2010–2019
අනාගතවක්තෘවරුන් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය තුලින් කතා කරයි
2018 අප්‍රියෙල්


අනාගතවක්තෘවරුන් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය තුලින් කතාකරයි

දිවැසිවරයෙක් සිටිම දෙවියන්වහන්සේගේ ආදරයේ සලකුණක් උන්වහන්සේගේ දරුවන්ට. ඔවුන් දන්වනවා පොරොන්දු සහ දෙවියන්වහන්සේගේ සහ යේසුස් වහන්සේගේ සෑබෑ ස්භාවය.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ කොහේ සිටියත්, ඊයේ දවසේ ශක්තිමත් වූ කැමැත්ත ප්‍රකාශ කිරීම වෙනුවෙන් අවංකව සහ ගැඹුරුව මගේ ස්තුතිය පුදකරන්නට කැමතියි. කතා කිරීමට අදක්ෂ සහ මන්දගාමී ලෙස තමන් ගැන සිතූ, මෝසෙස්ට වගේ මට දැනෙනවා. ස්වාමින්වහෙන්සේ ඔහුට ලබාදුන් වචන වලින් මම මාවම සනසවා ගන්නවා.

“මනුෂ්‍යාගේ මුඛය හැදුවේ කවුද? හෝ බිහිරන්ට ඇහෙන්නේ නැති වෙන්නටත්, අන්ධයින්ට නොපෙනෙන්නටත් සැලැස්සුවේ කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවේද?

“තවද දැන් යන්න, මම ඔබගේ මුඛය වී ඔබ කිවයුතු දේ උගන්වන්නම්” ( නික්මයාම 4:11–1210වෙනි පදයත් බලන්න).

මගේ ආදරණීය බිරිඳගේ සැනසිලිදායක ආදරයත් අනුග්‍රහයත් මම ලබාගන්නවා. ඇය මටත් මගේ පවුලටත් ධර්මිෂ්ටකමෙත්, ප්‍රේමයේත් ස්වාමින්වහෙන්සේට වූ පුර්ණ කැපවීමේත් ආදර්ශයක් වෙලා තියෙනවා. මගේ හදවතේ සෑම කොනකින්ම මම ඇයට ආදරය කරනවා සහ ඇය අප තුළ ඇතිකරන ධනාත්මක පෙලඹවීම ගැන මම ස්තුතිවන්ත වෙනවා.

සහෝදර සහෝදරියනි, සභාපති රසල් එම්. නෙල්සන් මේ පොළවේ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයාණන් බව මම ඔබට සාක්ෂි දරනවා. ඔහු තරම් කරුණාවන්ත සහ ප්‍රේමනීය කෙනෙක් මම කවදාවත් දැකල නැහැ. ඒ නිසා මේ ශුද්ධ වූ කැදවීමට මම ප්‍රමාණවත් නොවේදැයි මට සිතෙනවා, ඔහු මේ වගකීම මට පවරද්දී ඔහුගේ වචන සහ දෑස් වල වූ සියුම් බැල්ම ගලවුම්කරුවනන්ගේ ප්‍රේමයෙන් මා වැළදගත් බවත් මට දැනෙනවා. සභාපති නෙල්සන්, ඔබට බොහොම ස්තුතියි. මම ඔබව ස්ථිර කරනවා සහ ඔබට ප්‍රේම කරනවා.

ස්වාමින්වහන්සේගේ කැමැත්ත සොයා අනුගමනය කරන අනාගතවක්තෘවරුන්, දිවැසිවරුන් මේ පොලව මත සිටීම ආශීර්වාදයක් නොවේද? මේ ජීවිතය තුල අපි මුහුණදෙන අභියෝග කුමක් වුවත් අපි මේ ලෝකය තුල තනිවී නැති බව දැනගැනීම සහනයක්. අනාගතවක්තෘවරුන් සිටීම උන්වහන්සේගේ දරුවන්ට දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැන ඇති සංඥාවක්. දෙවියන්වහන්සේගේත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේත් සත්‍ය ස්භාවය සහ පොරොන්දු උන්වහන්සේලාගේ සෙනගට ඔවුන් කියාදෙනවා. මගේම අත්දැකීම් වලින් මම එය ඉගෙනගෙන තියෙනවා.

අවුරුදු 18 කට කලින් මටත් මගේ බිරිඳටත් ඒ කාලයේ ප්‍රධාන සභාපතිත්වයේ දෙවැනි උපදේශක විදිහට හිටපු සභාපති ජේම්ස් ඊ. ෆෝස්ට් ගෙන් ඇමතුමක් ලැබුනා. පෘතුගාලයේ ධර්මදුත සභාපතිවරයෙකුත් සහයිකවකුත් ලෙස සේවය කිරීමට ඔහු අපිට කැඳවීමක් ලබා දුන්නා. ධර්මදූත සේවය පටන් ගන්නට අපට ඇත්තේ සති හයක් පමණක් බවත් ඔහු අපිට කිව්වා. අපිව ප්‍රමාණවත් නැති බවකුත් සුදානමක් නැතිබවකුත් අපට දැනුනත් ඒ කැඳවීම අපි බාර ගත්තා. අපිට ඒ වෙලාවේ තිබුණු ප්‍රධානම ගැටලුව වුනේ ඒ රටට වීසා ලබන්නේ කොහොමද කියලයි, මොකද අපේ කලින් අත්දැකීම් එක්ක ඒ ක්‍රියාවලිය සම්පුර්ණ වෙන්නට මාස හයක් සහ අටක් අතර කාලයක් ගතවන බව අපි දැනගෙන හිටියා.

මේ වීසා ප්‍රශ්ණය විසඳගන්නට ස්වාමීන්වහන්සේ ප්‍රාතිහාර්යයක් සිදුකරයි කියා ඇදහිල්ලක් අපට තියෙනවද කියලා ඉන්පසු සභාපති ෆෝස්ට් අපෙන් ඇහුවා. අපේ පිළිතුර වුනේ එකහෙලාම “ඔව්” යන්නයි, ඉන්පසු වහාම අපි ඒ කාර්යය ආරම්භ කලා. වීසා සඳහා අවශ්‍ය සියලුම ලියකියවිලි අපි සුදානම් කළා, අපේ තරුණ පවුලත් එක්ක පුළුවන් තරම් ඉක්මනින් තානාපති කාර්යාලයට අපි ගියා. ඉතා සුහදශීලී කාන්තාවක් අපිට එහිදී මුණගැහුනා. අපේ ලියකියවිලි පරික්ෂා කරමින් පෘතුගාලයේ අපි කරන්නට යන්නේ කුමක් දැයි විමසමින්, ය මෙහෙම ඇහුවා, “මගේ රටේ මිනිස්සුන්ට උදව් කරන්නද ඔයාලා ඇත්තටම යන්නේ?” අපි ස්ථිර ලෙසම “ඔව්” කියා පිළිතුරු දුන්නා සහ අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව නියෝජනය කලයුතු බවත් ලෝකයේ උන්වහන්සේගේ දිව්‍යමය සේවය ගැන සාක්ෂිදැරිය යුතු බවත් අපි පැහැදිලි කළා. සති හතරකට පසු අපි නැවත එහි ගිහින් අපේ විසා ලබාගත්තා. ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයෙක් අපෙන් කල ඉල්ලීම මත මාස හයක් ඇතුලත ධර්මදූත ප්‍රදේශයට අපි ලඟාවුණා.

සහෝදර සහෝදරියනි, මගේ හද පතුලෙන්ම, ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් අනාගතවක්තෘවරුන් කතා කරන බවට මම සාක්ෂි දරනවා. ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ ගැනත් මේ ලොව උන්වහන්සේගේ දිව්‍යමය සේවය ගැනත් සාක්ෂි දරනවා. ස්වාමින්වහන්සේගේ මනසත් හදවතත් ඔවුන් නියෝජනය කරන අතර දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමග නැවත ජීවත් වන්නට අප කළයුතු දේ අපට උගන්වනවා. ඔවුන්ගේ ඉගැන්වීම් අනුගමනය කරමින් ඇදහිල්ලෙන් ක්‍රියාත්මකවීමෙන් අප ආශීර්වාද ලබනවා. ඔවුන්ව අනුගමනය කිරීමෙන් අපේ ජීවිත ප්‍රීතිමත් වෙනවා සහ සරල වෙනවා, අපේ අමාරුකම් සහ ප්‍රශ්ණ දරන්නට ලේසි වෙනවා, ඒ වගේම අපේ දවස් වල සතුරාගේ පහරදීම් වලින් ආරක්ෂා වන්නට අවශ්‍ය ආත්මික ආරක්ෂක ආවරණයක් අපි නිර්මාණය කරගන්නවා.

මේ පාස්කු ඉරිදා දිනයේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත නැගිටි බවත්, ජීවමාන බවත්, උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් සහ දිවැසිවරුන් මගින් මේ ලෝකයේ උන්වහන්සේගේ සභාව උන්වහන්සේ මෙහෙයවන බවත ගෞරවයෙන් යුතුව මම සාක්ෂි දරනවා. මේ ලෝකයේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් උන්වහන්සේ බවත් උන්වහන්සේ තුලින් අපි ගැලවී දෙවියන්වහන්සේගේ අභිමුඛයේ අපට උසස් වියහැකි බවත් මම සාක්ෂිදරනවා. මම උන්වහන්සේට ආදරෙයි. මම උන්වහන්සේට ගෞරවකරනවා. උන්වහන්සේව අනුගමනය කරමින් උන්වහන්සේගේ කැමැත්ත කරමින් තව තවත් උන්වහන්සේ මෙන් වීමට මට අවශ්‍යයි. නිහතමානිව මම මේ දේවල් කියා සිටින්නේ ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

මුද්‍රණය කරන්න