ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 35


35 වන කොටස

1830 දෙසැම්බර් 7, ෆෙයිට්, නිව්යෝර්ක් හිදී හෝ ඒ අසල, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා සහ සිඩ්නි රිග්ඩන් හට දෙනු ලැබූ එළිදරව්වකි. මේ කාලයේදී, අනාගතවක්තෘවරයා සෑම දිනකම වාගේ බයිබලය පරිවර්තනය කිරීමෙහි යෙදී සිටියේය. පරිවර්තනය ආරම්භ වූයේ 1830 ජුනි මස මුලදීය, තවද ඔරිවර් කවුඩ්‍රි සහ ජෝන් විට්මර් දෙදෙනාම ලියන්නන් ලෙස සේවය කළහ. දැන් ඔවුන්ව වෙනත් වගකීම් උදෙසා කැඳවා තිබූ නිසා, සිඩ්නි රිග්ඩන්ව දිව්‍යමය පත්කිරීමෙන් මෙම සේවයේ අනාගතවක්තෘවරයාගේ ලියන්නා ලෙස කැඳවනු ලැබීය (20 වන පදය බලන්න). මෙම එළිදරව්වේ වාර්තාවේ පෙරවදනක් ලෙස, ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසය මෙසේ සඳහන් කරයි: “දෙසැම්බර් සිඩ්නි රිග්ඩන් [ඔහායෝ සිට] ස්වාමින්වහන්සේගෙන් විමසීමට පැමිණියේය, තවද ඔහු සමඟ එඩ්වර්ඩ් පැට්‍රිජ්ද පැමිණියේය. …මෙම සහෝදරයන් දෙදෙනා පැමිණ කෙටි කාලයකට පසු, ස්වාමින්වහන්සේ මෙසේ කතා කළ සේක.”

1–2, මනුෂ්‍යයන් කෙසේ දෙවියන්වහන්සේගේ පුත්‍රයන් බවට පත්වන්නේද; 3–7, බව්තීස්ම කිරීමට සහ ශුද්ධාත්මයාණන් දානය කිරීමට සිඩ්නි රිග්ඩන්ව කැඳවනු ලබන්නේය; 8–12, ඇදහිල්ල මගින් සලකුණු සහ හාස්කම් සිදුකරනු ලබන්නේය; 13–16, ස්වාමින්වහන්සේගේ සේවකයෝ ආත්මයාණන්ගේ බලය මගින් ජාතීන් මඩිනු ලබන්නෝය; 17–19, ජෝසෆ් ස්මිත් අභිරහස් වල යතුරු දරන්නේය; 20–21, තෝරාගත්තවුන් ස්වාමින්වහන්සේගේ පැමිණීමේ දවසේ සිටිනු ඇත; 22–27, ඉශ්‍රායෙලය ගලවනු ලබන්නේය.

1 නුඹගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේගේ හඬට සවන්දෙන්න, ඇල්ෆා සහ ඔමේගාද, ආරම්භයද අවසානයද උන්වහන්සේය, උන්වහන්සේගේ ගමන එක් සදාකාලික චක්‍රයක් වන්නේය, අදත් හෙටත් සදාකාලයටමත් ඒකාකාරය.

2 මම දෙවියන්වහන්සේගේ පුත්‍ර වූ, ලෝකයේ පාප උදෙසා කුරුසිපත් කරනු ලැබූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්නෙමි, මාගේ නාමය විශ්වාස කරන බොහෝදෙනෙක්, එනම් ඔවුහු දෙවියන්වහන්සේගේ පුත්‍රයන් බවට පැමිණෙන්නෝය, මා තුළ ඒකත්වයක්ව, මම පියාණන්වහන්සේ තුළ ඒකත්වයක්ව සිටින්නාක් මෙන්ම පියාණන්වහන්සේ මා තුළ ඒකත්වයක්ව සිටින්නාක් මෙන්, එනම් අපද ඒකත්වයක් වන පිණිසය.

3 බලන්න, සැබවක්, සැබවක්, මාගේ සේවක සිඩ්නි රිග්ඩන් හට මම පවසන්නෙමි, මම නුඹ සහ නුඹගේ ක්‍රියාවන් බලා ඇත්තෙමි. මම නුඹගේ යාච්ඤාවන් අසා ඇත්තෙමි, තවද නුඹව මහත් වූ සේවයක් උදෙසා සූදානම් කළෙමි.

4 නුඹ ආශිර්වාද ලද්දෙහිය, මක්නිසාද නුඹ මහත් වූ දේවල් කරන්නෙහිය. බලන්න යොහාන් මෙන් වුවත් නුඹව පෙරට යවන ලද්දේ, තවද එම එලියා පැමිණීමට පෙර, මා ඉදිරියෙහි මාර්ගය සූදානම් කරන පිණිසය, තවද නුඹ එය දැන නොසිටියෙහිය.

5 නුඹ පසුතැවිල්ල උදෙසා ජලය මගින් බව්තීස්ම කරනු ලැබූවෙහිය, නමුත් ඔවුන් ශුද්ධාත්මයාණන් ලැබූයේ නැත;

6 එහෙත් දැන් මම නුඹට ආඥාවක් දෙන්නෙමි, නුඹ ජලය මගින් බව්තීස්ම කරන්නෙහිය, එනම් පැරණි ප්‍රේරිතවරුන් මෙන් වුවත්, තවද ඔවුහු අත් තැබීම මගින් ශුද්ධාත්මයාණන් ලබන්නෙහුය.

7 තවද මෙසේ සිදුවන්නේය එනම් එම දේශයෙහි මහත් ක්‍රියාවන් වන්නේය, අන්‍ය ජාතීන් අතරෙහි වුවත්, මක්නිසාද ඔවුන්ගේ මෝඩකම් සහ ඔවුන්ගේ පිළිකුල්කම් සියලු ජනතාවගේ ඇස් ඉදිරියේ ප්‍රකාශ කරනු ලබන්නේය.

8 මක්නිසාද මම දෙවියන්වහන්සේ වෙමි, මාගේ හස්තය කෙටි වී නොමැත්තේය; මාගේ නාමය විශ්වාස කරන එම සියල්ලන් හට, තවද මම හාස්කම්ද, සලකුණුද සහ පුදුමයන්ද පෙන්වන්නෙමි.

9 තවද කවරෙකු වුවත් එය මාගේ නාමයෙන් ඇදහිල්ලෙන් අයදින්නේ නම්, ඔවුහු යක්ෂයින් පලවා හරින්නෝය; ඔවුහු අසනීප වූවන් සුව කරන්නෝය; ඔවුහු අන්ධයන්ට ඔවුන්ගේ පෙනීම ලැබීමටද, බිහිරන්ට ඇසීමටද, ගොළුවන්ට කතා කිරීමටද, අබ්බගාතයන් ඇවිද්දවීමටද සලස්වන්නෝය.

10 තවද කාලය ඉක්මණින් පැමිණෙන්නේය එනම් මහත් වූ දේවල් මනුෂ්‍යය දරුවන් හට පෙන්වනු ලබන්නේය;

11 එහෙත් එම සියලු ජාතීන් ඇයගේ කාම රාගයේ උදහසේ මිදියුෂ බී බැබිලෝනිය මත මහත් විනාශයන් මිස, ඇදහිල්ලෙන් තොරව කිසිවක් පෙන්වනු නොලබන්නේය.

12 තවද එනම් මෙම පරම්පරාව වෙතට මා යවනු ලැබූ මාගේ ශුභාරංචියේ සම්පූර්ණත්වය ලබාගැනීමට සූදානම් වූ අයවළුන් හැර එහි යහපත කරන්නාවූ කිසිවෙක් නොමැත්තේය.

13 එසේහෙයින්, මම නූගත් සහ අවමන් කළ එම අයවළුන්ව, මාගේ ආත්මයේ බලයෙන් ජාතීන් මැඩීමට, ලෝකයේ දුර්වල දේවලින් කැඳවන්නෙමි;

14 තවද ඔවුන්ගේ හස්තය මාගේ හස්තය වන්නේය, තවද මම ඔවුන්ගේ පලිහද ඔවුන්ගේ ගාංචුවද වන්නෙමි; තවද මම ඔවුන්ගේ ඉඟටිය බඳින්නෙමි, තවද ඔවුහු මා උදෙසා නිර්භීතව සටන් කරන්නෝය; තවද ඔවුන්ගේ සතුරෝ ඔවුන්ගේ පාද පාමුල වන්නෝය; තවද මම ඔවුන් වෙනුවෙන් කඩුව වැටී යාමට ඉඩදෙන්නෙමි, තවද මාගේ උදහසේ ගින්දරෙන් මම ඔවුන්ව රැකගන්නෙමි.

15 තවද දුප්පතුන්ට සහ යටහත් වූ ඔවුන් හට ශුභාරංචිය දේශනා කරනු ලබන්නේය, තවද ඔවුහු මාගේ පැමිණීම උදෙසා බලාසිටින්නෝය, මක්නිසාද එය අත ලඟය—

16 තවද ඔවුහු අත්තික්කා ගසේ උපමාව ඉගෙනගන්නෝය, මක්නිසාද දැන් වුවත් ගිම්හානය ආසන්නය.

17 තවද මාගේ සේවක ජෝසෆ් ස්මිත්ගේ හස්තයෙන් මාගේ ශුභාරංචියේ සම්පූර්ණත්වය මා පෙරට යවා ඇත; තවද දුර්වලකම් වලදී මම ඔහුට ආශිර්වාද කර ඇත්තෙමි;

18 තවද මම ඔහු හට එනම් ලෝකයේ පටන්ගැන්ම වෙතින් වූ දේවල්, තවද මෙතැන් පටන් මාගේ පැමිණීමේ කාලය පැමිණෙන තුරු එම දේවල් මුද්‍රා කරනු ලැබූ ඒවායේ අභිරහස් යතුරු දෙනු ලැබූවෙමි, ඒ ඔහු මා තුළ රඳන්නේ නම්ය, තවද එසේ නොවන්නේ නම්, ඔහු වෙනුවට වෙනත් අයෙකුව මම පත්කරන්නෙමි.

19 එසේහෙයින්, ඔහුගේ ඇදහිල්ල අසමත් නොවන පිණිස ඔහුව බලාගන්න, තවද එය එනම් සියලු දේවල් දන්නා වූ, ශුද්ධාත්මයාණන් වූ, සැනසිලිදායකයාණන් මගින් දෙනු ලබන්නේය.

20 තවද ආඥාවක් මම නුඹ හට දෙනු ලබන්නෙමි—එනම් නුඹ ඔහු උදෙසා ලියන්නෙහිය; තවද ශුද්ධලියවිලි දෙනු ලබන්නේය, තවද ඒවා මාගේ ස්වකීය තොරාගත්තවුන්ගේ ගැලවීම උදෙසා, මාගේ ස්වකීය පපුවෙන්ම වන්නේය;

21 මක්නිසාද ඔවුහු මාගේ හඬ අසන්නෝය, තවද මා දකින්නෝය, තවද නින්දේ පසුනොවී, තවද මාගේ පැමිණීමේ දවසේ පවතින්නෝය; මක්නිසාද මා ශුද්ධවන්තව සිටින්නාක් මෙන්, ඔවුන්වද පවිත්‍ර කරනු ලබන්නේය.

22 තවද දැන් මම නුඹ හට පවසන්නෙමි, ඔහු සමඟ සිටින්න, තවද ඔහු නුඹ සමඟ ගමන් කරන්නේය; ඔහුව අත්නොහරින්න, තවද සැබවින්ම මෙම දේවල් සම්පූර්ණ වන්නේය.

23 තවද එපමණකින් නුඹලා නොලියන විට, බලන්න, එය ඔහු හට අනාවැකි පැවසීමට දෙනු ලබන්නේය; තවද නුඹලා මාගේ ශුභාරංචිය දේශනා කරමින් ඒවා ඔහුට දෙනු ලබන ආකාරයට, ඔහුගේ වචන ඔප්පු කිරීමට ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ව නැවත සඳහන් කරන්නේය.

24 නුඹ විසින් බැඳී ඇත්තාවූ එම සියලු ආඥාවන් සහ ගිවිසුම් පිළිපදින්න; තවද මම නුඹගේ යහපත උදෙසා ස්වර්ගය සෙලවීමට සලස්වන්නෙමි, තවද සාතන්ව වෙව්ලවනු ලබන්නේය තවද කඳු මත සයොනය ප්‍රීති ප්‍රමුදිතව සමෘද්ධිමත් වන්නේය;

25 තවද ඉශ්‍රායෙලය මාගේ ස්වකීය කාලයෙහිදී ගලවනු ලබන්නේය; තවද මා විසින් දෙනු ලැබූ එම යතුරු මගින් ඔවුන්ට මගපෙන්වනු ලබන්නේය, තවද තවදුරටත් ව්‍යාකූල කරනු නොලබන්නේය.

26 නුඹලාගේ හදවත් ඔසවා සන්තෝෂ වන්න, නුඹලාගේ මිදීම ආසන්න වන්නේය.

27 කූඩා රැල, බිය නොවන්න, මම පැමිණෙන තුරු රාජ්‍යය නුඹලාගේය. බලන්න, මම ඉක්මණින් පැමිණෙන්නෙමි. එය එසේම වන්නේය. ආමෙන්.