ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 7


7 වන කොටස

ඔවුන් ඌරීම් සහ තුම්මීම් තුළින් ප්‍රියාදර ගෝලයා වූ යොහාන්, මාංශයෙන් යුතුව ජීවත් වනවාද නැතහොත් මරණයට පත්වූවා දැයි දැනගැනීමට ඇසූවිට, 1829 අප්‍රියෙල් හාර්මනි, පෙන්සිල්වේනියාවේ හිදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කවුඩ්‍රිට දෙනු ලැබූ එළිදරව්වකි. මෙම එළිදරව්ව යොහාන් විසින්ම හම් පතක වාර්තාකොට ඔහු විසින්ම සඟවන ලද්දෙහි පරිවර්තනයකි.

1–3, ස්වාමින්වහන්සේ පැමිණෙන තුරු ප‍්‍රියාදර යොහාන් ජීවත් වනු ඇත; 4–8, පේත‍්‍රැස්, යාකොබ්, සහ යොහාන් ශුභාරංචියේ යතුරු දරති.

1 තවද ස්වාමින්වහන්සේ මට මෙසේ පැවසූ සේක: මාගේ ප්‍රියාදර යොහාන්, නුඹ මාගෙන් ආශාවන්නේ කුමක්ද? මක්නිසාද නුඹ කැමති දේ මාගෙන් ඉල්ලන්නේ නම් එය නුඹ හට දෙනු ලබන්නේය.

2 තවද මම උන්වහන්සේට පැවසුවෙමි: ස්වාමින්වහන්ස, මම ජීවත් වී ඔබවහන්සේ වෙතට ප‍්‍රාණයන් ගෙන එන පිණිස, මා හට මරණයෙන් ජයගැනීමට බලය දෙන්න.

3 තවද ස්වාමින්වහන්සේ මා හට මෙසේ කීසේක: සැබවක්, සැබවක්, මම නුඹ හට පවසන්නෙමි, නුඹ මෙයට ආශාවන හෙයින් මම මාගේ මහිමයෙන් පැමිණෙන තුරු, නුඹ ජාතීන්, වංශයන්, භාෂාවන් සහ ජනතාවන් ඉදිරියේ අනාවැකි කියනු ඇත.

4 තවද මෙම කාරණය නිසා ස්වාමින්වහන්සේ පේත‍්‍රැස් හට කීසේක: මා පැමිණෙන තුරු ඔහු ජීවත්වීම මාගේ කැමැත්ත නම්, නුඹට කාරණා කිම්ද? මක්නිසාද මා හට ප‍්‍රාණයන් ගෙන ඒමට මාගෙන් ඔහු ආශාවන්නේය, නමුත් නුඹ මාගේ රාජ්‍යයේ මාවෙතට ඉක්මණින් පැමිණීමට ආශාවන්නෙහිය.

5 පේත‍්‍රැස්, මම නුඹ හට කියමි, මෙය යහපත් ආශාවකි; එහෙත් මාගේ ප්‍රියාදරයා මනුෂ්‍යයන් අතර ඔහු පෙර කරන ලද ක්‍රියාවන්ට වඩා වැඩියෙන් ක්‍රියාකිරීමට ඔහු ආශාවන්නේය.

6 එසේය, ඔහු ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් කිරීමට බාරගෙන ඇත; එසේහෙයින් මම ඔහුව දැවෙන ගින්දර මෙන් සහ දේවසේවයේ දේවදූතයෙක් කරන්නෙමි; ඔහු පොළවේ ජීවත් වන ගැලවීමේ උරුමක්කාරයන් හට සේවය කරනු ඇත.

7 තවද මම නුඹව ඔහුට සහ නුඹගේ සහෝදර යාකොබ්ට මෙහෙකරනු පිණිස පත්කරන්නෙමි; තවද මම පැමිණෙන තුරු නුඹලා තිදෙනාට මම මෙම බලය සහ මෙම දේවසේවයේ යතුරු දෙන්නෙමි.

8 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, නුඹලාගේ ආශාවන්ට අනුව නුඹලා දෙදෙනාටම දෙනු ලබන්නේය, මක්නිසාද නුඹලා දෙදෙනා ආශාවන්නාවූ දෙයින් නුඹලා දෙදෙනාම ප්‍රීතිවන්නෙහුය.