ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 12


12 වන කොටස

1829 මැයි, හාර්මනි, පෙන්සිල්වේනියා හිදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුළින් ජෝසෆ් නයිට් ජ්‍යේෂ්ඨ, වෙත දෙනු ලැබූ එළිදරව්වකි. මොර්මොන්ගේ පොතේ තහඩු සහ එවකට සිදුවෙමින් පැවති පරිවර්තන කටයුතු පිළිබඳ ජෝසෆ් ස්මිත්ගේ ප්‍රකාශයන් ජෝසෆ් නයිට් විශ්වාස කළ අතර, ඔවුන්ට දිගටම පරිවර්තනය කිරීමට හැකිවන පරිදි, ජෝසෆ් ස්මිත්ට සහ ඔහුගේ ලියන්නාට කිහිප වතාවක්ම ද්‍රව්‍යමය ආධාර ලබාදී ඇත. ජෝසෆ් නයිට්ගේ ඉල්ලීමට අනුව, අනාගතවක්තෘවරයා ස්වාමින්වහන්සේගෙන් ඉල්ලීමෙන් මෙම එළිදරව්ව ලැබුනි.

1–6, ස්වාමින්වහන්සේගේ මිදි වත්තේ සේවකයෝ ගැලවීම ලබාගන්නෝය; 7–9, ආශා වන්නාවූ සහ සුදුසුකම් ඇති සියල්ලන්ට ස්වාමින්වහන්සේගේ කටයුතු වලට උපකාර විය හැකිය.

1 ශ්‍රේෂ්ඨ සහ පුදුමාකාර ක්‍රියාවක් මනුෂ්‍ය දරුවන් අතරට පැමිණීමට නියමිතය.

2 බලන්න, මම දෙවියන්වහන්සේ වන්නෙමි; මාගේ වචනයට ඇහුම්කන් දෙන්න, එය ඉක්මන් සහ බලවත්ය, එය සංධි සහ ඇට මිදුළු දෙකම බෙදන, දෙමුවහත් කඩුවකට වඩා තියුණු වන්නේය; එසේහෙයින්, මාගේ වචනයට ඇහුම්කන් දෙන්න.

3 බලන්න, අස්වැන්න නෙලාගැනීම සඳහා කෙත දැනටමත් සූදානම්ය; එසේහෙයින්, නෙලාගැනීමට කැමති කවරෙකු වුවත් ඔහුගේ දෑකැත්ත දමා ඔහුගේ ශක්තියෙන් කපත්වා, එනම් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සදාකාලික ගැලවීම ඔහුගේ ප්‍රාණයේ රැස්කරගන්නා පිණිස තවද දවස පවතින තුරු නෙලාගනිත්වා.

4 එසේය, අස්වැන්න කපාගැනීමට ඔහුගේ දෑකැත්ත දිගු කරන කවරෙකු වුවද, ඔහුව දෙවියන්වහන්සේ විසින් කැඳවා ඇත්තේය.

5 එසේහෙයින්, නුඹ මාගෙන් ඉල්ලන්නේ නම් නුඹට ලැබෙන්නේය; නුඹ තට්ටු කරන්නේ නම් එය නුඹට විවෘත වන්නේය.

6 දැන්, නුඹලා ඉල්ලා ඇතිහෙයින්, බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, මාගේ ආඥාවන් පිළිපදින්න, සයොනයේ කාරණාව පෙරට පැමිණවීම සහ පිහිටුවීම උදෙසා සොයාපන්න.

7 බලන්න, තවද එසේම මම නුඹට මෙන්ම, මෙම කාර්යය පෙරට ගෙන ඒමට සහ පිහිටුවීමට ආශා වන්නාවූ සියල්ලන්ටම කතා කරන්නෙමි;

8 යටහත් වී සහ ප්‍රේමයෙන් පූර්ණ වී, ඇදහිල්ල, බලාපොරොත්තුව සහ පිවිතුරු ප්‍රේමයෙන් යුතුව, ඔහුගේ රැකවරණයට පවරනු ලබන ඕනෑම දෙයක් සඳහා, සියලු දේවලදී ඔහු සිහි ඇතිව මිස, මෙම කාර්යයට උපකාරී වීමට කිසිවකුටවත් නොහැකි වන්නේය.

9 බලන්න, එනම් මෙම වචන කතා කරන ලෝකයේ ආලෝකයද ජීවනයද මම වන්නෙමි, එසේහෙයින් නුඹගේ බලයෙන් ඇහුම්කන් දෙන්න, තවද එවිට නුඹව කැඳවනු ලබන්නේය. ආමෙන්.