ප්‍රකාශ කරන්න.

  • ඉගෙනගන්නන්ට ඉතා ප්‍රබල නොවන, නමුත් වැඩිදියුණු වීමට පොළඹවන ආරාධනා ලබාදෙන්න. පසු විපරම් කර ඔවුන්ගේ අත්දැකීම් බෙදාගැනීමට ඉගෙනගන්නන්ට ආරාධනා කරන්න.

  • ඉගෙනගන්නන්ට ශුද්ධලියවිලි වලින් ඉගෙනගැනීමට මෙසේ උදවු කරන්න:

    • අවශ්‍ය නම්, අර්ථවත් ඡේද සලකුණු කිරීමෙන්.

    • මෙනෙහි කිරීම සහ යාච්ඤාව තුළින් එළිදරව් සඳහා ආරාධනා කිරීමෙන්.

    • ආත්මික හැඟීම් ලිවීමෙන්.

    • අධ්‍යයන සඟරාවක් තබාගැනීමෙන්.

    • තමන් ඉගෙනගන්නා දේ මත ක්‍රියා කිරීමට ඉලක්ක තැබීමෙන්.

මුද්‍රණය කරන්න