සෙමනේරි සහ ආයතනික පන්ති
දහම උගන්වන්න


“දහම උගන්වන්න,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම: නිවසේ සහ සභාවේ උගන්වන සියල්ලන් සඳහා (2022)

“දහම උගන්වන්න,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වයස අවුරුදු 12දී දේවමාළිගාවේ උගන්වමින්

හෙන්රිච් හොෆ්මන් විසින්, Christ in the Temple [ක්‍රිස්තුස්වහන්සේ දේවමාළිගාවේ]

දහම උගන්වන්න

යේසුස්වහන්සේ සිය ජීවිත කාලය පුරාම ප්‍රඥාවෙන් හා දැනුමෙන් වැඩුණත්, උන්වහන්සේගේ කාලයේ සිටි අනෙකුත් ආගමික නායකයන් මෙන් ඔහු විධිමත් ලෙස අධ්‍යාපනය ලැබුවේ නැත. එහෙත්, උන්වහන්සේ ඉගැන්වූ විට, මිනිසුන් පුදුම වී, මෙසේ ඇසුවෝය, “කිකිසිකලක ඉගෙන නොගත්තාවූ මොහු ලියවිලි දන්නේ කොහොමද?” උන්වහන්සේගේ ඉගැන්වීම් මෙතරම් බලවත් වූයේ ඇයි? “එහෙත් මාගේ ඉගැන්වීම මාගේ නොව මා එවූ තැනන්වහන්සේගේය” කියමින් ගැලවුම්කරුවාණන් පැහැදිලි කළේය (යොහාන් 7:15–16). දහම යනු—ශුද්ධලියවිලි සහ පසුදවස් වල අනාගතවක්තෘවරුන්ගේ වචන වල දක්නට ලැබෙන—අපට ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේ මෙන් වීමට සහ උන්වහන්සේ වෙතට නැවත පැමිණීමට මාර්ගය පෙන්වා දෙන—සදාකාලික සත්‍යයයි. ඔබ ගුරුවරයෙකු ලෙස කෙතරම් පළපුරුදු වුවත්, පියාණන්වහන්සේගේ දහම ඉගැන්වීමෙන්, ගැලවුම්කරුවාණන් කළාක් මෙන්, ඔබට බලයෙන් යුතුව ඉගැන්විය හැකිය. ඔබගේ ඉගැන්වීම් සහ ඉගෙනීම උන්වහන්සේගේ වචනය මත පදනම් වී ඇති විට, දෙවියන්වහන්සේ එවන ආශිර්වාද ගැන ඔබ සහ ඔබ උගන්වන අය මවිතයට පත්වනු ඇත.

දහම ඉගැන්වීමට

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහම ඔබ වෙනුවෙන් ඉගෙනගන්න.

  • ශුද්ධලියවිලි වලින් සහ පසුදවස් වල අනාගතවක්තෘවරුන්ගේ වචන වලින් ඉගෙනගන්න.

  • ඉගෙනගන්නන්ට ශුද්ධලියවිලි වල සත්‍ය සෙවීමට, ඒවා හඳුනාගැනීමට, සහ තේරුම්ගැනීමට උදවු කරන්න.

  • හැරීමට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගොඩනගාගැනීමට තුඩුදෙන සත්‍යයන් කෙරෙහි අවධානය යොමුකරන්න.

  • ඉගෙනගන්නන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ පුද්ගලික අදාළත්වය සොයාගැනීමට උපකාර කරන්න.

ගැලවුම්කරුවාණන් දහම ඉගෙනගත්තේය

ගැලවුම්කරුවාණන් තම තරුණ අවධියේදී “ප්‍රඥාවෙන් හා … දෙවියන්වහන්සේගේ කරුණාවෙහි” වර්ධනය වෙමින් ශුද්ධලියවිලි වලින් ඉගෙනගත් බව පැහැදිලිව පෙනෙන්නට ඇත (ලූක් 2:52). පියාණන්වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ උන්වහන්සේගේ ගැඹුරු අවබෝධය පැහැදිලි වූයේ, උන්වහන්සේගේ දෙමාපියන් උන්වහන්සේව කුඩා කාලයේදීම දේවමාළිගාවේදී යුදෙව් ගුරුවරුන්ට උගන්වමින් සහ ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සිටිද්දී සොයාගත් විටය (බලන්න ජෝසෆ් ස්මිත් පරිවර්තනය, ලූක් 2:46). පසුව, සාතන් පාළුකරයේදී උන්වහන්සේ කෙරෙහි දැඩි පරීක්ෂාවක් ඉදිරිපත් කළ විට, ශුද්ධලියවිලි වල ඇති දහම පිළිබඳ යේසුස්වහන්සේගේ දැනුම එම පරීක්ෂාවට එරෙහි වීමට උන්වහන්සේට උපකාරී විය (බලන්න ලූක් 4:3–12).

සැබෑ දහම ඉගැන්වීමට පෙර ඔබටත් එය වඩාත් ගැඹුරින් ඉගෙනගැනීමට උත්සාහ කළ හැකිය. ඔබ අන් අය සමඟ ඉගැන්වීමට සහ ඉගෙනීමට සූදානම් වන විට, ඔබ උගන්වන සත්‍යයන් පිළිබඳව ස්වාමින්වහන්සේ පවසා ඇති දේ පිළිබඳව හොඳින් සොයා බලන්න. පැහැදිලි කිරීම් සහ උපදෙස් සඳහා ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ ශුද්ධලියවිලි සහ වචන සොයන්න. ඔබ අධ්‍යයනය කරන සත්‍යයන් අනුව ජීවත්වීම සහ ඒවා ක්‍රියාවට නැංවීම මගින්, ඔබට දහම වඩාත් ගැඹුරු ආකාරයෙන් ඉගැන්වීමට සහ ඔබ උගන්වන අයගේ හදවත් තුළ එම දහමේ සත්‍යතාව තහවුරු කිරීමට ආත්මයාණන්ට ආරාධනා කරනු ඇත.

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න: ඔබ වෙනුවෙන් ශුභාරංචි සත්‍යයන් අවබෝධ කරගැනීම වැදගත් වන්නේ ඇයි? ඔබ ශුභාරංචියේ සත්‍යයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගෙන ඇත්තේ කෙසේද? ශුද්ධලියවිලි සහ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ වචන පිළිබඳ ඔබේ අධ්‍යයනය වැඩිදියුණු කරගැනීම සඳහා කිරීමට ඔබට දැනෙන පෙළඹවීම් මොනවාද?

ශුද්ධලියවිලි වලින්: හිතෝපදේශ 7:1–3; 2 නෙපි 4:15–16; දහම සහ ගිවිසුම් 11:21; 88:118

ගැලවුම්කරුවාණන් ශුද්ධලියවිලි තුළින් ඉගැන්වුවේය

ගැලවුම්කරුවාණන්ගේ මරණයෙන් පසු, උන්වහන්සේගේ ගෝලයන් දෙදෙනෙක් ඔවුන්ගේ හදවත් තුළ ශෝකය හා විස්මය මුසුව කතා කරමින් ඇවිද යමින් සිටියහ. ඉතා මෑතකදී සිදුවූ මේ දෙය ඔවුන් තේරුම්ගන්නේ කෙසේද? ඔවුන්ගේ ගැලවුම්කරුවාණන් යැයි ඔවුන් විශ්වාස කළ, නාසරෙත්හි යේසුස්වහන්සේ මියගොස් දැන් දින තුනක් ගතවී ඇත. එමෙන්ම උන්වහන්සේගේ සොහොන් ගෙය හිස් වූ බවට වාර්තා විය, උන්වහන්සේ ජීවමාන බව දේවදූතයන් ප්‍රකාශ කළේය! මෙම ගෝලයන්ගේ ඇදහිල්ලේ මෙම තීරණාත්මක අවස්ථාවෙහිදී, ආගන්තුකයෙකු ඔවුන්ගේ ගමනට සම්බන්ධ විය. “සියලු ශුද්ධලියවිලි වල [ගැලවුම්කරුවාණන්] ගැන තිබුණු කාරණා ඔවුන්ට තෝරා[දෙමින්]” ඔහු ඔවුන්ව සැනසුවේය. අවසානයේදී, තම ගුරුවරයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේම බවත් උන්වහන්සේ සැබවින්ම මරණයෙන් නැවත නැගිට ඇති බවත් සංචාරකයින් තේරුම්ගත්හ. ඔවුන් උන්වහන්සේව හඳුනාගත්තේ කෙසේද? “උන්වහන්සේ අප සමඟ මගදී කථාකළ කල්හිත් ලියවිලි අපට තෝරාදුන් කල්හිත් අපේ සිත් දෑවා නොවේදැයි” කියා ඔවුන් පසුව කල්පනා කළෝය (ලූක් 24:27, 32).

වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් මෙසේ ඉගැන්වූවේය, “ශුද්ධලියවිලි සියල්ලේ කේන්ද්‍රීය අරමුණ වන්නේ අපගේ ප්‍රාණය පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් පුරවාලීමයි” (“The Blessing of Scripture,” Liahona, May 2010, 34). යේසුස්වහන්සේ තම දේවසේවය පුරාවටම අනෙක් අයට ඉගැන්වීමට, ඔවුන්ව නිවැරදි කිරීමට, සහ පෙළඹවීමට ශුද්ධලියවිලි භාවිතා කළේය. ඔබේ ඉගැන්වීම් ශුද්ධලියවිලි සහ අනාගතවක්තෘවරුන්ගේ වචන වලින් ඉවතට නොයන බවට වගබලාගන්න. ඔබගේ ඉගැන්වීම් වලදී ඔබ ඇදහිලිවන්තව දෙවියන්වහන්සේගේ වචනය මත රඳා සිටින විට, ගැලවුම්කරුවාණන් කළ දේම අන් අය වෙනුවෙන් ඔබටත් කළ හැකිය. උන්වහන්සේව දැනගැනීමට ඔබට ඔවුන්ට උපකාර කළ හැකිය, මන්ද අප සැමට ගැලවුම්කරුවාණන් කෙරෙහි අපගේ ඇදහිල්ල නිතිපතා ශක්තිමත් කරගැනීම අවශ්‍ය වේ. ශුද්ධලියවිලි සඳහා ඔබේ ආදරය ඔබ උගන්වන අයට පැහැදිලි වනු ඇත, ඔබේ ඉගැන්වීම් පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ පිළිබඳ සාක්ෂියකින් ඔවුන්ගේ හදවත් දැවෙන පරිදි ආත්මයාණන්ට ආරාධනා කරනු ඇත.

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න: ගැලවුම්කරුවාණන්ව වඩාත් හොඳින් දැන හඳුනාගැනීමට ඔබට උපකාර කිරීම සඳහා ශුද්ධලියවිලි භාවිතා කළ ගුරුවරයෙකුගෙන් ඔබට පෙළඹීම් ලැබී ඇත්තේ කෙසේද? ඔබ උගන්වන විට ශුද්ධලියවිලි සහ අනාගතවක්තෘවරුන්ගේ වචන මත වැඩිපුර රැඳීමට ඔබට කුමක් කළ හැකිද? ඔබ උගන්වන අයට දෙවියන්වහන්සේගේ වචනය දැනගැනීමට හා ඒවාට ආදරය කිරීමට ඔබට උපකාර කළ හැක්කේ කෙසේද?

ශුද්ධලියවිලි වලින්: ලූක් 4:14–21; ඇල්මා 31:5; හිලමන් 3:29–30;3 නෙපි 23

ගැලවුම්කරුවාණන් සත්‍යය සෙවීමට, හඳුනාගැනීමට, සහ තේරුම්ගැනීමට පුද්ගලයින්ට උපකාර කළේය

වරක් නීතීඥයෙක් යේසුස් වහන්සේගෙන් මෙසේ ඇසුවේය, “ආචාරිනි, සදාකාල ජීවනය උරුමකරගන්නා පිණිස මා විසින් කුමක් කළ යුතුද?” ප්‍රතිචාර වශයෙන්, ගැලවුම්කරුවාණන් ප්‍රශ්න කරන්නාව ශුද්ධලියවිලි වෙත මගපෙන්වීය: “ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන්නේ කිමෙක්ද? නුඹ කියවන්නේ කෙසේද?” මෙය මේ මිනිසාව යොමුකළේ—“නුඹේ දෙවිවූ ස්වාමින්වහන්සේටත් … නුඹේ අසල්වාසියාටත් ප්‍රේමකරව” යන ඔහුගේ පිළිතුර වෙත පමණක් නොවේ—නමුත් තවත් ප්‍රශ්නයකටද ඔහුව එය යොමුකළේය: “මාගේ අසල්වාසියා කවුද?” ගැලවුම්කරුවාණන් මෙම ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ අවශ්‍යතා ඇති සෙසු සංචාරකයෙකු දුටු මිනිසුන් තිදෙනෙකු පිළිබඳ උපමාවකිනි. ඔහු පැමිණි ස්ථානය නිසා යුදෙව්වන් විසින් වෛර කරන ලද සමරිතානු ජාතිකයෙකු වූ, ඒ තිදෙනාගෙන් එක් අයෙකු පමණක් උපකාර කිරීමට නතර විය. එවිට යේසුස්වහන්සේ එම නීතිඥවරයාට ඔහුගේම ප්‍රශ්නයට පිළිතුරු දීමට ආරාධනා කළේය: “දැන් මොවුන් තුන්දෙනාගෙන් අසල්වාසියා වුණේ කවරෙකු කියා නුඹ සිතන්නෙහිද?” (බලන්න ලූක් 10:25–37).

සෙවීමට, මෙනෙහි කිරීමට, සහ සොයාගැනීමට ආරාධනා සමඟ ප්‍රශ්න වලට ප්‍රතිචාර දක්වමින්—ගැලවුම්කරුවාණන් මේ ආකාරයෙන් ඉගැන්වූයේ ඇයි කියා ඔබ සිතන්නේද? එම පිළිතුරේ කොටසක් වන්නේ, සත්‍යය සෙවීමේ උත්සාහය ස්වාමින්වහන්සේ අගය කරන බවයි. “සොයාපල්ලා, එවිට නුඹලාට සම්බ වේ,” යනුවෙන් උන්වහන්සේ නැවත නැවතත් ආරාධනා කර ඇත (උදාහරණ ලෙස, බලන්න, මතෙව් 7:7; ලූක් 11:9; දහම සහ ගිවිසුම් 4:7). උන්වහන්සේ සොයන්නාගේ ඇදහිල්ලේ සහ ඉවසීමේ ක්‍රියාවන්ට විපාක දෙන සේක.

ගැලවුම්කරුවාණන් මෙන්, ඔබ උගන්වන අයට සත්‍යය හඳුනාගැනීමට සහ තේරුම්ගැනීමට ඔබට උපකාර කළ හැකිය. නිදසුනක් වශයෙන්, ශුද්ධලියවිලි වල ශුභාරංචි සත්‍යයන් පිරී ඇත, නමුත් සමහරවිට ඒවා සොයාගැනීමට සවිඥානක උත්සාහයක් අවශ්‍ය වේ. ඔබ එකට එක්ව ශුද්ධලියවිලි වලින් ඉගෙනගන්නා විට, මදක් නැවතී ඔවුන් දකින ශුභාරංචි සත්‍යයන් මොනවාදැයි ඔබ උගන්වන අයගෙන් විමසන්න. මෙම සත්‍යයන් ස්වර්ගික පියාණන්වහන්සේගේ ගැලවීමේ සැලැස්මට සම්බන්ධ වන්නේ කෙසේදැයි බැලීමට ඔවුන්ට උපකාර කරන්න. සමහර අවස්ථා වල සදාකාලික සත්‍යයන් ශුද්ධලියවිලි වල ප්‍රකාශ කර ඇති අතර, තවත් සමහර අවස්ථා වල ඒවා අප කියවන මිනිසුන්ගේ කථා සහ ජීවිත වල නිරූපණය වෙයි. ඔබ කියවන පද වල ඓතිහාසික පසුබිම මෙන්ම, එම පද වල අර්ථය සහ ඒවා අද අපට අදාළ වන ආකාරයද එකට එකතුවී ගවේෂණය කිරීම ප්‍රයෝජනවත් විය හැකිය.

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න: ඔබ ශුද්ධලියවිලි වල හෝ අනාගතවක්තෘවරුන්ගේ වචන වල සදාකාලික සත්‍යයන් හඳුනාගන්නේ කෙසේද? එම සත්‍යයන් ඔබේ ජීවිතයට ආශිර්වාද කරන්නේ කෙසේද? ඉගෙනගන්නන්ට අර්ථවත් වන සත්‍යයන් හඳුනාගැනීමට සහ තේරුම්ගැනීමට එමෙන්ම ඔවුන්ව දෙවියන්වහන්සේට සමීප කරවීමට ඔබට උපකාර කළ හැකි ක්‍රම මොනවාද?

ශුද්ධලියවිලි වලින්: යොහාන් 5:39; 1 නෙපි 15:14; දහම සහ ගිවිසුම් 42:12

රූපය
ඉගෙනුම ලබන සිසුන්

අපි උගන්වන අයට ඔවුන් විසින්ම සත්‍යය සොයාගැනීමට සහ හඳුනාගැනීමට අපට උපකාර කළ හැකිය.

ගැලවුම්කරුවාණන් හැරීමට සහ ඇදහිල්ල ගොඩනගාගැනීමට තුඩුදෙන සත්‍යයන් ඉගැන්වුවේය

එක් සබත් දිනක, ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ගෝලයන් කුසගින්න දැනෙමින්, කෙතක් පසුකර යමින් සිටියදී ධාන්‍ය අනුභව කිරීමට පටන් ගත්හ. මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සියුම් කරුණු අවධාරණය කිරීමට සැමවිටම උනන්දු වූ පරිසිවරු, ධාන්‍ය එකතු කිරීම තාක්‍ෂණිකව සබත් දිනයේ තහනම් කරන ලද කාර්යයක් බව පෙන්වා දුන්හ (බලන්න මාර්ක් 2:23–24). මොර්මොන්ගේ පොතේ අනාගතවක්තෘ යාකොබ්ගේ වාක්‍ය ඛණ්ඩය භාවිතා කරනවා නම්, පරිසිවරු “සලකුණ අභිබවා බලා සිටියහ” (යාකොබ් 4:14). වෙනත් වචන වලින් කිවහොත්, ඔවුන් ආඥා පිළිබඳ සම්ප්‍රදායික අර්ථ දැක්වීම් කෙරෙහි කෙතරම් අවධානය යොමුකළේද යත්, එම ආඥා වල දිව්‍යමය අරමුණ වූ—අපව දෙවියන්වහන්සේ වෙතට ලං කිරීම—ඔවුන්ට මගහැරී ගියේය. ඇත්තවශයෙන්ම, සබතට ගෞරව කිරීමට ආඥා කළ තැනැත්තා තමන් ඉදිරියෙහි සිටින බව පවා පරිසිවරුන් දැන සිටියේ නැත.

ගැලවුම්කරුවාණන් තම දිව්‍යමය අනන්‍යතාවය ගැන සාක්ෂි දීමට සහ සබත වැදගත් වන්නේ මන්දැයි ඉගැන්වීමට මෙය අවස්ථාවක් කරගත්තේය. එය සබත් දවසේ ස්වාමින් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට නමස්කාර කිරීම සඳහා දිනයක් ලෙස අප වෙනුවෙන් නිර්මාණය කර ඇත (බලන්න මාර්ක් 2:27–28). දෙවියන්වහන්සේගේ ආඥා අපගේ බාහිර හැසිරීම් වලට වඩා වැඩි යමක් බව තේරුම්ගැනීමට එවැනි සත්‍යයන් අපට උපකාර කරයි. ඒවා ලබාදී ඇත්තේ අපගේ හදවත් වෙනස් කිරීමට සහ වඩාත් පූර්ණ ලෙස හැරීමට අපට උපකාර කිරීම සඳහායි.

ඔබ අවධානය යොමුකිරීමට තීරණය කරන දහම සහ මූලධර්ම ප්‍රවේශමෙන් සලකා බලන්න. ශුද්ධලියවිලි වල සාකච්ඡා කළ හැකි බොහෝ සත්‍යයන් තිබුණද, හැරීමට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගොඩනැගීමට තුඩුදෙන ශුභාරංචි සත්‍යයන් කෙරෙහි අවධානය යොමුකිරීම වඩාත් සුදුසුය. ගැලවුම්කරුවාණන් ඉගැන්වූ සහ ආදර්ශමත්ව පෙන්වූ සරල, මූලික සත්‍යයන් වන—උන්වහන්සේගේ වන්දිගෙවීම, ගැලවීමේ සැලැස්ම, දෙවියන්වහන්සේට සහ අපගේ අසල්වැසියාට ප්‍රේම කිරීම වැනි ආඥාවන් වලට අපගේ ජීවිත වෙනස් කිරීමට ශ්‍රේෂ්ඨතම බලය ඇත. මෙම සත්‍යයන් ඔබ උගන්වන අයගේ හදවත් වල ගැඹුරට යාමට උපකාර කරමින්, ඒවා පිළිබඳ සාක්ෂි දැරීමට ආත්මයාණන්ට ආරාධනා කරන්න.

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට හැරීමට සහ උන්වහන්සේ කෙරෙහි වැඩි විශ්වාසයක් ඇතිකරගැනීමට ඔබට උපකාර වූ ශුභාරංචි සත්‍යයන් මොනවාද? ශුභාරංචියේ අත්‍යවශ්‍ය සත්‍යයන් කෙරෙහි අවධානය යොමුකිරීමට ගුරුවරයෙකු ඔබට උපකාර කර ඇත්තේ කෙසේද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට වඩාත් ගැඹුරින් හැරීමට අන් අයට උපකාර වන කුමන දේවල් ඔබට ඉගැන්විය හැකිද?

ශුද්ධලියවිලි වලින්: 2 නෙපි 25:26; 3 නෙපි 11:34–41; දහම සහ ගිවිසුම් 19:31–32; 68:25–28; 133:57; මෝසෙස් 6:57–62

ගැලවුම්කරුවාණන් පුද්ගලයින්ට තම දහමේ පුද්ගලික අදාළත්වය සොයාගැනීමට උපකාර කළේය

“මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේය” කියමින්—මෙය ආත්මික ගුරුවරයෙකුට සුදුසු හැසිරීමක් නොවන බව අඟවමින් පරිසිවරු යේසුස්වහන්සේ ගැන පැමිණිලි කළහ (ලූක් 15:2). මෙය ඔවුන්ට ගැඹුරු ආත්මික සත්‍යයන් කිහිපයක් ඉගැන්වීමට අවස්ථාවක් බව යේසුස්වහන්සේ දුටුවේය. උන්වහන්සේ එය කළේ කෙසේද? අපිරිසිඳුව ඇත්තේ හා සුවය අවශ්‍ය වන්නේ ඔවුන්ගේ හදවත් වලට මිස—උන්වහන්සේගේ හදවතට නොවන බව—පෙන්වාදීමට උන්වහන්සේ පරිසිවරුන්ට උපකාර කළේ කෙසේද? ඔවුන්ගේ චින්තනය සහ හැසිරීම වෙනස් විය යුතු බව පෙන්වීමට උන්වහන්සේ තම දහම භාවිතා කළේ කෙසේද?

උන්වහන්සේ මෙය කළේ රැළෙන් ඉබාගාතේ ගිය බැටළුවෙකු සහ අතුරුදහන් වූ කාසියක් ගැන ඔවුන්ට කතා කිරීමෙනි. සමාව ඉල්ලා සිටි කැරලිකාර පුතෙකු ගැනත් ඔහුව පිළිගැනීමට හෝ ඔහු සමඟ ආහාර ගැනීමට අකමැති වූ වැඩිමහල් සහෝදරයෙකු ගැනත් උන්වහන්සේ කතා කළේය. මෙම සෑම උපමාවකම පරිසිවරුන් අන් අයව සැලකූ ආකාරය සම්බන්ධ සත්‍යයන් අඩංගු වූ අතර, සෑම ප්‍රාණයකටම විශාල වටිනාකමක් ඇති බව ඔවුන්ට ඉගැන්වුවේය (බලන්න ලූක් 15). ගැලවුම්කරුවාණන් පරිසිවරුන්ට හෝ—අපෙන් කිසිවකුට—තම උපමා වලින් හඳුනාගත යුත්තේ කවුරුන්වදැයි පැවසුවේ නැත. සමහර වෙලාවට ඒ කලබල පියා අපියි. සමහර වෙලාවට ඒ ඉරිසියා කරන සහෝදරයා අපියි. බොහෝ විට ඒ නැතිවූ බැටළුවා හෝ මෝඩ පුත්‍රයා අපියි. නමුත් අපගේ තත්වයන් කුමක් වුවත්, උන්වහන්සේගේ උපමා තුළින්, ගැලවුම්කරුවාණන් අපට ආරාධනා කරන්නේ උන්වහන්සේගේ ඉගැන්වීම් වල අදාළත්වය සොයාගැනීමටත්—අප ඉගෙනගැනීමට උන්වහන්සේට අවශ්‍ය දේ, සහ අපගේම චින්තනයේ සහ හැසිරීම් වල අපට වෙනස් කිරීමට අවශ්‍ය දේ සොයාගැනීමටය.

සමහර සත්‍යයන් ඔවුන්ට වැදගත් වන්නේ මන්දැයි සමහර ඉගෙනගන්නන් නොදකින බව ඔබට පෙනෙනු ඇත. ඔබ උගන්වන අයගේ අවශ්‍යතා ඔබ සලකා බලන විට, ශුද්ධලියවිලි වල ඇති සත්‍යයන් ඔවුන්ගේ තත්වයන් තුළ අර්ථවත් සහ ප්‍රයෝජනවත් විය හැකි ආකාරය ගැන සිතා බලන්න. ඉගෙනගන්නන්ට ඔවුන් සොයාගන්නා සත්‍යයන් වල අදාළත්වය දැකීමට ඔබට උපකාර කළ හැකි එක් ක්‍රමයක් වන්නේ “ඔබ දැන් අත්විඳින දෙයකට මෙය ඔබට උපකාර කරන්නේ කෙසේද?” “මේ දේවල් දැනගැනීම ඔබට වැදගත් වන්නේ ඇයි?” “මෙයට ඔබගේ ජීවිතයේ ඇතිකළ හැකි වෙනස කුමක්ද?” වැනි ප්‍රශ්න ඇසීමයි. ඔබ උගන්වන අයට සවන්දෙන්න. ඔවුන්ට ප්‍රශ්න ඇසීමට ඉඩදෙන්න. ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් සහ ඔවුන්ගේම ජීවිත අතර සම්බන්ධතා ඇතිකරගැනීමට ඔවුන්ව දිරිමත් කරන්න. ඔබ උගන්වන දෙයින් ඔබ ඔබේ ජීවිතයට අදාළ බව සොයාගත් ආකාරයද ඔබට බෙදාගත හැකිය. මෙය සිදුකිරීමෙන් දහමට ඔවුන්ගේ ජීවිත වල වෙනසක් ඇතිකළ හැකි ආකාරය ඉගෙනගන්නන්ට පුද්ගලිකවම ඉගැන්වීමට ආත්මයාණන්ට ආරාධනා කළ හැකිය.

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න: ශුභාරංචි සත්‍යයන් ඔබට අර්ථවත් සහ ප්‍රයෝජනවත් කරන්නේ කුමන හේතූන්ද? ඔබ ශුභාරංචිය අධ්‍යයනය කරන විට පුද්ගලික අදාළත්වය සොයාගැනීමට ඔබට උදව් වන්නේ මොනවාද? ඔබ උගන්වන අයට අදාළ සත්‍යයන් කෙරෙහි අවධානය යොමුකිරීමට ඔබ කරන්නේ මොනවාද?

ශුද්ධලියවිලි වලින්: 1 නෙපි 19:23; 2 නෙපි 32:3; දහම සහ ගිවිසුම් 43:7–9

ඔබ ඉගෙනගන්නා දේ අදාළ කරගැනීමට ක්‍රම කිහිපයක්

  • ඔබ සත්‍ය දහම උගන්වන බව සහතික කරගැනීමට ඔබ උගන්වන දේ ඇගයීමට ලක්කරන්න. මෙම ප්‍රශ්න උපකාරී විය හැකිය:

    • මා ඉගැන්වීමට අදහස් කරන්නේ කුමන ශුද්ධලියවිලි පද සහ පසුදවස් වල අනාගතවක්තෘවරුන්ගේ කුමන වචන මතද?

    • අනාගතවක්තෘවරුන් කිහිපදෙනෙකු විසින් මෙය උගන්වා තිබේද? වත්මන් සභා නායකයින් ඒ ගැන උගන්වන්නේ කුමක්ද?

    • මෙය අන් අයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගොඩනගාගැනීමට, පසුතැවිලි වීමට, සහ ගිවිසුම් මාවතේ වර්ධනය වීමට උපකාර කරන්නේ කෙසේද?

    • මෙය ශුද්ධාත්මයාණන්ගේ පෙළඹවීම් වලට අනුකූලද, නැතහොත් මට ඒ ගැන ආත්මිකව නොසන්සුන් බවක් දැනෙනවාද?

  • ඔබ වෙනුවෙන් සැබෑ දහම ඉගෙනගැනීමට දිනපතා දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යනය කරන්න.

  • ඔබ උගන්වන විට ශුද්ධලියවිලි පද සහ නූතන අනාගතවක්තෘවරුන්ගේ වචන කියවීමට ඉගෙනගන්නන්ගෙන් ඉල්ලා සිටින්න.

  • ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට පාදසටහන්, Guide to the Scriptures, සහ වෙනත් සම්පත් භාවිත කරන ආකාරය ඉගෙනගන්නන්ට උගන්වන්න.

  • ශුද්ධලියවිලි පාඨයක හෝ කතාවක සත්‍යයන් සොයාගැනීමට ඉගෙනගන්නන්ට ආරාධනා කරන්න.

  • දහමක සත්‍යතාවය පිළිබඳ ඔබ දැනගත් ආකාරය ගැන සාක්ෂි දරන්න.

  • ශුභාරංචි සත්‍යයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට ඉගෙනගන්නන්ට උපකාර කිරීම සඳහා කතන්දර හෝ රූපක භාවිතා කරන්න.

මුද්‍රණය කරන්න