සෙමනේරි සහ ආයතනික පන්ති
ආත්මයාණන්ගෙන් උගන්වන්න


“ආත්මයාණන්ගෙන් උගන්වන්න,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම: නිවසේ සහ සභාවේ උගන්වන සියල්ලන් සඳහා (2022)

“ආත්මයාණන්ගෙන් උගන්වන්න,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම

රූපය
ගැලවුම්කරුවාණන් යුදා පාළුකරයේ

ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ දේවසේවය සඳහා ආත්මිකව සූදානම් වීමට කාලය ගතකළා සේම, ආත්මයාණන් මගින් ඉගැන්වීමට අප සූදානම් විය යුතුය.

ආත්මයාණන්ගෙන් උගන්වන්න

ගැලවුම්කරුවාණන් ජෝසෆ් ස්මිත්ට සහ සිඩ්නි රිග්ඩන්ට තම ශුභාරංචිය දේශනා කරන ලෙස ආඥා කළ විට, උන්වහන්සේ ඔවුන්ට මෙසේ පොරොන්දු වූවේය, “නුඹලා කියන්නාවූ කවරාකරවූ සියලු දේවල් ශුද්ධාත්මයාණන්වහන්සේ සාක්ෂි දරමින් වගුරුවනු ලබන්නේය” (දහම සහ ගිවිසුම් 100:8; තවත් බලන්න දහම සහ ගිවිසුම් 42:15–17; 50:17–22). ඔබ ඇතුළු ශුභාරංචිය උගන්වන සියලුදෙනාටම එම පොරොන්දුව අදාළ වේ. ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය උගන්වන විට, ඔබට මගපෙන්වීමට සහ ඔබ උගන්වන අයගේ මනසට සහ හදවතට සත්‍යය ගැන සාක්ෂි දීමට ශුද්ධාත්මයාණන්වහන්සේව ඔබ සමඟ තබාගත හැකිය (බලන්න දහම සහ ගිවිසුම් 8:2). ඔබ උගන්වන විට ඔබ එය කරන්නේ තනිවම නොවේ, මන්ද “කථාකරන්නේ නුඹලා නොව ශුද්ධාත්මයාණන්වහන්සේය” (මාර්ක් 13:11).

ශුද්ධාත්මයාණන්වහන්සේ සැබෑ ගුරුවරයාය. සත්‍යය සාක්ෂි දැරීම, ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සාක්ෂි දීම, සහ හදවත් වෙනස් කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේගේ භූමිකාව ප්‍රතිස්ථාපනය කිරීමට, කොතරම් දක්ෂ හෝ පළපුරුදු වුවත්, කිසිඳු ලෞකික ගුරුවරයෙකුට නොහැකිය. නමුත් සියලුම ගුරුවරුන්ට දෙවියන්වහන්සේගේ දරුවන්ට ආත්මයාණන්ගෙන් ඉගෙනගැනීමට උපකාර කිරීමේ මෙවලම් විය හැකිය.

ආත්මයාණන්ගෙන් ඉගැන්වීමට

  • ඔබව ආත්මිකව සූදානම් කරගන්න.

  • ඉගෙනගන්නන්ගේ අවශ්‍යතා පිළිබඳ අධ්‍යාත්මික ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමට නිරතුරුව සූදානමින් සිටින්න.

  • ඉගෙනගන්නන්ට ශුද්ධාත්මයාණන්වහන්සේ මගින් ඉගෙනගැනීම සඳහා සැකසුම් සහ අවස්ථා නිර්මාණය කරන්න.

  • එළිදරව් සෙවීමට, හඳුනාගැනීමට, සහ ඒවා මත ක්‍රියාකිරීමට ඉගෙනගන්නන්ට උදවු කරන්න.

  • නිරතුරුව සාක්ෂි දරන්න, ඉගෙනගන්නන්ගේ හැඟීම්, අත්දැකීම්, සහ සාක්ෂි බෙදාගැනීමට ඔවුන්ව දිරිමත් කරන්න.

ගැලවුම්කරුවාණන් ඉගැන්වීමට උන්වහන්සේව ආත්මිකව සූදානම් කරගත්තේය

උන්වහන්සේගේ දේවසේවය සඳහා සූදානම් වීමට, “දෙවියන්වහන්සේ සමඟ සිටීමට” ගැලවුම්කරුවාණන් පාළුකරයේ දවස් 40 ක් ගතකළේය (බලන්න ජෝසෆ් ස්මිත් පරිවර්තනය, මතෙව් 4:1). නමුත් උන්වහන්සේගේ අධ්‍යාත්මික සූදානම බොහෝ කලකට පෙර ආරම්භ විය. සාතන් උන්වහන්සේව පරීක්ෂා කළ විට, උන්වහන්සේට ඒවා අවශ්‍ය වූ “ඒ පැය” සඳහා උන්වහන්සේ නිදන් කළ “ජීවනයේ වචන” ලබාගැනීමට උන්වහන්සේට හැකිවිය (දහම සහ ගිවිසුම් 84:85). ඉගැන්වීමට ඔබව ආත්මිකව සූදානම් කරගැනීම සඳහා ඔබ දරන උත්සාහයන් ගැන සිතන්න. ඔබගේ ආත්මික සූදානමේදී ඔබට ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කළ හැකි ආකාරය ගැන මතෙව් 4:1–11 වෙතින් ඔබ ඉගෙනගන්නේ මොනවාද?

ආත්මයාණන් සැබෑ ගුරුවරයා වන අතර හැරීමේ සැබෑ මූලාශ්‍රයද වේ. බලවත් ශුභාරංචි ඉගැන්වීමට අවශ්‍ය වන්නේ පාඩමක් සූදානම් කිරීම පමණක් නොවේ, නමුත් ඔබ ඉගැන්වීමට පටන්ගැනීමට පෙර හොඳින් ආත්මිකව සූදානම් වීමයි. ඔබ ආත්මිකව සූදානම් නම්, ඔබ උගන්වන විට ආත්මයාණන්ගේ මගපෙන්වීමට සවන්දීමට සහ ඒවා අනුගමනය කිරීමට ඔබට වඩාත් හොඳින් හැකිවනු ඇත. ඔබගේ ඉගැන්වීම් වලට ශුද්ධාත්මයාණන්ට ආරාධනා කිරීමේ මාර්ගය වන්නේ උන්වහන්සේව ඔබගේ ජීවිතයට ආරාධනා කිරීමයි. ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කිරීමට උත්සාහ කිරීම සහ උන්වහන්සේගේ ශුභාරංචිය තුළ ඔබේ මුළු හදවතින්ම ජීවත්වීම මෙයට ඇතුළත් වේ. එමෙන්ම අප කිසිවෙකුත් මෙය පරිපූර්ණ ලෙස නොකරන නිසා, එයින් අදහස් කරන්නේ සෑම දිනකම පසුතැවිලි වීමයි.

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න: ඉගැන්වීම සඳහා ආත්මිකව සූදානම් වීම යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද? ඔබ ආත්මිකව සූදානම් වන ආකාරය වැඩිදියුණු කිරීමට ඔබට ආනුභාවයෙන් හැඟෙන්නේ කුමක් කිරීමටද? ආත්මික සූදානමට ඔබේ ඉගැන්වීමෙහි වෙනසක් කළ හැකි යැයි ඔබ සිතන්නේ කෙසේද?

ශුද්ධලියවිලි වලින්: එස්රා 7:10; ලූක් 6:12; ඇල්මා 17:2–3, 9; දහම සහ ගිවිසුම් 11:21; 42:13–14

ගැලවුම්කරුවාණන් අන් අයගේ අවශ්‍යතා වලට ප්‍රතිචාර දැක්වීමට සැමවිටම සූදානම්ව සිටියේය

සිනගෝගයේ පාලකයා වූ යායිරස්, යේසුස්වහන්සේගේ පාමුල වැටී, මිය යන තම දියණියට උපකාර කරන ලෙස ඉල්ලා සිටියේය. යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් ජනාකීර්ණ වීදි හරහා යායිරස්ගේ නිවස දෙසට ගමන් කරමින් සිටියදී හදිසියේම යේසුස්වහන්සේ නතර විය. “මට අතගැසුවේ කවුද?” උන්වහන්සේ ඇසීය. එය අමුතු ප්‍රශ්නයක් ලෙස පෙනුණි—මිනිසුන්ගේ තදබදය මැද, උන්වහන්සේව ස්පර්ශ නොකළේ කවුද? නමුත් ගැලවුම්කරුවාණන්ට වැටහුණේ එම සමූහයා තුළ, යම් නිශ්චිත අවශ්‍යතාවයකින් සහ උන්වහන්සේ පිරිනමන සුවය ලබාගැනීමට ඇදහිල්ලෙන් යමෙක් උන්වහන්සේ වෙත ළඟා වූ බවයි. යායිරස්ගේ දියණිය වෙත යන්නට තව කල් තිබිණි. නමුත් පළමුවෙන් තම වස්ත්‍ර ස්පර්ශ කළ ස්ත්‍රියට උන්වහන්සේ මෙසේ පැවසුවේය, “දියණියනි, නුඹේ ඇදහිල්ල නුඹව සුවකෙළේය; සමාදානයෙන් පලයන්න” (බලන්න ලූක් 8:41–48).

ගුරුවරයෙකු වශයෙන්, ඔබ ඉගැන්වීමට සූදානම් කර ඇති දෙයක් ආවරණය කිරීමට ඔබ හදිසියක සිටින බව සමහරවිට ඔබට පෙනී යා හැකිය. එය වැදගත් විය හැකි වුවද, ඔබේ හදිසිය නිසා ඔබ නොදැනුවත්වම ඔබ උගන්වන කෙනෙකුගේ හදිසි අවශ්‍යතාවයක් පසුකර නොයන බවට වගබලාගන්න. ඔබ ඉගැන්වීමට සූදානම් වන විට ඔබ සෙවූ ආත්මික මගපෙන්වීමට අමතරව, ඔබ උගන්වන අතරතුර ආත්මයාණන්ගේ මගපෙන්වීමද සොයන්න. ඉගෙනගන්නන්ගේ අවශ්‍යතා, ප්‍රශ්න, සහ රුචිකත්වයන් පිළිබඳව දැනුවත් වීමට උත්සාහ කරන්න. ඔබ උගන්වා ඇති දෙයක් ඉගෙනගන්නෙකු ලබාගන්නේ හෝ තේරුම්ගන්නේ කෙසේද යන්න හඳුනාගැනීමට ශුද්ධාත්මයාණන්වහන්සේට ඔබට උපකාර කළ හැකිය. සමහර අවස්ථා වලදී, ඔබේ සැලසුම් වෙනස් කිරීමට උන්වහන්සේ ඔබව පොළඹවනු ඇත. උදාහරණයක් වශයෙන්, ඔබ යම් මාතෘකාවක් සඳහා අදහස් කළාට වඩා වැඩි කාලයක් ගතකිරීම, හෝ දැන් ඉගෙනගන්නන්ට වඩා වැදගත් දෙයක් සාකච්ඡා කිරීම සඳහා යමක් පසුව සාකච්ඡා කිරීමට කල්දැමීම සඳහා ඔබට පෙළඹවීමක් දැනිය හැකිය.

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න: ඉගෙනගන්නෙකු වශයෙන් ඔබේ අවශ්‍යතා පිළිබඳව දෙමාපියෙකු හෝ වෙනත් ගුරුවරයෙකු දැනසිටි බවක් ඔබට හැඟී ඇත්තේ කවදාද? පාඩමක් සම්පූර්ණ කිරීමට වඩා ඔබ ඔවුන්ගේ ඉගෙනීම ගැන උනන්දු වන බව ඔබ උගන්වන ඒ අය දන්නවාද? ඔබට ඔබේ උවමනාවන් වඩා හොඳින් සන්නිවේදනය කළ හැක්කේ කෙසේද?

ශුද්ධලියවිලි වලින්: 1 පේත්‍රැස් 3:15; ඇල්මා 32:1–9; 40:1; 41:1; 42:1

ගැලවුම්කරුවාණන් පුද්ගලයින්ට ශුද්ධාත්මයාණන් විසින් ඉගෙනගත හැකි අවස්ථා ලබාදුන්නේය

යේසුස්වහන්සේගේ කාලයේ සිටි බොහෝ දෙනෙකුට උන්වහන්සේ ඇත්තටම කවුදැයි තේරුම්ගැනීමට අපහසු වූ නමුත් ඒ සම්බන්ධව බොහෝ මතවාද එහි තිබුණි. “සමහරෙක්: යොහාන් බව්තීස්තය කියාද, අන් සමහරෙක්: එලියාය කියාද, තවත් අය: යෙරෙමියා නොහොත් අනාගතවක්තෘන්ගෙන් එක්කෙනෙක්ය කියාද” පවසන බව උන්වහන්සේගේ ගෝලයන් වාර්තා කළෝය. නමුත් පසුව යේසුස්වහන්සේ තම ගෝලයන්ට අන් අයගේ අදහස් පසෙකින් තබා, තමන්ගේම හදවත් දෙස බැලීමට ආරාධනා කළ ප්‍රශ්නයක් ඇසුවේය: “නුඹලා මා කවුරුය කියා කියනවාද?” උන්වහන්සේට අවශ්‍ය වූයේ ඔවුන් ඔවුන්ගේ පිළිතුර “මාංසය හා රුධිරයෙන්” නොව “ස්වර්ගයෙහි සිටින [උන්වහන්සේගේ] පියාණන්වහන්සේගෙන්” සෘජුවම සොයාගැනීමයි. එය මේ ආකාරයේ සාක්ෂියකි—එනම් “ඔබ ක්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය” යනුවෙන් ප්‍රකාශ කිරීමට පේත්‍රැස්ට හැකිවූ—ශුද්ධාත්මයාණන්ගෙන් ලැබූ පුද්ගලික එළිදරව්වකි (බලන්න මතෙව් 16:13–17).

පසුදවස් වල ආත්මිකව ජීවත් වීමට නම්, ඔබ උගන්වන පුද්ගලයින්ට සත්‍යය පිළිබඳ ආත්මික සාක්ෂියක් අවශ්‍ය වනු ඇත. ඔබට එය ඔවුන්ට ලබා දිය නොහැක, නමුත් එය සෙවීමට ඔවුන්ට ආරාධනා කිරීමට, ධෛර්යමත් කිරීමට, පෙළඹවීමට, සහ ඉගැන්වීමට ඔබට හැකිය. ශුභාරංචිය ඉගෙනීම සඳහා ශුද්ධාත්මයාණන් කෙතරම් තීරණාත්මකද යන්න—ඔබේ වචන සහ ක්‍රියාවන් තුළින්—ඔබට පැහැදිලි කළ හැකිය. උදාහරණයක් ලෙස, ඔබ නිර්මාණය කරන සහ දිරිමත් කරන ඉගෙනුම් පරිසරය පිළිබඳව සලකා බලන්න. කාමරයක පුටු සැකසීම හෝ ඔබ ආචාර කරන ආකාරය සහ ඉගෙනගන්නන් සමඟ සම්බන්ධ වන ආකාරය වැනි සරල දෙයක් ඉගෙනගන්නන්ට ලබාගන්නා අත්දැකීම සඳහා ආත්මිකභාවයක් සකසයි. ඔබ ඉගැන්වීමට ආත්මිකව සූදානම් වනවා සේම, ඉගෙනීමට ආත්මිකව සූදානම් වන ලෙස ඔබට ඉගෙනගන්නන්ටද ආරාධනා කළ හැකිය. ඔවුන් රැගෙන එන ආත්මයේ වගකීම භාරගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. තවද ආත්මයාණන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය ගැන සාක්ෂි දෙන බව දැනෙන්නට ඔබට ඔවුන් වෙනුවෙන් අවස්ථා සපයාදිය හැකිය. එම සාක්ෂිය ඔවුන්ට “පර්වතයක්” බවට පත්වනු ඇත, “නිරයේ දොරටු [ඔවුන්ට] එරෙහිව නොපවතිනු ඇත” (මතෙව් 16:18).

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න: ශුභාරංචිය ඉගෙනීම සඳහා අධ්‍යාත්මික පරිසරයකට දායක වන කුමන දේවල් ඔබ නිරීක්ෂණය කර තිබෙනවාද? එයින් ඔබව ඈත් කරන්නේ කුමන දේවල්ද? ඔබ උගන්වන පුද්ගලයින්ට ආත්මයාණන්ගෙන් ඉගෙනගැනීමට උපකාර කරන්නේ කුමන දේවල්ද? ඔබ බොහෝ විට උගන්වන ස්ථානයේ සැකසුම ගැන සිතන්න. ඔබ එහි සිටින විට ඔබට හැඟෙන්නේ කෙසේද? ආත්මයාණන්ට එහි පැමිණ සිටින ලෙස ඔබට වඩාත් ඵලදායී ලෙස ආරාධනා කළ හැක්කේ කෙසේද?

ශුද්ධලියවිලි වලින්: ලූක් 24:31–32; යොහාන් 14:26; 16:13–15; මොරෝනි 10:4–5; දහම සහ ගිවිසුම් 42:16–17; 50:13–24

රූපය
ධර්මදූතයින් පවුලකට උගන්වමින්

අප උගන්වන විට, සත්‍යය පිළිබඳ ඔවුන්ගේම අධ්‍යාත්මික සාක්ෂිය සෙවීමට අපට ඉගෙනගන්නන්ට ආරාධනා කළ හැකිය.

ගැලවුම්කරුවාණන් අන් අයට පුද්ගලික එළිදරව් සෙවීමට, හඳුනාගැනීමට, සහ ඒවා මත ක්‍රියාකිරීමට උපකාර කළේය

ස්වාමින්වහන්සේට අප සමඟ සන්නිවේදනය කිරීමට අවශ්‍ය වන අතර—උන්වහන්සේ අප සමඟ සන්නිවේදනය කරන බව අප දැනගැනීම උන්වහන්සේට අවශ්‍යය. 1829 දී, ඔලිවර් කව්ඩ්‍රි නම් 22 හැවිරිදි පාසල් ගුරුවරයා විසින් ඕනෑම කෙනෙකුට පුද්ගලික එළිදරව් ලබාගත හැකි නිර්භීත, උද්යෝගිමත් දහම ගැන ඉගෙනගනිමින් සිටියේය. නමුත් අපෙන් බොහෝ දෙනෙක් අසා ඇති ප්‍රශ්න වලට සමාන ප්‍රශ්න ඔහුට තිබිණි: “ඇත්තටම ස්වාමින්වහන්සේ මට කතා කිරීමට උත්සාහ කරනවාද? එමෙන්ම උන්වහන්සේ පවසන දේ මම දැනගන්නේ කෙසේද?” මෙම ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සඳහා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔලිවර්ට අධ්‍යාත්මික සෙවීමේ පුද්ගලික මොහොතක් ගැන නැවත සිතා බැලීමට ආරාධනා කළේය. “නුඹගේ මනසට සමාදානය ලැබෙන පිණිස මා නුඹ හට කතා නොකළේද?” ලෙස උන්වහන්සේ ඇසුවේය (බලන්න දහම සහ ගිවිසුම් 6:21–24). පසුව, ආත්මයාණන්ට ඔහුට කතා කළ හැකි ආකාර ගැන උන්වහන්සේ ඔලිවර්ට ඉගැන්වුවේය (බලන්න දහම සහ ගිවිසුම් 8:2–3; 9:7–9; තවත් බලන්න දහම සහ ගිවිසුම් 11:12–14).

බොහෝ විට අධ්‍යාත්මික දේවල් නොසලකා හරින ලෝකයක ජීවත් වන අප සැමට ආත්මයාණන්ගේ හඬ හඳුනාගැනීමට උපකාර අවශ්‍ය වේ. අපට නොදැනුවත්වම ආත්මයාණන්ව දැනෙන්නට ඇත. එමෙන්ම ආත්මයාණන්ව සොයන්නේ, උන්වහන්සේගේ බලපෑම හඳුනාගන්නේ, සහ උන්වහන්සේ අපට ලබාදෙන පෙළඹවීම් මත ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව අප සැමට තව තවත් ඉගෙනගත හැකිය. ඔබ උගන්වන විට, ආත්මයාණන්ට සන්නිවේදනය කළ හැකි ආකාර—සහ උන්වහන්සේ ඔවුන් සමඟ සන්නිවේදනය කර ඇති ආකාර සොයාගැනීමට ඉගෙනගන්නන්ට උපකාර කරන්න. ගුරුවරයෙකු ලෙස ඔබට දිය හැකි ලොකුම ත්‍යාගයක් නම්, ඔබ උගන්වන අයට මෙම ජීවිත කාලය පුරාම පුද්ගලික එළිදරව් ලබාගැනීමේ ප්‍රගතිය සඳහා උපකාර කිරීමයි.

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න: පුද්ගලික එළිදරව් ලබාගැනීමට ඉගෙනගැනීම වැදගත් වන්නේ ඇයි? එළිදරව් සොයන්නේ සහ හඳුනාගන්නේ කෙසේද යන්න තේරුම්ගැනීමට යමෙකු ඔබට කවදා හෝ උපකාර කර තිබේද? ශුද්ධාත්මයාණන්ගෙන් එළිදරව් කිරීම් සෙවීමට, ඒවා හඳුනාගැනීමට, සහ ඒ අනුව ක්‍රියා කිරීමට ඔබ උගන්වන අයව දිරිමත් කරන්නේ කෙසේද?

ශුද්ධලියවිලි වලින්: ගලාති 5:22–23; ඇල්මා 5:45–47; දහම සහ ගිවිසුම් 42:61; 121:33; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:8–20

ගැලවුම්කරුවාණන් තමා ඉගැන්වූ අයට සාක්ෂි දැරීය

ඉගැන්වීමේ සහ දේවසේවයේ සුවිශේෂී මුදු මොළොක් මොහොතකදී, තම සහෝදරයා මිය ගිය තම මිතුරිය වූ මාර්තාව සැනසීමට යේසුස්වහන්සේ උත්සාහ කළේය. උන්වහන්සේ ඇය සමඟ සදාකාලික සත්‍යයක් පිළිබඳ සරල සාක්ෂියක් බෙදාගත්තේය: “නුඹේ සහෝදරයා නැවත නැගිටින්නේය” (යොහාන් 11:23). උන්වහන්සේගේ සාක්ෂිය මාර්තාව ඇගේම සාක්ෂිය බෙදාගැනීමට පොළඹවා ඇත: “අන්තිම දවසේ නැවත-නැගිටීමේදී ඔහු නැවත නැගිටින බව දනිමි” (යොහාන් 11:24). යොහාන් 11:25–27 හි මෙම රටාව පුනරාවර්තනය වන ආකාරය සැලකිල්ලට ගන්න. ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය ගැන ඔබව පුදුමයට පත්කරන්නේ මොනවාද? ශුභාරංචි සත්‍යයන් පිළිබඳ සාක්ෂි බෙදාගැනීම ඉගැන්වීමේ එතරම් වැදගත් කොටසක් වන්නේ ඇයි?

ඔබ උගන්වන අය කෙරෙහි ඔබේ සාක්ෂිය බලවත් බලපෑමක් ඇතිකළ හැකිය. එය වාචික හෝ දිගු වීම අවශ්‍ය නොවේ. තවද එය “මම මගේ සාක්ෂිය දැරීමට කැමැත්තෙමි” යනුවෙන් ආරම්භ කිරීම අවශ්‍ය නොවේ. ඔබ දන්නා දේ සරලව ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් බෙදාගන්න. සත්‍යයේ සාක්ෂියක් වඩාත් බලවත් වන්නේ එය සෘජු හා හෘදයාංගම වූ විටය. ගැලවුම්කරුවාණන්, උන්වහන්සේගේ ශුභාරංචිය, සහ ඔබේ ජීවිතය තුළ උන්වහන්සේගේ බලය ගැන නිරතුරුව සාක්ෂි දරන්න, එමෙන්ම ඔබ උගන්වන අයටත් එසේ කිරීමට දිරිගන්වන්න. ඒවගේම සමහරවිට බලවත්ම සාක්ෂිය බෙදාගනු ලැබෙන්නේ ගුරුවරයා විසින් නොව සෙසු ඉගෙනගන්නෙකු විසින් බව මතකතබාගන්න.

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න: සාක්ෂි දරන කෙනෙකුගේ බලවත් බලපෑම නිදර්ශනය කරන ශුද්ධලියවිලි උදාහරණ සොයන්න. එම උදාහරණ වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? යමෙකුගේ සාක්ෂියෙන් ඔබ ආශිර්වාද ලබා ඇත්තේ කවදාද? ඔබේ සාක්ෂිය බෙදාගැනීම ඔබ උගන්වන අයට බලපා ඇත්තේ කෙසේද? එය ඔබට බලපා ඇත්තේ කෙසේද?

ශුද්ධලියවිලි වලින්: ක්‍රියා 2:32–38; මොසායා 5:1–3; ඇල්මා 5:45–48; 18:24–42; 22:12–18; දහම සහ ගිවිසුම් 46:13–14; 62:3

ඔබ ඉගෙනගන්නා දේ අදාළ කරගැනීමට ක්‍රම කිහිපයක්

  • ඔවුන් දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යයනය කරන විට ශුද්ධාත්මයාණන් ඔවුන්ට ඉගැන්වූ දේ බෙදාගැනීමට ඉගෙනගන්නන්ගෙන් ඉල්ලා සිටින්න.

  • ඉගැන්වීමේදී අධ්‍යාත්මික පෙළඹවීම් ලබාගැනීමට සූදානමින් සිටින්න.

  • ඔබ සූදානම් වන විට පැමිණෙන අධ්‍යාත්මික හැඟීම් ලියන්න.

  • ආත්මයාණන් ඔවුන්ට උගන්වන දේ නිහඬව මෙනෙහි කිරීමට පන්තියේ සාමාජිකයින්ට අවස්ථා සලසා දෙන්න.

  • ආත්මයාණන්ගේ බලපෑමට ආරාධනා කිරීම සඳහා ශුද්ධ වූ සංගීතය සහ පින්තූර භාවිතා කරන්න.

  • ඔබ සැලසුම් කරන විට සහ උගන්වන විට පෙළඹවීම් වලට සවන්දෙන්න, එමෙන්ම ඔබේ සැලසුම් සීරුමාරු කිරීමට කැමැත්තෙන් සිටින්න.

  • සියලුම ඉගෙනගන්නන්ට තමන් ඉගෙනගන්නා දේ ගැන සාක්ෂි දැරීමට අවස්ථාව සලසා දෙන්න.

  • ආත්මයාණන් දැනෙන විට අන් අයට එය හඳුනාගැනීමට උපකාර කරන්න.

  • ඔබ උගන්වන සත්‍යයන් ගැන සාක්ෂි දැරීමට හැකිවන පරිදි ජීවත් වන්න.

  • ක්ෂණික, අවිධිමත් අවස්ථාවන්හිදී ඉගැන්වීම සඳහා පෙළඹවීම් අනුගමනය කරන්න.

මුද්‍රණය කරන්න