සෙමනේරි සහ ආයතනික පන්ති
ඔබ උගන්වන අයට ආදරය කරන්න


“ඔබ උගන්වන අයට ආදරය කරන්න,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම: නිවසේ සහ සභාවේ උගන්වන සියල්ලන් සඳහා (2022)

“ඔබ උගන්වන අයට ආදරය කරන්න,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම

ඔබ උගන්වන අයට ආදරය කරන්න

ගැලවුම්කරුවාණන් තම ලෞකික දේවසේවය පුරා කළ සෑම දෙයක්ම පෙළඹවීම ලබා ඇත්තේ ප්‍රේමයෙනි. අප ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයින් වීමට උත්සාහ කරන විට, අපට එම ප්‍රේමයෙන්ම සම්පූර්ණ විය හැකිය (බලන්න යොහාන් 13:34–35; මොරෝනි 7:47–48; 8:26). ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය අපගේ හදවත් තුළ ඇති විට, ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගෙන උන්වහන්සේ වෙතට පැමිණීමට අන් අයට උපකාර කිරීමට හැකි සෑම මාර්ගයක්ම අපි සොයන්නෙමු. ප්‍රේමය අපගේ ඉගැන්වීම සඳහා පෙළඹවීම බවට පත්වේ.

ඔබ උගන්වන අයට ප්‍රේම කිරීමට

  • දෙවියන්වහන්සේ ඔවුන්ව දකින ආකාරයට ඉගෙනගන්නන් දෙස බලන්න.

  • ඔවුන්ව දැනගැනීමට උත්සාහ කරන්න—ඔවුන්ගේ තත්වයන්, අවශ්‍යතා, සහ ශක්තීන් තේරුම්ගන්න.

  • ඔවුන් වෙනුවෙන් නමින් යාච්ඤා කරන්න.

  • ගරුත්වය දක්වන සහ ඔවුන්ගේ දායකත්වය අගය කරන බව දැනෙන ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරන්න.

  • ඔබේ ආදරය ප්‍රකාශ කිරීමට සුදුසු ක්‍රම සොයාගන්න.

ගැලවුම්කරුවාණන් තමා ඉගැන්වූ සෑම කෙනෙකු තුළම ඇති දිව්‍යමය හැකියාව දුටුවේය

යෙරිකෝවේ බොහෝ අය සිතුවේ ඔවුන් සාකෙවුස් ගැන දැනගැනීමට අවශ්‍ය සියල්ල දන්නා බවයි. ඔහු සුංගම් අයකරන්නෙක් සහ බදු එකතුකරන්නෙක්—ඇත්තවශයෙන්ම ප්‍රධාන සුංගම් අයකරන්නාය—එමෙන්ම ඔහු පොහොසත් විය. පැහැදිලිවම, ඔවුන් සිතුවේ ඔහු වංක හා දූෂිත බවයි. නමුත් යේසුස්වහන්සේ සාකෙවුස්ගේ හදවත දෙස බැලූ අතර ගෞරවනීය “ආබ්‍රහම්ගේ පුත්‍රයෙකුව” දුටුවේය (බලන්න ලූක් 19:1–10). ගැලවුම්කරුවාණන් මිනිසුන්ව දුටුවේ ඔවුන් පෙනී සිටි ආකාරයටම නොව ඔවුන් සැබවින්ම සිටි ආකාරයටයි—සහ ඔවුන්ට විය හැකි ආකාරයටයි. සයිමන්, අන්ද්‍රේ, යාකොබ්, සහ යොහාන් වැනි ඔප නොදැමූ ධීවරයින් තුළ, උන්වහන්සේ තම සභාවේ අනාගත නායකයින්ව දුටුවේය. බියට පත් වූ පීඩාකාර සාවුල් තුළ, රජවරුන් සහ ජාතීන් ඉදිරියේ උන්වහන්සේගේ ශුභාරංචිය දේශනා කරන “තෝරාගත් භාජනයක්” උන්වහන්සේ දුටුවේය (බලන්න ක්‍රියා 9:10–15). ඔබ සහ ඔබ උගන්වන සෑම පුද්ගලයෙකු තුළම, ගැලවුම්කරුවාණන් අසීමිත හැකියාවන්ගෙන් යුත් දෙවියන්වහන්සේගේ පුතෙකු හෝ දියණියක දකියි.

ඔබ උගන්වන අය අතර, ඇදහිලිවන්ත හා හැරුණු බවක් පෙනෙන සමහර අය සහ උනන්දුවක් නැති හෝ කැරලිකාර බවක් පෙනෙන තවත් අය සිටිනු ඇත. ඔබ දකින දේ මත පමණක් පදනම්ව උපකල්පන නොකිරීමට වගබලා ගන්න. එක් එක් පුද්ගලයා තුළ ගැලවුම්කරුවාණන් දකින දෙයින් සමහරක් දැකීමට ශුද්ධාත්මයාණන්ට ඔබට උපකාර කළ හැකි අතර—උන්වහන්සේ ලෙසම ඔවුන්ට ප්‍රේම කිරීමට ඔබට උපකාර කරයි.

මෙනෙහි කිරීමට ප්‍රශ්න: ඔබ උගන්වන සෑම පුද්ගලයෙකු ගැනම සිතන්න, එමෙන්ම ස්වර්ගික පියාණන්වහන්සේට සහ යේසුස්වහන්සේට ඒ සෑම කෙනෙක්ම පිළිබඳ හැඟෙන ආකාරය ගැන මෙනෙහි කරන්න. උන්වහන්සේලා ඔහු හෝ ඇය තුළ දකින්නේ මොනවාද? ඔබ එම පුද්ගලයාට උගන්වන ආකාරය කෙරෙහි මෙම සිතුවිලි බලපාන්නේ කෙසේද?

ශුද්ධලියවිලි වලින්: 1 සාමුවෙල් 16:7; ගීතාවලිය 8:4–5; රෝම 8:16–17; දහම සහ ගිවිසුම් 18:10–14

ගැලවුම්කරුවාණන් අපව හඳුනන අතර අපගේ තත්වයන්, අවශ්‍යතා, සහ ශක්තීන් තේරුම්ගනියි

සමරිතානු කාන්තාව ළිඳ අසලට පැමිණියේ ශුභාරංචිය ඇසීමට නොවේ. ඇය පැමිණියේ වතුර ගැනීමටයි. නමුත් ඇගේ පිපාසය භෞතික දෙයකට වඩා වැඩි බව ගැලවුම්කරුවාණන්ට වටහාගත හැකි වුණේය. අස්ථාවර සබඳතා සහිත කරදරකාරී අතීතයක් ඇයට තිබී ඇති බව උන්වහන්සේ දැන සිටියේය. එමනිසා, යේසුස්වහන්සේ ඇගේ ක්ෂණික උනන්දුව ඇති භෞතික අවශ්‍යතාවය වූ—ජීවන-පෝෂිත ජලය—ගෙන එය “ජීවන ජලය” සහ “සදාකාල ජීවනය” සඳහා ඇයගේ ගැඹුරු අධ්‍යාත්මික අවශ්‍යතා සමඟ සම්බන්ධ කළේය. ඔවුන්ගේ සංවාදය අවසන් වන විට, උන්වහන්සේ ඇයව කොතරම් හොඳින් දැන සිටියාද කියා වටහාගත් එම කාන්තාවට, යේසුස් යනු ක්‍රිස්තුස්වහන්සේ බවට වූ පෞද්ගලික සාක්ෂියක් ලැබුණි. “[උන්වහන්සේ] මා කළ සියල්ල මට කීවා,” යැයි ඇය කීවේය. “මේ ක්‍රිස්තුස්වහන්සේ නොවේද?” (බලන්න යොහාන් 4:6–29).

ක්‍රිස්තුස්වහන්සේ වැනි ගුරුවරයෙකු වීමට ඔබ උගන්වන අයව දැන හඳුනාගැනීම සහ ඔවුන්ගේ හදවත් තුළ ඇති දේ තේරුම්ගැනීමට උත්සාහ කිරීම ඇතුළත් වේ. ඔබට ඔවුන්ගේ ජීවිත ගැන උනන්දුවක් දැක්විය හැකි අතර දයානුකම්පාවද පෙන්විය හැකිය. ඔවුන්ගේ පසුබිම්, කුසලතා, රුචිකත්වයන්, සහ අවශ්‍යතා තේරුම්ගැනීමට ඔබට ක්‍රම සෙවිය හැකිය. ඔවුන් හොඳින් ඉගෙනගන්නේ කෙසේදැයි ඔබට සොයාගත හැකිය. ඔබට ප්‍රශ්න ඇසීමට, හොඳින් සවන්දීමට, සහ නිරීක්ෂණය කිරීමට හැකිය. සියල්ලටම වඩා, ආත්මයාණන්වහන්සේට පමණක් දිය හැකි අවබෝධය සඳහා ඔබට යාච්ඤා කළ හැකිය. ඔබ පුද්ගලයෙකුව හොඳින් හඳුනන තරමට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පුද්ගලික අර්ථය සහ බලය සොයාගැනීමට ඔහුට හෝ ඇයට උපකාර කිරීමට ඔබට වඩා හොඳ හැකියාවක් ලැබෙනු ඇත. ඔබ පුද්ගලයෙකුගේ පිපාසය තේරුම්ගත් පසු, ගැලවුම්කරුවාණන්ගේ ජීවමාන ජලයෙන් එය සංසිඳුවීමට උපකාර කරන ආකාරය ආත්මයාණන්වහන්සේ විසින් ඔබට ඉගැන්විය හැකිය.

මෙනෙහි කිරීමට ප්‍රශ්න: ඔබ උගන්වන අය ගැන ඔබ දැනටමත් දන්නේ මොනවාද? ඔවුන්ට වැදගත් වන්නේ මොනවාද? ඔවුන්ගේ ශක්තීන් මොනවාද? ඔවුන් අරගල කරන්නේ මොනවා සමඟද? ඔවුන්ව වඩා හොඳින් තේරුම්ගැනීමට ඔබට කුමක් කළ හැකිද?

ශුද්ධලියවිලි වලින්: ගීතාවලිය 139:1–5; මතෙව් 6:25–32; මාර්ක් 10:17–21; යොහාන් 10:14; 3 නෙපී 17:1–9

ගැලවුම්කරුවාණන් තමා ඉගැන්වූ අය වෙනුවෙන් යාච්ඤා කළේය

“සීමොන්, සීමොන්, බලව, නුඹලාව ලබන්නට සාතන් ආශා වන්නේය, … නුමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාච්ඤා කෙළෙමි” (ලූක් 22:31–32) ලෙස ගැලවුම්කරුවාණන් ඔහුට පැවසූ විට සීමොන් පේත්‍රැස්ට දැනුණු ආකාරය ගැන සිතන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබ වෙනුවෙන් පියාණන්වහන්සේට යාච්ඤා කළ බව දැනගැනීම ඔබට බලපානු ඇත්තේ කෙසේද? පුරාණ අමෙරිකාවේ මිනිසුන්ට මෙවැනි අත්දැකීමක් ඇති අතර, ඔවුන් එය විස්තර කළේ මේ ආකාරයටය: “එම අවස්ථාවේ පියාණන්වහන්සේ වෙතට [යේසුස්වහන්සේ] අප වෙනුවෙන් යාච්ඤා කිරීම ඇසී අපගේ ප්‍රාණයන් පිරවූ ප්‍රීතිය වෙනත් කිසිවෙකුට තේරුම්ගත නොහැකිය” (3 නෙපී 17:17).

ඔබ යමෙකු වෙනුවෙන්—ඔවුන්ගේ නමින් නොකඩවා යාච්ඤා කරන විට ඔබ තුළ සිදුවන දේ ගැනද ඔබට සිතිය හැකිය. එම පුද්ගලයා ගැන ඔබට හැඟෙන ආකාරය ඔබේ යාච්ඤා වලට බලපාන්නේ කෙසේද? ඒවා ඔබේ ක්‍රියාවන්ට බලපාන්නේ කෙසේද? ඉගෙනගන්නෙකුට උපකාර කිරීමට කැමති ගුරුවරයෙකුගේ අවංක යාච්ඤා වලට ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේ නිසැකවම සවන් දී පිළිතුරු දෙයි. බොහෝ අවස්ථා වලදී, උන්වහන්සේ එම යාච්ඤා වලට පිළිතුරු දෙන එක් ආකාරයක් නම්, ගුරුවරයාගේ හදවත ස්පර්ශ කර, ඉගෙනගන්නන්ට උන්වහන්සේගේ ප්‍රේමය දැනීමට උපකාර වන යමක් කිරීමට හෝ පැවසීමට ඔහුව හෝ ඇයව පෙළඹවීමයි.

මෙනෙහි කළ යුතු ප්‍රශ්න: ඔබ උගන්වන පුද්ගලයින් ගැන ඔබ සිතන විට, ඔබ විශේෂයෙන් යාච්ඤා කළ යුතු යැයි ඔබට අවශ්‍යතාවක් හැඟෙන අය සිටීද? ඔබට පෙළඹවීමක් දැනෙන්නේ ඔහු හෝ ඇය වෙනුවෙන් කුමක් සඳහා යාච්ඤා කිරීමටද? එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කිරීමට ඔබ ඉගෙනගන්නන්ට ආරාධනා කරන විට ලැබිය හැකි ආශිර්වාද මොනවාද?

ශුද්ධලියවිලි වලින්: යොහාන් 17; ඇල්මා 31:24–36; 3 නෙපී 18:15–24; 19:19–23, 27–34

ගැලවුම්කරුවාණන් සියලුදෙනාටම ගෞරවය හිමිවන බව සහ ඔවුන්ව අගය කෙරෙන බව සහතික කළේය

යේසුස්වහන්සේගේ කාලයේ සිටි ආගමික නායකයන් තුළ තිබූ සාමාන්‍ය ආකල්පය වූයේ පව්කාරයන්ව ප්‍රතික්ෂේප කළ යුතු බවයි. මේ නිසා, යේසුස්වහන්සේ පව්කාරයන් සමඟ කටයුතු කරන ආකාරය දුටු විට මෙම නායකයින් තැතිගත්හ. එවැනි අය ඇසුරු කළ කෙනෙක් අධ්‍යාත්මික ගුරුවරයකු වන්නේ කෙසේද?

ඇත්තෙන්ම යේසුස්වහන්සේට තිබුණේ වෙනස් ප්‍රවේශයකි. උන්වහන්සේ අධ්‍යාත්මිකව අසනීප වූවන් සුවකිරීමට උත්සාහ කළේය (බලන්න මාර්ක් 2:15–17; ලූක් 4:17–18). අවට සිටින අයට වඩා වෙනස් වූ හෝ කරදරකාරී අතීතයක් ඇති අය කරා උන්වහන්සේ නිරන්තරයෙන් ළඟා වූ අතර, පව් කළ අය සමඟත් කටයුතු කළේය. ඔහු රෝම සොල්දාදුවෙකුගේ ඇදහිල්ල අගය කළේය (බලන්න මතෙව් 8:5–13). විශ්වාසය දිනා නොගත් බදු එකතු කරන්නෙකුව තම විශ්වාසවන්ත ගෝලයෙකු වීමට උන්වහන්සේ කැඳෙව්වේය (බලන්න මාර්ක් 2:14). ස්ත්‍රියකට කාමමිථ්‍යාචාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ විට, උන්වහන්සේ ඇයට ආරක්ෂිත හැඟීමක් ඇතිකළ අතර, පසුතැවිලි වී වඩා හොඳ ජීවිතයක් ගතකිරීමට ඇයව පෙලඹවූයේය (බලන්න යොහාන් 8:1–11).

නමුත් යේසුස්වහන්සේ ඊට වඩා වැඩි දේවල් කළේය. උන්වහන්සේ තම අනුගාමිකයින් අතර මෙම පිළිගැනීමේ සහ ආදරයේ ආකල්පයම පෝෂණය කළේය. ශුභාරංචිය සියලු මිනිසුන් වෙත ගෙන යාමට කාලය පැමිණි විට උන්වහන්සේගේ ආදර්ශය නිසැකවම උන්වහන්සේගේ ප්‍රේරිතවරුන්ගේ හදවත් තුළ තිබිණ. එය පේත්‍රැස්ගේ මෙම වචන වලින් පිළිබිඹු වේ: “දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක් ය, යන සත්‍ය මම තේරුම්ගත්තෙමි” (ක්‍රියා 10:34).

කැඳවීමක් ලබා ඔබ උගන්වන සෑම කෙනෙකුම ගෞරවය සහ අගය දැනීමට නොහැකිව යම් ආකාරයකින් අරගල කරනවා වෙන්නට පුළුවන්. ඔබ ඔවුන්ට ආදරය කරන සහ ගරු කරන ආකාරයෙන්, ඔවුන්ව සාදරයෙන් පිළිගන්නවා පමණක් නොව ඔවුන්ව අවශ්‍ය බවත් ඔබට සන්නිවේදනය කළ හැකිය. ප්‍රගතිය මන්දගාමී බවක් පෙනෙන්නට තිබුණත් ඉවසීමෙන් යුතුව, නොපැමිණෙන, අරගල කරන, හෝ උනන්දුවක් නොදක්වන අය වෙත ඔබට ළඟාවිය හැකිය. තම ගැටළු සෙසු ඇදහිලිවන්තයන් සමඟ බෙදාගැනීමට සෑම කෙනෙකුටම ආරක්ෂිත සහ සුවපහසු හැඟීමක් ඇතිකිරීමට ඔබට උපකාර කළ හැකිය. එමෙන්ම ඔබට ඊට වඩා වැඩි යමක් කළ හැකිය. ගෞරවය, අයිතිවීම, සහ ප්‍රේමය යන හැඟීමෙන් දහම උගන්වන පරිසරයක් නිර්මාණය කිරීමට ඔබට උපකාර කිරීමට, සියලුම ඉගෙනගන්නන්ව ඔබට පෙළඹවිය හැකිය.

මෙනෙහි කිරීමට ප්‍රශ්න: පුද්ගලයෙකුට ගෞරවයක් සහ අගයක් දැනීමට උපකාර වන්නේ මොනවාද? අන් අයට ගරු කිරීමට සහ අගය කිරීමට පුද්ගලයෙකුව පොළඹවන්නේ මොනවාද? ඔබ උගන්වන අය ගැන යාච්ඤාපූර්වකව ඔබ සිතන විට, ඔවුන් සියල්ලන්වම සාදරයෙන් පිළිගන්නා බව සහ ඔවුන්ව අවශ්‍ය බව ඔවුන්ට හැඟෙන ලෙස කුමක් කිරීමට ඔබට පෙළඹවීමක් දැනෙන්නේද?

ශුද්ධලියවිලි වලින්: යොහාන් 4; 2 නෙපී 26:27–28, 33; ඇල්මා 1:26; 3 නෙපී 18:22–25

රූපය
පියෙක් දරුවන්ට උගන්වමින්

ගුරුවරුන්ට තමන් උගන්වන අයට ආදරය දැනීමට උපකාර කළ හැකිය.

ගැලවුම්කරුවාණන් තමා ඉගැන්වූ අය කෙරෙහි තම ආදරය ප්‍රකාශ කළේය

නෙපීවරුන් අතර ඉගැන්වීමේ සහ දේවසේවයේ පුදුමාකාර, උසස් දවසක් අවසානයේදී, යේසුස්වහන්සේ තමාට යාමට කාලය පැමිණ ඇති බව නිරීක්ෂණය කළේය. උන්වහන්සේට හමුවීමට තවත් අය එහි සිටියේය. “නුඹලා නුඹලාගේ නිවෙස් වලට යන්න,” උන්වහන්සේ පැවසුවේය, “තවද හෙට සඳහා නුඹලාගේ මනස සූදානම් කරගන්න.” නමුත් සෙනඟ “කඳුළු සලමින්” එහි වාඩි වී සිටියේ “ඔවුන් සමඟ ටික වෙලාවක් උන්වහන්සේට නවතින ලෙස ඇසීමට මෙන් ඔවුහු උන්වහන්සේ දෙස ස්ථිරව බලා සිටිමින්ය.” ඔවුන්ගේ ප්‍රකාශ නොකළ අවශ්‍යතාවය වටහාගෙන “දයානුකම්පාවෙන්” යේසුස්වහන්සේ තව ටිකක් රැඳී සිටියේය (3 නෙපී 17:3, 5–6). උන්වහන්සේ ඔවුන්ගේ රෝගීන්ට හා පීඩාවට පත්වූවන්ට ආශිර්වාද කළේය. උන්වහන්සේ ඔවුන් සමඟ දණගසා යාච්ඤා කළේය. උන්වහන්සේ ඔවුන් සමඟ හඬා, ඔවුන් සමඟ ප්‍රීති විය.

3 නෙපී 17 හි ගැලවුම්කරුවාණන්ගේ වචන සහ ක්‍රියාවන් යාච්ඤාවෙන් යුතුව අධ්‍යයනය කිරීම සලකා බලන්න. උන්වහන්සේ ඉගැන්වූ අය කෙරෙහි උන්වහන්සේ දැක්වූ ආදරය ගැන මෙනෙහි කරන්න. ශුද්ධලියවිලි වල වෙනත් ස්ථාන වල උන්වහන්සේගේ ප්‍රේමයේ ප්‍රකාශන සොයන්න. ඉන්පසු ඔබ උගන්වන පුද්ගලයින් ගැන සිතන්න. ඔබ ඔවුන්ට නිසි ලෙස ආදරය ප්‍රකාශ කරන්නේ කෙසේද? ආත්මයාණන්වහන්සේට ඔබට මගපෙන්වන්නට ඉඩදෙන්න. ඔබ උගන්වන අය වෙනුවෙන් ආදරයක් දැනීමට හෝ එය ප්‍රකාශ කිරීමට ඔබට අපහසු නම්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැන සාක්ෂි දැරීමෙන් ආරම්භ කරන්න. ඉන්පසු “හදවතේ සියලු ශක්තිය සමඟ පියාණන්වහන්සේට යාච්ඤා කරන්න, එනම් ඒ කරණකොටගෙන නුඹලා, උන්වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාණන් වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය අනුගාමිකයන් මත ප්‍රදානය කර ඇති, මෙම ප්‍රේමය [ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමය] සමඟ පූර්ණ වන පිණිසය” (මොරෝනි 7:48). පාඩමක් ඉගැන්වීමට ඇති ඔබේ සැලකිල්ල කිසිවිටෙකත් ඔබේ වචන වලින් සහ ක්‍රියාවෙන් ආදරය ප්‍රකාශ කිරීමෙන්, ඔබේ අවධානය වෙනතකට යොමු නොකළ යුතු බව මතකතබාගන්න. බොහෝ විට ඔබ ඔවුන්ට උගන්වන දේ මෙන්ම ඔබ පුද්ගලයින්ට සලකන ආකාරයද වැදගත් වේ.

මෙනෙහි කිරීමට ප්‍රශ්න: ඔබ කෙරෙහි ඇති ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය දැනගැනීමට උන්වහන්සේ ඔබට උපකාර කර ඇත්තේ කෙසේද? උන්වහන්සේගේ ආදරය දැනීමට දෙමාපියන් හෝ වෙනත් ගුරුවරයෙකු ඔබට උපකාර කර ඇත්තේ කෙසේද? ඔබ උගන්වන අයට ඔබ ආදරය කරන බව ඔවුන් දන්නවාද? ගැලවුම්කරුවාණන් ඔවුන්ට ආදරය කරන බව ඔවුන් දන්නවාද?

ශුද්ධලියවිලි වලින්: මාර්ක් 6:31–42; යොහාන් 13:3–16, 34–35; 15:12–13; 1 කොරින්ති 13:1–7; 1 යොහාන් 4:7–11

ඔබ ඉගෙනගන්නා දේ අදාළ කරගැනීමට ක්‍රම කිහිපයක්

  • ඔබ පන්තියකට උගන්වන්නේ නම්, ඉගෙනගන්නන්ගේ නම් ඉගෙනගෙන ඔබ උගන්වන විට ඒවා භාවිතා කරන්න.

  • ඉගෙනගන්නන් දායක වන විට ඔබේ කෘතඥතාව පළකරන්න.

  • ඔබ ඉගැන්වීමට පෙර සහ පසුව ඉගෙනගන්නන් සමඟ සම්බන්ධ වෙන්න.

  • ඉගෙනගන්නන්ට එකිනෙකා කෙරෙහි ආදරය හා ගෞරවයෙන් යුත් වාතාවරණයක් වර්ධනය කරගැනීමට උපකාර කරන්න.

  • ඔබ උගන්වන විට සහ වෙනත් අවස්ථා වලදී—සාවධානව සවන්දෙන්න.

  • ඔබ උගන්වන අය සඳහා සේවයේ ක්‍රියාවන් කරන්න.

  • ඔබ උගන්වන අයට අර්ථවත් වන මූලධර්ම මත වැඩි කාලයක් ගතකිරීමට ඔබේ ඉගැන්වීමේ සැලසුම් වෙනස් කිරීමට කැමැත්තෙන් සිටින්න.

මුද්‍රණය කරන්න