ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 94


94 වන කොටස

1833 අගෝස්තු 2, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. හයිරම් ස්මිත්, රෙනෝල්ඩ්ස් කහූන්, සහ ජැරඩ් කාටර් සභාවේ ගොඩනැගිලි කමිටුව ලෙස පත්කරන ලදි.

1–9, ස්වාමින්වහන්සේ සභාපතිත්වයේ කටයුතු උදෙසා නිවසක් ගොඩනැගීමට අදාළව ආඥාවක් දෙන සේක; 10–12, මුද්‍රණාල නිවසක් ගොඩනැගිය යුතුය; 13–17, යම් යම් උරුමයන් පවරනු ලබයි.

1 තවද නැවතත්, මාගේ මිත්‍රයෙනි, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මම නුඹලාට ආඥාවක් දෙන්නෙමි, එනම් නුඹලා මෙහි කර්ට්ලන්ඩ් දේශයේ, මාගේ නිවසේ සිට ආරම්භ කර, සයොන ස්ටේකයේ නගරයේ සැලසුම සකස් කිරීම සහ ආරම්භයක් සහ අත්තිවාරම සූදානම් කීරීම ආරම්භ කළ යුතු වන්නෝය.

2 තවද බලන්න, එය කළ යුත්තේ මම නුඹලා හට දී ඇත්තාවූ එම ආදර්ශයට අනුවය.

3 තවද දකුණේ පළමු කොටස මා උදෙසා කැප කළ යුතු වන්නේය, එනම් ඒ සභාපතිත්වය උදෙසා එළිදරව් ලබාගැනීමටත්, සභාපතිත්වයේ කාර්යයන් සඳහාත්, සභාපතිත්වය සඳහා නිවසක් ගොඩනැගීමටය; තවද සභාව සහ රාජ්‍යය සම්බන්ධ සියලු දේවල් තුළ, සභාපතිත්වයේ දේවසේවා කාර්යය උදෙසාය.

4 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, ඇතුල් ශාලාව තුළ, පළල අඩි පනස් පහ සහ දිග අඩි හැට පහ බැගින් එය ගොඩනැගිය යුතු වන්නේය.

5 තවද මෙයින් පසුව නුඹලාට දෙනු ලබන එම ආදර්ශයට අනුව, එහි පහළ ශාලාවක් සහ ඉහළ ශාලාවක් තිබිය යුතු වන්නේය.

6 තවද එය පූජකවරයේ නියමයට අනුව, මෙයින් පසුව නුඹලාට දෙනු ලබන එම ආදර්ශයට අනුව, එහිවූ අත්තිවාරමේ සිට ස්වාමින්වහන්සේට කැප කළ යුතු වන්නේය.

7 තවද එය සම්පූර්ණයෙන්ම සභාපතිත්වයේ කාර්යයන් උදෙසා ස්වාමින්වහන්සේට කැපකළ යුතු වන්නේය.

8 තවද නුඹලා කිසිම අපවිත්‍ර වූ දෙයක් එය තුළට පැමිණීමට ඉඩනොදිය යුතුය; තවද මාගේ මහිමය එහි වන්නේය, තවද මාගේ සහභාගීත්වය එහි වන්නේය.

9 එහෙත් එය තුළට කිසියම් අපවිත්‍ර වූ දෙයක් පැමිණියේද, මාගේ මහිමය එහි නොවන්නේය; තවද මාගේ සහභාගීත්වය එහි නොවන්නේය.

10 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, දකුණේ දෙවන කොටස මා වෙතට නිවසක් ගොඩනැගීම උදෙසා මා වෙතට කැපකරනු ලැබිය යුතු වන්නේය, එනම් ඒ පරිවර්තනය කරන ලද මගේ ශුද්ධලියවිලි සහ මා නුඹලා හට ආඥා කරන කුමනාකාර දේවල් වුවත් මුද්‍රණය කිරීමේ කාර්යය සඳහාය.

11 තවද එහි ඇතුල් ශාලාව තුළ දිග සහ පළල අඩි පනස්-පහ සහ අඩි හැට-පහ බැගින් විය යුතුය; තවද එහි පහළ සහ ඉහළ ශාලාවන් තිබිය යුතු වන්නේය.

12 තවද මෙම නිවස මුද්‍රණ කටයුතු සඳහා, එහි වූ අත්තිවාරමේ සිට ස්වාමින්වහන්සේ වෙතට සම්පූර්ණයෙන් කැපකළ යුතු වන්නේය, එනම් ඒ නුඹලාට දෙනු ලබන ලෙස සියලු දේවල ආදර්ශය අනුව, ශුද්ධව, අපවිත්‍ර නොවී, මම නුඹලාට ආඥා කරන සෑමදෙයක්ම, මුද්‍රණය කිරීමේ කටයුතු සඳහාය.

13 තවද තුන්වන කොටස මාගේ සේවක හයිරම් ස්මිත් ඔහුගේ උරුමය ලෙස ලබන්නේය.

14 තවද උතුරේ පළමු සහ දෙවන කොටස් මාගේ සේවකයන් වන රෙනොල්ඩ්ස් කොහූන් සහ ජැරඩ් කාටර් ඔවුන්ගේ උරුමයන් ලෙස ලබන්නෝය—

15 එනම් මා ඔවුන් හට පැවරුවාවූ එම ක්‍රියාවන් ඔවුන් කරන පිණිසය, එනම් ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, නුඹලා හට දෙනු ලැබූ මාගේ ආඥාවන්ට අනුව, මාගේ නිවෙස් ගොඩනැගීමට කමිටුවක් වන පිණිසය.

16 මෙම නිවෙස් දෙක සම්බන්ධව මම නුඹලා හට අඥාවක් දෙනතුරු ඒවා ගොඩනැගීම නොකළ යුතුය.

17 තවද දැන් මා නුඹලා හට මෙම අවස්ථාවේදී තවදුරටත් දෙනු නොලබන්නෙමි. ආමෙන්.

මුද්‍රණය කරන්න