ශුද්ධලියවිලි
හැඳින්වීම


හැඳින්වීම

දහම සහ ගිවිසුම් යනු අවසාන කාලයේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය පොළොවෙහි ස්ථාපිත කිරීම සහ නියාමනය කිරීම සඳහා ලබාදී ඇති දිව්‍යමය එළිදරව් හා දේවානුභාවයෙන් කරන ලද ප්‍රකාශයන්ගේ එකතුවකි. මෙහි බොහෝ කොටස් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් වෙත යොමුකර ඇතත්, එහි ඇති පණිවිඩ, අනතුරු ඇඟවීම්, සහ අනුශාසනා සියලු මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා වන අතර, ඔවුන්ගේ තාවකාලික යහපැවැත්ම සහ ඔවුන්ගේ සදාකාලික ගැලවීම වෙනුවෙන් ඔවුන්ට කතාකරන ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ හඬ ඇසීමට සෑමතැනකම සිටින සියලුදෙනාටම ආරාධනයක් එහි අඩංගු වේ.

මෙම සම්පාදනයේ බොහෝ එළිදරව් ලැබී ඇත්තේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ පළමු අනාගතවක්තෘවරයා සහ සභාපතිවරයා වන ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ තුළිනි. අනෙක් ඒවා නිකුත් කර ඇත්තේ සභාපතිත්වයේ ඔහුගේ සමහර අනුප්‍රාප්තිකයන් හරහා වේ (135, 136, සහ 138 වන කොටස් වල සාරාංශ සහ 1 සහ 2 නිල ප්‍රකාශන බලන්න).

දහම සහ ගිවිසුම් පොත යනු, ශුද්ධ වූ බයිබලය, මොර්මොන්ගේ පොත, සහ අනගි මුතු ඇටය මෙන්ම සභාවේ සම්මත පොත් වලින් එකකි. කෙසේවෙතත්, දහම සහ ගිවිසුම් අනන්‍ය වන්නේ එය පුරාණ ලේඛනයක පරිවර්තනයක් නොවන නිසාය, එහෙත් එයට නූතන සම්භවයක් ඇති අතර දෙවියන්වහන්සේ විසින් තෝරාගනු ලැබූ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් උන්වහන්සේගේ ශුද්ධ වූ කාර්යයන් නැවත පිහිටුවීමට සහ මේ දිනවල දෙවියන්වහන්සේගේ රාජ්‍යය පොළොවෙහි පිහිටුවීම සඳහා ලබාදෙන ලදි. එළිදරව් හි, යමෙක් පූර්ණත්වයේ කාලයේ කාල පරිච්ඡේදයේ නැවත ඇතිකිරීම ගැන කතා කරන, ස්වාමින්වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුදු මොළොක් නමුත් ස්ථිර හඬට සවන්දෙයි; ලෝකය ආරම්භවූ දා සිට සියලු ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ගේ වචන සම්පූර්ණ කිරීමට සහ ඒවාට අනුකූලව, මෙහි ආරම්භ කරන ලද කාර්යයන් උන්වහන්සේගේ දෙවන පැමිණීමට සූදානම සඳහා වේ.

ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ, 1805 දෙසැම්බර් 23 වන දින, වර්මොන්ට් හි, වින්ඩ්සර් ප්‍රාන්තයේ, ෂැරොන් හි උපත ලැබීය. ඔහුගේ ජීවිතයේ මුල් අවදියේදී, ඔහු සිය පවුලේ අය සමඟ බටහිර නිව්යෝර්ක් හි, මැන්චෙස්ටර් වෙත පදිංචියට ගියේය. 1820 වසන්තයේ මැන්චෙස්ටර් අසල ජීවත්වෙමින් සිටියදී, ඔහුට වයස අවුරුදු දාහතරකි, එහිදී, සදාකාලික පියාණන් වන දෙවියන්වහන්සේ, සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් ඔහුව පෞද්ගලිකවම බැලීමට පැමිණි, ඔහුගේ පළමු දර්ශනය ඔහු එහිදී අත්විඳින ලදි. අලුත් ගිවිසුමේ කාල වලදී පිහිටුවන ලද සහ ශුභාරංචියේ පූර්ණත්වය ක්‍රියාවෙහි යෙදවීමට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් පිහිටවූ සැබෑ සභාව, තවදුරටත් පොළොවෙහි නොමැති බව ඔහුට මෙම දර්ශනයෙන් පවසා ඇත. බොහෝ දේවදූතයන් විසින් ඔහුට උගන්වන ලද දිව්‍යමය ප්‍රකාශයන් ඉන්පසු ලැබී ඇත; දෙවියන්වහන්සේට මිහිපිට කිරීමට විශේෂ කාර්යයක් ඇති බවත්, ඔහු තුළින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව නැවත පොළොවට ගෙන එන බවත් එමගින් ඔහුට පෙන්වන ලදි.

කාලයාගේ ඇවෑමෙන්, ජෝසෆ් ස්මිත්ට දිව්‍ය ආධාරය සහිතව මොර්මොන්ගේ පොත පරිවර්තනය කිරීමට හා ප්‍රකාශයට පත්කිරීමට හැකිවිය. මේ අතර ඔහුව සහ ඔලිවර් කව්ඩ්‍රිව 1829 මැයි මාසයේදී යොහාන් බව්තීස්ත විසින් ආරෝනික පූජකවරයට නියම කරන ලදි (ද සහ ගි 13 බලන්න), වැඩිකල් නොගොස් ඔවුන්ව පුරාණ ප්‍රේරිතවරුන් වන පේත්‍රැස්, යාකොබ්, සහ යොහාන් විසින් මෙල්කිසදෙක් පූජකවරයටද නියම කරන ලදි (ද සහ ගි 27:12 බලන්න). මෝසෙස්, එලයිජා, එලියාස්, සහ බොහෝ පුරාණ අනාගතවක්තෘවරුන් විසින් ඔවුන් මත පූජකත්ව යතුරු ලබාදුන් වෙනත් නියෝගයන්ද ඉන්පසු සිදුවිණි (ද සහ ගි 110; 128:18, 21 බලන්න). මෙම නියෝගයන් ඇත්තවශයෙන්ම, මිහිපිට මිනිසාට දිව්‍යමය බලය නැවත ලබාදීමකි. 1830 අප්‍රියෙල් 6 වන දින ස්වර්ගීය මගපෙන්වීම යටතේ ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා මෙම සභාව සංවිධානය කළේය, මේ අනුව, ශුභාරංචිය ඉගැන්වීමට සහ ගැලවීමේ නියෝග ක්‍රියාත්මක කිරීමට බලය ඇතිව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ සභාව යළිත් වරක් මිනිසුන් අතර සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වේ. (ද සහ ගි 20 සහ අනගි මුතු ඇටය, ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1 බලන්න.)

මෙම පරිශුද්ධ එළිදරව් ලැබුනේ අවශ්‍ය අවස්ථාවන්හිදී, තවද සැබෑ මිනිසුන් සම්බන්ධ වූ සැබෑ ජීවිත තත්වයන් යටතේ, යාච්ඤාවට පිළිතුරු වශයෙනි. අනාගතවක්තෘවරයා සහ ඔහුගේ සගයන් දිව්‍යමය මගපෙන්වීමක් අපේක්ෂා කළ අතර, මෙම එළිදරව් වලින් එය ලැබුණු බව සහතික වේ. මෙම එළිදරව් තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීම හා දිගහැරීම සහ පූර්ණත්වයේ කාලයේ කාල පරිච්ඡේදයේ පෙරගමන් කිරීම පිළිබඳව කෙනෙකුට දැකගත හැකිය. සභාවේ බටහිර දෙසට නිව්යෝර්ක් සහ පෙන්සිල්වේනියාවේ සිට ඔහායෝ දක්වා, මිසුරි සිට ඉලිනොයිස් දක්වා, සහ අවසාන වශයෙන් බටහිර අමෙරිකාවේ මහා නිම්නයටත්, නූතන කාල වලදී සයොනය පොළොව මත ගොඩනැගීමට උත්සාහ කිරීමේදී ශුද්ධවන්තයන්ගේ බලවත් අරගල පිළිබඳවත් මෙම එළිදරව් කිරීම් වලින් දැක්වේ.

මොර්මොන්ගේ පොත පරිවර්තනය කිරීම හා ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධ කරුණු මුල් කොටස් කිහිපයකට සම්බන්ධ වේ (3, 5, 10, 17, සහ 19 කොටස් බලන්න). පසුකාලීන සමහර කොටස් මගින්, ශ්‍රේෂ්ඨ මූලධර්ම කොටස් බොහෝමයක් ලැබූ, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා විසින් බයිබලය දේවානුභාවයෙන් පරිවර්තනය කිරීමෙහිලා කරන ලද කාර්යයන් පිළිඹිබු කරයි (උදාහරණ සඳහා, බලන්න, 37, 45, 73, 76, 77, 86, 91, සහ 132 කොටස්, ඒ සෑම කොටසකටම බයිබල් පරිවර්තනයට යම් සෘජු සම්බන්ධයක් ඇත).

මෙම එළිදරව් කිරීම් වලදී, දේවත්වයේ ස්වභාවය, මිනිසාගේ ආරම්භය, සාතන්ගේ යතාර්ථය, ලෞකිකත්වයේ අරමුණ, කීකරු වීමේ අවශ්‍යතාවය, පසුතැවීමේ අවශ්‍යතාවය, ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාකාරීත්වය, ගැලවීමට අදාළ නියෝග සහ ක්‍රියාවන්, පොළොවේ ඉරණම, මරණයෙන් නැවත නැගිටීම හා විනිශ්චයෙන් පසු මිනිසාගේ අනාගත තත්වයන්, විවාහ සම්බන්ධතාවයේ සදාකාලික බව සහ පවුලේ සදාකාලික ස්වභාවය වැනි මූලික කරුණු පිළිබඳව පැහැදිලි කිරීම් සමඟ ශුභාරංචියේ මූලධර්ම දක්වා ඇත. එලෙසම, සහාවේ පරිපාලන ව්‍යුහය ක්‍රමයෙන් දිගහැරෙන ආකාරය පෙන්නුම් කරන්නේ සභානායකවරුන්, පළමු සභාපතිත්වය, ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ මන්ත්‍රණ සභාව සහ හැත්තෑවරුන් කැඳවීම සහ වෙනත් මුලසුන දරන කාර්යාල හා ගණපූරණයන් පිහිටුවීමෙනි. අවසාන වශයෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දුන් සාක්ෂිය—එනම් උන්වහන්සේගේ දේවත්වය, උන්වහන්සේගේ මහිමය, උන්වහන්සේගේ පරිපූර්ණත්වය, උන්වහන්සේගේ ප්‍රේමය සහ මුදවාගැනීමේ බලය නිසා—මෙම පොත මිනිස් පවුලට මහත් වටිනාකමක් ඇති අතර “මුළු පොළොවේම ධනයටත් වඩා වටියි” (ද සහ ගි 70 හි ශීර්ෂය බලන්න).

මෙම එළිදරව් මුලින් වාර්තා කරන ලද්දේ ජෝසෆ් ස්මිත්ගේ ලියන්නන් වන අතර, සභාවේ සාමාජිකයන් එකිනෙකා සමඟ අත් අකුරින් ලියන ලද පිටපත් උද්යෝගයෙන් බෙදාගත්හ. වඩාත් ස්ථිර වාර්තාවක් නිර්මාණය කිරීම සඳහා, ලියන්නන් ඉතා ඉක්මණින් මෙම එළිදරව් අත්පිටපත් වාර්තා පොත් වලට පිටපත් කළ අතර, සභාවේ නායකයන් විසින් එළිදරව් කිරීම් මුද්‍රණය කිරීමට සූදානම් කරන ලදි. ජීවත්වීම, ගතිකය, සහ අතිරේක එළිදරව් කිරීම් සමඟ ශෝධනයට යටත් වෙමින්: ජෝසෆ් සහ මුල් ශුද්ධවන්තයන් සභාව කළ ආකාරයටම එළිදරව් කිරීම් දෙස බැලූහ. එළිදරව් පිටපත් කර ප්‍රකාශයට පත්කිරීමේ ක්‍රියාවලිය තුළින් නොදැනුවත්වම වැරදි සිදුවිය හැකි බව ඔවුහු වටහාගත්හ. මේ අනුව, 1831 දී සභාවේ සම්මන්ත්‍රණයක් විසින් ජෝසෆ් ස්මිත්ගෙන් ඉල්ලා සිටියේ “ශුද්ධාත්මයාණන් විසින් සොයාගත හැකි එම වැරදි හෝ අතපසුවීම් නිවැරදි කරන ලෙසයි.”

එළිදරව් කිරීම් සමාලෝචනය කර නිවැරදි කිරීමෙන් පසුව, මිසුරි හි සභාවේ සාමාජිකයන් ‘ක්‍රිස්‍තුස්‍වහන්සේගේ සභාව පාලනය සඳහා වූ ආඥා පොත’ (A Book of Commandments for the Government of the Church of Christ) නමින් පොතක් මුද්‍රණය කිරීමට පටන් ගත්හ, අනාගතවක්තෘවරයාගේ මුල් එළිදරව් බොහොමයක් එහි අඩංගු විය. කෙසේවෙතත්, 1833 ජූලි 20 වන දින මැර පිරිසක් ජැක්සන් ප්‍රාන්තයේ ශුද්ධවන්තයන්ගේ මුද්‍රණාලය විනාශ කළ විට, එළිදරව් ප්‍රකාශයට පත්කිරීමේ මෙම පළමු උත්සහය අවසන් විය.

මිසුරි මුද්‍රණාලයේ විනාශය දැනගත් ජෝසෆ් ස්මිත් සහ අනෙකුත් සභා නායකයන් ඔහායෝ, කර්ට්ලන්ඩ් හි, එම එළිදරව් ප්‍රකාශයට පත්කිරීමට සූදානම් වූහ. වැරදි නිවැරදි කිරීමට, වචන පැහැදිලි කිරීමට, සහ සභාවේ මූලධර්ම හා සංවිධානයේ වර්ධනයන් හඳුනාගැනීම සඳහා ජෝසෆ් ස්මිත් විසින් 1835 දී ‘පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සහම සහ ගිවිසුම්’ (Doctrine and Covenants of the Church of the Latter Day Saints) ලෙස ප්‍රකාශයට පත්කිරීම සඳහා සූදානම් කිරීම සඳහා සමහර එළිදරව් වළ පෙළ සංස්කරණය කිරීම අධීක්ෂණය කරන ලදි. 1844 දී අනාගතවක්තෘවරයාගේ ප්‍රාණ පරිත්‍යාගයෙන් මාස කිහිපයකට පසුව ප්‍රකාශයට පත්කරන ලද දහම සහ ගිවිසුම් හි සංස්කරණයකට ජෝසෆ් ස්මිත් අවසර දුන්නේය.

මුල් කාලීන ශුද්ධවන්තයන් එළිදරව් කිරීම් අගය කළ අතර ඒවා දෙවියන්වහන්සේගේ පණිවිඩ ලෙස සැලකූහ. 1831 වසරේ අගභාගයේදී සභාවේ වැඩිහිටියන් කිහිපදෙනෙක්ම එළිදරව් වල සත්‍යතාව පිළිබඳව ස්වාමින්වහන්සේ ඔවුන්ගේ ආත්ම වලට වාර්තා කර ඇති බවට ස්ථිර සාක්ෂියක් ලබාදුන්හ. මෙම සාක්ෂිය ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ලිඛිත සාක්ෂිය ලෙස දහම සහ ගිවිසුම් 1835 සංස්කරණයේ ප්‍රකාශයට පත්කරන ලදි:

දහම සහ ගිවිසුම් පොතේ
සත්‍යයතාව පිළිබඳ
ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ සාක්ෂිය

මේ අරමුණ සඳහාම සභාවේ හඬින් පත්කරනු ලැබූ, ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ තුළින් උන්වහන්සේගේ සභාවට උන්වහන්සේ විසින් ලබාදුන් ආඥා ඇති, ස්වාමින්වහන්සේගේ ආඥා පොතේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂිය:

එබැවින්, මෙම ආඥා දෙනු ලැබුවේ දෙවියන්වහන්සේගේ ආනුභාවයෙන් බවත්, එය සියලු මනුෂ්‍යයන්ට ලාභදායී බවත්, සැබවින්ම සත්‍ය බවත්, අප මත වැගිරූ ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ස්වාමින්වහන්සේ අපගේ ආත්මයන්ට වාර්තා කර ඇති බව, මුළු මිනිස් සංහතියටම, පොළෝ තලයේ සෑම ජීවියෙකුටම සාක්ෂි දීමට අපි කැමැත්තෙමු.

අපි මේ සාක්ෂිය ලෝකයට දෙන්නෙමු, ස්වාමින්වහන්සේ අපගේ සහායකයාණන්ය; පියාණන් වන දෙවියන්වහන්සේගේ සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව තුළින් මෙම සාක්ෂිය ලෝකයට ගෙන ඒමේ වරප්‍රසාදය අපට ලැබීමට අවසර දී ඇත, මනුෂ්‍ය දරුවන්ට එමගින් ලාභ ලැබිය හැකිවන පිණිස ස්වාමින්වහන්සේට නිතරම යාච්ඤා කරමින්, මෙයින් අපි අතිශයින් ප්‍රීතිවෙමු.

දොළොස්දෙනාගේ නම්:

  • තෝමස් බී. මාර්ෂ්

  • ඩේවිඩ් ඩබ්. පැටන්

  • බ්‍රිගම් යන්ග්

  • හේබර් සී. කිම්බල්

  • ඕර්සන් හයිඩ්

  • විලියම් ඊ. මැක්ලින්

  • පාර්ලි පී. ප්‍රැට්

  • ලූක් එස්. ජොන්සන්

  • විලියම් ස්මිත්

  • ඔර්සොන් ප්‍රැට්

  • ජෝන් එෆ්. බොයින්ටොන්

  • ලයිමන් ඊ. ජොන්සන්

දහම සහ ගිවිසුම් හි අනුප්‍රාප්තික සංස්කරණ වලදී, සභාවේ නිසි එක්රැස්වීම් හෝ සම්මන්ත්‍රණ මගින් ලැබ පිළිගත් පරිදි අතිරේක එළිදරව් කිරීම් හෝ වාර්තාගත වෙනත් කරුණු එකතු කර ඇත. 1876 සංස්කරණය, බ්‍රිගම් යන්ග්ගේ මගපෙන්වීම යටතේ වැඩිහිටි ඕර්සන් ප්‍රැට් විසින් සකස් කරන ලද අතර, එළිදරව් කිරීම් කාලානුක්‍රමිකව පිළිවෙලට සකස් කළ අතර ඓතිහාසික හැඳින්වීම් සමඟ නව ශීර්ෂයන් සැපයීය.

1835 සංස්කරණයේ සිට, දේවධර්ම පාඩම් හතක්ද ඇතුළත් විය; මේවා නම්කර තිබුණේ Lectures on Faith [ලෙක්චර්ස් ඔන් ෆේත්] ලෙසය. 1834 සිට 1835 දක්වා ඔහායෝ, කර්ට්ලන්ඩ් හි අනාගතවක්තෘවරුන්ගේ පාසලේ භාවිතය සඳහා මේවා සකස්කර තිබුණි. දහම හා උපදෙස් සඳහා ලාභදායී වුවද, මෙම දේශන 1921 සංස්කරණයේ සිට දහම සහ ගිවිසුම් හි ඉවත්කර ඇත්තේ ඒවා සමස්ත සභාවටම එළිදරව් කිරීමක් ලෙස ඉදිරිපත් නොවී තිබූ නිසාය.

1981 ඉංග්‍රීසි සංස්කරණයේ දහම සහ ගිවිසුම් හි, පළමු වරට ලේඛන තුනක් ඇතුළත් විය. මේවා මළවුන්ගේ ගැලවීමේ මූලධර්ම නියම කිරීම පිළිබඳ 137 සහ 138 කොටස්; සහ සභාවේ සියලුම සුදුසු පිරිමි සාමාජිකයන් ජාතිය හෝ වර්ණය නොසලකා පූජකවරය සඳහා නියම කළ හැකි බව නිවේදනය කරන, 2 වන නිල ප්‍රකාශය වේ.

දහම සහ ගිවිසුම් හි සෑම නව සංස්කරණයක්ම, විශේෂයෙන්ම ශීර්ෂයන්හි ඓතිහාසික කොටස් වල, අතීත දෝෂ නිවැරදි කර ඇති අතර නව තොරතුරු එකතුකර ඇත. වර්තමාන සංස්කරණය දිනයන් සහ ස්ථාන නාම තවදුරටත් පිරිපහදු කරන අතර වෙනත් නිවැරදි කිරීම් සිදුකරයි. වඩාත් නිවැරදි ඓතිහාසික තොරතුරු වලට අනුකූලව තොරතුරු ගෙන ඒම සඳහා මෙම වෙනස්කම් සිදුකර ඇත. මෙම නවතම සංස්කරණයේ අනෙකුත් විශේෂ ලක්ෂණ අතරට එළිදරව් කිරීම් ලැබුණු ප්‍රධාන භූගෝලීය ස්ථාන පෙන්වන සංශෝධිත සිතියම්, සභාවේ ඓතිහාසික ස්ථාන වල වැඩිදියුණු කරන ලද ඡායාරූප, හරස් යොමුකිරීම්, කොටස් ශීර්ෂයන් සහ විෂය කරුණු සාරාංශ ඇතුළත් වේ, මේ සියල්ල සැලසුම් කර ඇත්තේ දහම සහ ගිවිසුම් හි දක්වා ඇති පරිදි ස්වාමින්වහන්සේගේ පණිවිඩය තේරුම්ගැනීමට හා ප්‍රීතිවීමට පාඨකයන්ට උපකාර කිරීම සඳහාය. කොටස් ශීර්ෂයන් සඳහා තොරතුරු සභාවේ අත් පිටපත් ඉතිහාසය සහ ප්‍රකාශිත History of the Church (සාමූහිකව ශීර්ෂයන් වල ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසය ලෙස හැඳින්වේ) සහ Joseph Smith Papers වෙතින් ලබාගෙන ඇත.

මුද්‍රණය කරන්න